අලි රාළ හාමි ගේ ලෙඩ සුව වූ බව සියලු තන්හි පතළේ ය. එ සමඟම තවද ප්‍රවෘත්තියෙක් පතළේ ය. එ නම් කටුසු හාමි නාසය ඇතුළේ යෑමෙන් අලි රාළ හාමි ලෙඩ වූ බව ය. එ පමණක් නම් ඉවැසිය හැකි ය. මෙ තරම් මහත් අලි රාළ හාමි එ තරම් කුඩා කටුසු හාමි ට මහත් භයින් පසු වන බව කටින් කට කියැවෙ යි.
කොතැනෙකදී වුවත් කටුසු හාමි ගේ නම කියැවුණොත් ඇත. අලි රාළ හාමි ට එය යන්තම් ඇසුණොත් හොඬ වහා ම හැකිලෙයි. ඇස් කරකැවෙන්නට වෙයි. ඇඟ ගැහෙන්නට වෙයි. සතර පය නැගෙන්නට සැරැසෙයි. ඊතින් අලි රාළ හාමි කටුසු හාමි ට බය බව කටින් කට කියැවෙන්නට මෙය ම මඳැ ?
මේ කටින් කට යන දෙඩුම අලි රාළ හාමි ගේ මහත් නො සැනසිල්ලට හේතුවෙකි. මේ නිසා ම අලි හාමිනේ බැහැර යෑම නැවැත්තුවා ය. දන්නා හඳුනන මුහුණු දුටුවිට පෙර ඇයගේ මුහුණ පිපෙයි. දැන් හැකිළෙයි. තමනට තරම් නො වන්නවුන් සමඟ පොර බදන්නට ගොස් රාළ හාමි මේ කැරැගත් නින්දාව ගැන ම සිතීමෙන් අලි හාමිනේ කෙට්‌ටු වෙයි.
මේ අස්‌සේ අලි දෙ මහල්ලන්ට තවත් කරදරයෙකි. හිවල් හාමි දින පතා ම අවුත් අර ගුරු පඬුරු මතක් කරවයි. " හෙට බලමු " යි රාළ හාමි පළමු වැනි දින කී ය. දෙ වැනි දින ද කීය. තුන් වැනි දින ද කීය. සතර වැනි දින ද කීය. “ රාළ හාමි ගේ " හෙට " ළඟ දී එන හැඩක් නැහැ යි " යි කියමින් හිවල් හාමි තොල් මතුරමින් යෙයි.
කීප දිනක් ම රාළ හාමි ගුරු පඬුරු සොයන්නට ගිය බව ද සැබෑ ය. එහෙත් එ ටික දුරෙකි. මේ අලි-කටුසු දැන් නොදන්නෙක් නැත. කුරුල්ලෝ ද දනිති. වෙන කාගෙන් බේරුමක් ඇති වුවද අලි රාළ හාමි ට කුරුල්ලන්ගෙන් නම් බේරුමෙක් නැත. අලි රාළ හාමි දුටු විගස කුරුල්ලෝ " කටුසු හාමි " ය කියා මහ හඬ නගති. මුල දී අලි රාළ හාමි මේ හඩ අසා කැලය බිඳගෙන දිවෙයි. දැන් ඒ කවට කමක් බව දනී.
එහෙත් මේ කවට කම නිසා රාළ හාමි ට ගමන් එපා වෙයි. හිවල් හාමි ගේ ගුරු පඬුරු ලැබෙන දිනය කල් යන්නේ මෙසේ ය. වන වාසින් ගේ අවුරුදු උත්සවය ද දැන් ළඟය. එ දින වන වාසිහූ මහා සභාවක් පවත්වති. එ සභායෙහි මුලසුනට පැමිණෙන්නේ අලි රාළ හාමි ය.
වෙන දා අලි රාළ හාමි එ සභාවට යන්නේ මහත් ප්‍රීතියෙනි. ඝහත් ආඩම්බරයෙනි. එහෙත් මෙදා සභාව මතක් කරන විට ද රාළ හාමි තැති ගනී. මෙම වාරයේ සභාවේ මුලසුන අනෙකෙකු විසින් ගතයුතු බවක් ද කියයි. ඊට අලි හාමිනේ තදින් ම විරුද්ධය.
තමාගේ සැමියා එ තරම් මහත් සභවෙකැ මුලසුනෙහි හිඳිනු දැකීම ඇයට මහත් ආඩම්බරයෙකි. එ ආඩම්බරය අනෙකකුට යනු ඇයට නම් ඉවැසිය නො හැකිය. කෙසේ වුව ද උත්සව දින පැමිණියේ ය. සභා වේලාව ද ආසන්නය. සභාව පැවැත්වෙනුයේ වන මැද්දෙහි වූ එළි මහනෙකයැ. එය වටා මහ ගස් අහසට නැගී අතු විහිදුවා ගෙන සිටි හෙයින් එහි සෙවන නො අඩුය.
ගස් වෙලා ගෙන වැල් වල පිපුණු මලින් සභා භුමිය හාත්පස අතිශයින් සිත් කළුය. මල් සුවදින් සියලු කල්හි රමණීය. සභාව බලන්නට එන්නවුන් ගෙන් සභා භුමිය අවට දැන් පිරී ගෙන එයි. සතර දිශායෙන් සභාවට පැමිණෙන්නවුනට මඟ තබා හාත් පස
සෙසු ඉඩ සභාව බලන්නවුනට හැරිණ. තරුණ මහීෂ භටයෝ අට දෙනෙක් පිරිස හසුරුවති.
ඔවනොවුන් අතර කෝලාහල ඇති නොවන පරිද්දෙන් එක් තැන් වන්නට සුදුස්‌සවුන් එක් තැන් වන සේ පිරිස් විධාන කිරීම මහීෂ භටයන් විසින් කරන ලද්දේය.
දැන් සභ්‍යයෝ ද පැමිණෙති. ඉත්තෑ හාමි හාමිනේ ද පිරිවර ද සමඟ පළමු කොට පැමිණියේ ය. ඉක්‌බිති හා හාමි හාමිනේ ද පිරිවර සමඟ ද ආයේ ය. ඉත්තෑ හාමි දැක හා හාමි ආචාර කොට මඳක් සිනාසී වෙන අතකට යන්නට විය.?"
" හා හාමි, කොයි ද යන්නේ ? එන්න, අප ළඟට ඉඳ ගන්නට." මෙසේ ඉත්තෑ හාමි කී කළ, හා හාමි මහත් කොට සිනා සී මෙසේ කීයේ ය. " බෝහෝ ම ස්‌තුති යි. කමෙක් නෑ, අපට මෙහි හොදා. එදා රෑ වැස්‌සේ තෙමි තෙමී අවුත් අප සියල්ලන් අපේ ගෙයින් එළවා දැමූ හැටි මතක යි. "
ඉක්‌බිති මුව දෙ මහල්ලෝ සහ පිතිවර පැමිණියෝ ය. හා හාමි ඔවුනට ආචාර කොට තමා වුන් තැනට කැඳැවී ය. එළු දෙ මහල්ලෝ ද එතැනට ම පැමිණියෝ ය. ගෝන කුලය පැමිණියේ ද එ තැනට ම ය. වලස් දෙ මහල්ලෝ ප්‍රීති නාද නංවමින් ආහ. කාටත් වෙද කම් කරන හෙයින් වලස් හාමි සියල්ලන් අතර ප්‍රසිද්ධ ය. "මෙහි එන්න, මෙහි එන්න " යි කවුරුත් ඉඩ දැක්‌වූහ.
එහෙත් සුදුසු තැනක් ම බලා වලස් දෙ මහල්ලෝ හිඳ ගත් හ. දැන් සභා වේලාව ඉතා ළඟය. එ හෙයින් සභ්‍යයෝ එක් වර විසි තිස් දෙනා බැගින් පැමිණෙන්නට වූහ. ඔවුන් වෙන්කොට දැක්‌වීම ද දුෂ්කර ය. එහෙත් හිවල් දෙ මහල්ලන් ගේ පැමිණීම කාගෙත් ඇසට ලක්‌විය. හිවල් හාමි එ අතට මේ අතට නැමී සියල්ලවුනට ආචාර
කෙරෙමින්, නැති ඇඳුනුම් කම් දක්‌වමින්, සියලු කල්හි මඳ කොට සිනා සෙමින් ඉදිරියට පැමිණි කාටත් යම් කිසිවක් කියමින්, තමාට වඩා ශිෂ්ටයකු නැති සේ හඟවමින්, පිරිස් මැදින් ගොස් හාමිනේ ද සමඟ පසකට වී හිඳ ගත්තේ ය.
උරුලෑ හාමි හාමිනේ ද සමඟ පැමිණි බවත් සියල්ලෝ ම දත් හ. ඔවුන් පැමිණෙන බව දුර දී ම දැනී බොහෝ දෙනා නාසා හකුළුවන්නට වූහ. " ඔවුන් මෙ බඳු තැනෙකට එන්නේ කුමකට ද ?" යි එකෙක් කීය. " තමන් ගේ ඇති දොස් තමන් නො දැනීම පමණ අවාසනාවක් ඇති විය නො හැකියැ." යි තව එකෙක් කීය. " තමා ගේ පැමිණීම සභාවට හිරිහැරයක් බව දැනගත් කළ ඉතා උත්තම ගතිය නම් තමා එ තැනට නො පැමිණීම ය " යි තව මුවෙකින් නික් මිණ.
කාගේ කො තරම් අප්‍රසන්න භාවය දැක්‌වුණ ද, ඒ කිසිවක් නො දන්නා උරුලෑ දෙ මහල්ලෝ ද සොහොයුරන් මැදට වඳින්නවුන් මෙන් පැමිණ හිඳ ගත් හ.
කොටි රාළ හාමි, හාමිනේ ද සමඟ පැමිණෙන විට සභා භුමියෙ හි ඉඩ නැති තරම් ය. සභාවේ සියල්ලෝ නැගී සිට ඔවුන් පිළිගත් හ.
එහෙත් ඇතැමෙක් දුවන්නට ද සැරැසුණ හ. වැඩි සිටියො " තැති ගන්නට එපා සභාවේ දී කිසි අනිතරායක් සිදු වන්නේ නෑ " යනාදිය කියා තැති ගත්තවුන් සැනැසු හ. ඊයේ යන්තම් තමා අතින් ගැලැවුණු මුව හාමි දෙස බලා කොටි රාළ හාමි සිනාසුණේ ය. බඩ ගිනි දිනෙක ළංවෙන්නට ගොස් යස පාඩමක් ඉගැන් වූ ඉත්තෑ හාමි දැක එක ඇසෙකින් බැලී ය.
ගෝන හාමි දෙස බලා ඔහු ගේ දිවීමේ සමාර්ථ කම ගැන ප්‍රශංසා කෙළේ ය. ඌරු හාමි රාළ හාමි කම් නොසලකන්නෙකි. එ හෙයින් සැක බිය නැති ව ම පිළිවදන් දුන්නේ ය.
" ආයි බෝවන් රාළ හාමි. එදා අර ගස උඩ බොහෝ වේලා සිටියා ද ?"
”" කවර ගස උඩ ද ?"
" අර රාළ හාමි මාත් සමඟ පොරයට අවුත් මා හැරුණු විට බයේ නැගුණු ගස උඩ ?"
" මා එ ගස උඩට නැග්ගේ බයට ද ?"
" නොවේ නම්, එ තරම් වේගයෙන් දිව ගෙන ගොස් ගසට නැගුණේ ?"
" නෑ, නෑ, නෑ, එ බයට නො වෙයි. මට කැත සිතුණා."
ඌරු හාමි කොක් හඬ ලා සිනා සුණේ ය. මුවින් පිටතට නික්‌මී වක් වී ගිය දළ දෙකෙහි ද මුව ඇතුලේ දත්වල ද වෙනස හොඳින් දක්‌වමින් සිනා සුණේ ය.
" රාළ හාමි, උගත් වැදගත් නිවටයන්ගේ ඉතා ප්‍රසිද්ධ කීමක් තමා ඒ, රාළ හාමිට පිළිවන් නම් කිසි කැතක් නො සිතා මගේ මස් රස විද තලු ගස ගසා කනවා. බැරි බව දැනුණ විට මට නොගිය හැකි තරම් වේගයෙන් දිව ගොස් යන්තම් පණ බේරා ගෙන, පසුව පුරසාරම් දොඩවනවා.
ඇයි දිව්වේ ? යි යම් කිසිවකු ඇසුව හොත්, චිං, චිං, ඒ ඌරා ගඳ ගහනවා කාට ද ළංවෙන්නට පිළිවන් ? යනා දි කියා බලවත් කම, වැදගත් කම, උගත් කම, පණ්‌ඩිත කම කටින් රැක ගන්නවා."
මේ කිම ඇසූ හිවල් හාමි වමතින් හිස කසා කට කොනෙකින් සිනා සුණේය. ඌරු හාමි එ පමණෙකින් නො නැවතුණේ ය.
" ඇත්ත කියන්න, රාළ හාමි, එදා මා ගිය සැණින් ම ගසින් බැස ගියා ද ?"
මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට ඉඩෙක් නො ලැබිණ. " අලි රාළ හාමි " යන හඬ සියලු අතින් ඇසෙන්නට විය. කවුරුත් එක් අතක් බලන්නට වූහ.
සැබෑවෙකි. ඒ එන්නේ අලි දෙ මහල්ලෝ ය. රාළ හාමි අලුත පුරුදු වූ කන්නාඩිය ද ලා ගෙන ඉතා බර ලීලායෙන් එයි. හාමිනේ ද තමා ගේ ආදරය දක්‌වන්නට මෙන් රාළ හාමි ගේ ඇඟේ ගෑවෙමින් ඇඳෙයි. ඒ රුස් වූ මහ ප්‍රීති නාද නගද්දී අලි රාළ හාමිනේ ද සමඟ අවුත් වන්නේ ය.
සභායෙහි කටයුතු ආරම්භ කරන්නට වේලාව පැමිණියේ ය. කොටි රාළ හාමි සෙමෙන් නැගී සිටියේ ය. " භද්‍රයෙනි, භද්‍රාවෙනි, අපගේ සභායෙහි මූලාසනයට මම අපේ මහ රාළ හාමි යෝජනා කෙරෙමි. මීට යෝජනාවක් නො වුවමනා ය. රාළ හාමි අපිට අමුත්තෙක් නොවේ. මූලාසනය රාළ හාමිට අමුත්තෙක් නොවේ. මේ තාක්‌කල් පවත්වන ලද අපේ සියලු සභාවල මූලාසනයට මේ රාළ හාමි ම පැමිණියේ ය.
ඉතින් මේ වාරයේ වෙනසක් විය යුතු යෑ ?"
" සභාවෙක ශොබාව වැඩි වශයෙන් රඳා සිටිනුයේ මූලාසනයෙහි ය. එයට සුදුස්‌සෙකු පැමිණි කළ ශොභාව පැමිණියේ නම් වෙයි. ඉතින් අපේ රාළ හාමිට වඩා මූලාසනයට සුදුස්‌සෙකු අපි කොයින් සොයා ගනිමු ද ?" අපේ රාළ හාමි ළඟ දී බලවත් රෝගයකින් පෙළුණු බව දනිමු.
සම්පූර්ණ සුවය ලැබී රාළ හාමි නැවතත් අප අතරට පැමිණ සිටිනු දැකීම අපට මහත් ප්‍රීතියෙකි. එ සුවය අපේ සභා වාරයට කළින් ම පැමිණීම අපේ සභාව සම්පූර්ණ වශයෙන් සඵල වන බවට ලකුණෙකි."
" තමාට උරුමයෙන් මෙන් පැමිණි මූලාසනය භාර ගෙන අප සියල්ලන් නිසි මඟ යවන සේ මම අපේ රාළ හාමිට මහත් ගෞරවයෙන් ආරාධනා කෙරෙමි."
කොටි රාළ හාමි ගේ දේශනාව මෙසේ කෙළවර විය. එහෙත් එයින් නැංවුණු ප්‍රීති නාදය විනාඩි ගණනක්‌ම පැවැත්තේ ය. අලි රාළ හාමි ප්‍රීති නාද පවත්නා අතරම නැගී සිට මූලාසනයට පැමිණියේ ය. ඔහු දේශනාව පිණිස නැගී සිටීම නැවැත ද ප්‍රීති නාද පැවැත්වීමට වාරය පැමිණ විය.
එය නැවතුණු පසු අලි රාළ හාමි මහත් උදාර ලීලායෙන් හාත් පස බලා ස්‌වකීය දේශනාව පටන් ගත්තේ ය. " භද්‍රයෙනි, භද්‍රාවෙනි, නැවත ද වරක් මේ මහ සභායෙහි මූලාසනයට මා පත් කැර ගැනීම ගැන ඔබ සියල්ලන් හට ම ස්‌තුති කෙරෙමි.
මගේ රෝගය එ තරම් ඉක්‌මණට සුව වූයේ ඔබ හැම ගේ මහත් ආදරය නිසාය. ඔබ ගේ ආදරය මහත් වන විට මගේ ධෛර්ය ද්වි ගුණ වෙයි. අද මෙහි පැමිණෙන්නට ලැබුණේ එ හෙයිනි. එ හෙත් මගේ සම්පූර්ණ ශක්‌තිය තවම නො ආයේ ය.
වෙද්දු මට ගෙදරින් පිට වීම තහනම් කළෝ ය. ඔවුන් ගේ නියමය ද නො සළකා මම ඔබගේ මුහුණු දැකීමේ ප්‍රීතිය විඳින්නට පැමිණියෙමි. " රාළ හාමිට කියන්නට ලැබුණේ එ පමණය. ඔහු ගේ සොඬ හැකුළුණේ ය. ඇස එ මේ අත කරකැවුණේ ය. හේ වනා නැගි කිසිවකු ගැන ද නො සළකා කැලය බිඳ ගෙන දිවෙන්නට විය.
අලි හාමිනේ ද පස්‌සෙන් වැටුණා ය. එ මුළු මහ සභාව මහ කුනාටුවක් පැමිණි මහ
මුහුද මෙන් විය.
" කිමෙක් ද කිමෙක් ද " යි කවුරුත් අසති. උත්තරයක් දෙන්නෙක් නම් නැත.
