බල තුලනය (දෙවන කොටස)
 

ගංගාදේවි - ඔව්, ඒක තමා වෙන්නෙ. ඇයි ඉතින් එයාගෙ නෑදෑ මිත්‍රයෝ දුප්පත් ගෙවල්වල ලිප්බොක්කේ හිට ඉන්නවනේ. අග්නිගේ මේ ප්‍රේම පිස්සුව නිසා දවසක මිහිකතට තමා වන්දි ගෙවන්න වෙන්නෙ. දැනටමත් මිහිකතගෙ ජීවිතය අනතුරේ....අග්නි කෲර යි....


වර්ෂා - ගංගාදේවි, අපි මේ ගැන මොනවා හරි කරමු. ඔයා ටික දවසක් දුක් නොවී ඉන්නකෝ...


ගංගාදේවි - ටික දවසක් දුක් නොවී ඉන්න...? වර්ෂා නම් කියයි. හොඳයි ඒ ටික දවස ගත වුණාට පස්සේ...?


වර්ෂා - මොනවා හරි විසඳුමක් ඒවි නේද?...


ගංගාදේවි - බල අරගලවලට උත්තර හොයන පාලකයන්ගෙ කතාවක් තමා ඔයා කියන්නෙත්....


නල - (තමාට) තාමත් අර උමතු ප්‍රේමවන්තයා මහ වන සීමාවේ උඩ බලාගෙන ඉන්නවා. සමහර විට හිරුට නඩු කියනවා වෙන්නැති. ස්ත්‍රී ආදරයක් දිනා ගන්න නඩු කියලා පුළුවන් ද..? හිරු මොන තරම් තියුණු ඥාන ශක්තියක් තියෙන බලවත් නඩුකාරයෙක් වුණත් ස්ත්‍රී සිතකට නියෝග දෙන්න පුළුවන් ද? අහවලාව ආදරේ කරන්න කියලා. නැහැ, හිරු එහෙම නියෝග දෙන්නෙ නැහැ. (සැකයෙන්) ඒත් අග්නි හිරුගේ බාල සහෝදරයෙක්. සමහර නඩුකාරවරු නෑදෑකමට, හිතවත්කමට, මනුෂ්‍යකමට තමාට ලැබෙන නිලතල නම්බුනාම වාසි ප්‍රයෝජනවලට ඈදලා පක්ෂග්‍රාහි නඩු තීන්දු දෙනවා....හිරු එහෙම කළොත්...?


ජගත් මාතාව - (ගැඹුරු හඬින්) නල, හිරි දෙවියන්ගේ විශ්වාධිකරණය අති පිරිසිදු යි නිවැරදියි, අපක්ෂපාති යි....

නල : (බියෙන්) ජගත් මාතාවනි, මට සමාවෙන්න...


ජගත් මාතාව - සමාව ඉල්ලිය යුතු නැහැ. නමුත් කරුණු වටහා ගත යුතුයි. නුඹ නිරන්තරයෙන් ම මනුෂ්‍ය වාසයේ රැදී සිටින නිසා මිනිසුන්ගේ සටකපටකම්, අසාධාරණකම්, බොරුව, වංචාව මගේ අනෙක් නිර්මාණවලටත් ආරෝපණය කරන්න හදනවා ද...?

නල - ජගත් මාතාවනි! මිනිසාත් ඔබතුමියගේ නිර්මාණයක්


ජගත්මාතාව - මිනිසා, නිර්මාණය කිරීම ගැන විශ්වයේ සියලු දෙනාම මට චෝදනා කරන්න පටන් අරන්. ඒක හරියට ලෝක ත්‍රස්තවාදය තරුණයන් විසින් නිර්මාණය කළා කියලා බලවත් රටවල පාලකයෝ කරන චෝදනාවට සමාන එකක්.


නල - අවි ආයුධ අරන් ත්‍රස්තවාදී කටයුතු කරන්නෙ තරුණ මිනිස්සු.


ජගත්මාතාව - තරුණ මිනිස්සු අතට ගන්න අවි ආයුඒ නිෂ්පාදනය කළේ මහලු මිනිස්සු....ඒක යුගයේ නවීනතම වෙළෙඳ ව්‍යාපාරයක්. අපි ඒ ගැන වෙනම කථාකරමු. වැඩිය හොඳ කතා නොකර ඉන්න එක...


නල - ඔබතුමියගේ කැමැත්තක්....


ජගත්මාතාව - ඔබ දැන් හිටියෙ අග්නි කුමාර ගැන මොනවදෝ මතුර මතුර නේද? මන්තරකාරයෙක් වගේ....?


නල - (අපහසුවෙන්) අග්නි කුමාරට පිස්සු....


ජගත්මාතාව - ඔබටත් පිස්සු කියලා සමහරු කියනවා. ඔබත් වර්ෂා ගැන හිතනවා වැඩියි කියලා...


නල - (තරහෙන්) සමහරු කියන ඒ කතා බොරු. මම වර්ෂාට ආදරය කරන්නේ ඇගේ සේවය මුළු මිහි මඬල පුරා ම ව්‍යාප්ත කරන්න. මිහිකත අපට සාක්ෂි දරාවි. මගේ ප්‍රේමය ආත්මාර්ථයෙන් තොර යි. මගේ ප්‍රේමය විශ්ව ව්‍යාප්තයි. ජගත්මාතාවනි, මට කියන්න. ඒක පිස්සුවක් ද..? සමස්ථ ලෝක ධාතුවේ හැම වැලි කැටයකටම ආදරය කිරීම පිස්සුවක් ද...?

 

ජගත්මාතාව - (කරුණාවෙන්) නල කුමාරයාණෙනි, කලබල වෙන්න එපා. ඒ කලබලය බලවත් ප්‍රේමයක නොසංසුන් ඔඟියක්. නමුත් ඒක ස්වභාවිකයි. සමහර මිනිස් දෙමවුපියෝ තමන්ගේ දූ දරුවන් ප්‍රේමයෙන් බැඳිලා ඉන්නවා දැක්කාම ඉස්සෙල්ලා ම කරන්නේ තමන්ගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන එක. අපිට එහෙම කරන්න බැහැ නෙ.

නල - මාතාවෙනි, ඒක මනුෂ්‍ය සමාජයේ මධ්‍යම පන්තික ආකල්පයක්, බොහොම දුප්පත් අය බොහොම පොහොසත් අය ඔය කියන තැන නැහැ.


ජගත්මාතාව - නමුත් නල කුමාරයාණෙනි, ඔබ නම් ඒ තැන ඉන්නවා. මීට වඩා හිතලා කල්පනා කරලා අග්නිට උදව් කරන්න. (තමාට) නලට ලජ්ජා හිතුණා. බිම බලාගෙන ඇස් දෙකක් පියාගෙන හරි, ඔහොම හිටපුවාවෙ. මං යනවා.


නල - (අපහසුවෙන්, ලජ්ජාවෙන්) ජගත් මාතාවකි. අග්නි බලකාමයෙන් උමතුවෙලා. එයාගෙ බලය පතුරුවන්න බලය ස්ථානගත කරන්න එයාට කරන්න බැරි දෙයක් නැහැ. ඒත් ගංගාදේවි...? සංස්කෘතිය සම්ප්‍රදාය වගේම නව ආර්ථික ප්‍රවේශ නව තාක්ෂණ දියුණුව පිළිගන්න කැමතියි. (හිස ඔසවා) ආ...කෝ ජගත්මාතාව..? ඉඳල හිටලා එක පාරටම ඇවිත් දාහක් දේ හිතන්න සලස්වනවා. එයා තමන්ගෙ හැම නිර්මාණයකටම එක තරම් ආදරේ කරන නිසා වෙන්නැති ප්‍රශ්නයක් විසඳන්න නැත්තෙ?


වර්ෂා - (බැරෑරුම් ලෙස) ගංගා, මොකද දැන් අග්නි කියන්නෙ...?


ගංගාදේවි - පාසල් ශිෂ්‍යාව තමාගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළාම එයාගෙ හදවත නිහඬ කරන්න තියුණු ආයුධයක් අතට ගන්න ඡිෂ්‍ය ප්‍රේමවන්තයෙක් වගේ අග්නි කුමාරත් සාහසික වෙලා.


වර්ෂා - ඒක නම් ඉතින් ප්‍රේමය කාමය පැත්තටම බර කරපු මොට්ට අධ්‍යාපනයේ වරද...මනුෂ්‍ය හැඟීම් හරිහැටියට වටහා නොගත් වැඩිහිටියන්ගේ වරද...


ගංගාදේවි - අග්නි ගියේ මොන පෙර පාසලටද...? මොන කනිෂ්ඨ විද්‍යාලයට ද...? මොන මහා විද්‍යාලයට ද...? මොන මධ්‍යමහා විද්‍යාලයට ද...? මොන විශ්ව විද්‍යාලයට ද...?

(c) Shilpa Sayura Foundation 2006-2017