අටවන දර්ශනය
 

(මුළුමනින්ම වේදිකාව ආලෝකමත් වේ...ඒ අතරින් නිවේදක ඉදිරියට එයි)


නිවේදක : සුබ සැන්දෑවක්...කාලය ඉගිල ගිහින් බොහෝ ඈතට ... බොහෝ දේවල් සිද්ධ වෙන්නේ අපි නොහිතන ලෙස... දහවලේ ගංගා හිසින් ඉඟිල යන කොකුන් රෑට බතට තුරු හිස් මතට ගමන් කරන්නා සේ .... දේශපාලකයන් ඔවුන්ගේ ඉලක්ක වෙත ගමන්කරනවා හොඳින් හෝ නරකින්...න්‍යුග්‍රෝධයට නැවතත් කාර්යබහුල කාලයක් උදාවෙලා...බලන්න සෑම අතකම බැනර්...පෝස්ටර්...කොඩිවැල්..ලෙලදෙන ආකාරය...අයෙක් අපට කියනවා...මට දෙන්න බලය. තවකෙක් මට දෙන්න කියනවා...ඒ අතරින් කෙනෙක් ඇයි මම..මටත් දෙන්න කියනවා..අපි දෙමු. හැමෝටම දෙමු. එහෙම නැතුව හොඳ නැනෙ ඉතිං...(ප්‍රේක්ෂකාගාරයේ අයෙකු ගෙන්) කාටද දෙන්නෙ ඡන්දේ...කමක් නෑ..කැමති කෙනෙකුට දෙන්න. මොකද මේල ප්‍රජාතන්ත්‍රවාදි රටක්...


(පාදඩයා වේදිකාවට ඇතුළු වෙයි. ඔහු උද්යෝගයෙන් පසුවෙයි. වටපිට සියල්ල මැනවින් සකස් වී ඇත්දැයි විමසා බලයි. නිවේදක දැක ඔහුට දේශපාලකයෙකු දැන් එකතුකර වඳියි)


නිවේදක : කොහොමද මේ පාර ඡන්දෙට බැහැල වැඩ වගෙ


පාදඩ : අපි මේ පාර නියම බඩුවක්, අහල තියෙනවද මිනිහ තමයි සත්‍යපාල...සත්‍යපාල...අපි සත්‍යපාලට...අත්‍යපාල අපිට.


නිවේදක : මොකද සත්‍යපාලවම තෝරන්නෙ



පාදක : එයාට තියෙනව හොඳ අනාගතයක්. සාත්තරකාරයෝ කියනවා මිනිහ කවද හරි රජ වෙනව කියල. (පහත් හඬින්) අපි දන්නව එයා යන්න ඕනෙ තැන...අපි එයාව ගෙනියනව එතැනට.


නිවේදක : (ඈත බලමින්) කට්ටිය එනව වගේ


පාදඩ : අද මුළු ටවුම පුරාම පිළිගැනීමේ උත්සව. මම තමයි මේ සේරටම වියදම් කරන්නේ.

(පාදඩ උද්යෝගයෙන් යුතුව අතින් සන් කරයි. නායකයා ඇතුළු පිරිස ඇතුළු වෙයි. පාදඩ ඉදිරියට දිව ගොස් නායකයා වේදිකාව මතට රැගෙන එයි)


නිවේදක : න්‍යුගෝධයේ අග්නි ආර්යයන් යලිත් දේශපාලන අරගලයකට එල්බ සිටිති. නිදහස අගයන සාමය රජයන මානව හිතවාදි හෙට දවසක් වෙනුවෙන්...විනාශකාරි ප්‍රවණතාවයන් මැඬ පැවැත්විය හැකි, ජීවිතයේ යහපත් සහ ගුණගරුක හරයන් පුනර්ජීවනය කළ හැකි දේශපාලන සංස්කෘතියකට අපි ඇස් යොමු කරමින් සිටිමු. පටු අදහසින් තොර, වර්ග වාදයෙන් කැබලි නොවූ ස්වර්ග රාජ්‍යය ඇත්තේ කොහිද පියාණෙනි...ඒ වෙත අප අවදිකරන්න...ඒ වෙනුවෙන් සංස්ඨාංගයෙන් වැඳ වැටෙන්න අප පොළඹවන්න. (ඇඟිල්ල දික්කර) ඒ වෙනුවෙන් ද වරම් ඉල්ලන්නේ ජනතා නායකයින්.


නායක : සහෝදර... සහෝදරවරුනි
(නායක අසතුටින් පාදඩ දෙස බලයි)


නායක : මව්වරුනි, පියවරුනි අද ඔබ ඉදිරියට පැමිණ මම ජනතා වරමින් අයැද සිටින්නේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටින නිවැරදි දේශපාලකයෙකු වීමටයි. මෙතෙක් කල් ගමන් කළ අපගේ දේශපාලන ගමන් මාර්ගය නිවැරදි මාවතකට එළැඹීමට දැන් කාලය පැමිණ තිබෙනවා....

 
පාදඩයා : ජයවේවා


නායක : මං හිතන්නෙ අපි දැන් අළුතින් හිතන්න පටන්ගත්තොත් හොඳයි...මිනිසුන්ට එරෙහිව මිනිසුන් නෙමෙයි...මිනිසුන් වෙනුවෙන් මිනිසුන් හිතන අළුත් දේශපාලන රටාවක්... එය ධර්මයෙන් පෝෂණය විය යුතුයි.


පාදඩ : (ප්‍රේක්ෂකයන්ගෙන්) මට මතක් වෙනවා...ඔව් ඒ අපේ ලොක්කගෙ හඬ ... ලොක්කගෙ හඬ ... ලොක්ක මැරුනෙ නැද්ද... නෑ මැරුන... ඒ වුනත් මේ කවුද...

නායක : අපේ දේශපාලන ගමන් මාර්ගය එහෙම පිටින්ම වල්මත් වෙලා. අපි අන්දකාරෙ අතපතගාන ජාතියක් වෙලා...ඇත්තටම අපි අන්දවෙලා


පාදඩ : පිස්සුද ලොක්කා අපිට හොඳට පේනවා


නායක : නෑ අපි වල්මත් වෙලා... අපි අන්දවෙලා


පාදඩ : ලොක්කා මොනවද මේ කියන්නෙ...පිස්සු නැතුව මිනිස්සු හොල්මන් වෙන්න කතා කරන්න.


නායක : කෝ එදා දැහැමින් සෙමෙන්...දශරාජ ධර්මයෙන් රට පාලනය කළ රාජ්‍ය නායකයො....කොහෙද හැංගුනේ.


පාදඩ : අපිට ඕනෙ අපේ ආණ්ඩුවක්


නායක : සහෝදර සහෝදරියනි, නගරය පාදඩයන්ගෙන් පිරිලා...ඔවුන් නගරයේ රජවෙලා...ඔබේ දරුවන් පා තබන ලොකය විෂමාචාරයෙන් විනාශවෙලා.


පාදඩ : පාදඩයන්ගේ... මටද කිව්වේ...


නායක : සෑම දෙයකම මිල ඉහලයි. එහෙත් මරණයේ මිල කොතරම් අවමද, අද මනුෂ්‍යකමට මොනම අගයක්වත් හොයාගන්න බෑ. සියලු මනුෂ්‍යයින් අඳුරේ සැරිසරන්නන්ට එරෙහිව නැගී සිටින්න.

පාදඩ : ඒයි ලොක්කා අපි තමුසෙව ඔතන තිබ්බේ ඕව කියන්න නෙමෙයි.


නායක : සහෝදරවරුනි, මේ අඳුරේ සැරිසරන්නන් නොකඩවා වැඩෙමින් අපගේ සියලු සාරධර්ම අභිබවමින් වර්ධනය වෙනු ඇත. මානව ශිෂ්ඨාචාරයන්ට ද්වේශ කරන්නන් සමඟ අපට බොහෝ කල් ජීවත්වීමට සිදුවේ. ඔවුන් අපගේ සම්ප්‍රදායන් කම්පනයෙන් දෙදරවනවා පමණක් නොව, අපගේ ජීවිතවල මනුෂ්‍යකම් රළු පරලු අතවලින් සූරා ගනු ඇත. වෛරයේ ගිනිදළු වලින් සියලු ගම් නියම් ගම් දවා අලු කරනු ඇත.

(පාදඩයා කිසිවක් නොකියා නායක දෙස බලා සිට ඔහුට වෙඩි තබයි)


පසුබිමෙන් : (නිවේදක හඬ)ප්‍රාදේශීය දේශපාලන තරඟයකට අවතීර්නව සිටි ස්වාධීන දේශපාලන නායකයෙකු නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කරන ලදී. මෙම ඝාතනය....


පාදඩයා : ඒයි නවත්වනවා ඔය කතාව තමුසෙ කියන්න ඕනදේත් මම කියන්නම්.


(පාදඩයා නායකයාගේ සිරුරට කකුල තබා නායක සිටි වේදිකාවට නගියි)


පාදඩ : මේක අපේ කාලය... ඒක වෙනස් කරන්න උත්සාහකරන්නේ කවුද...ඔහුගේ ඉරණම...බොරු පුරසාරම් කථා අපිට වැඩක් නෑ...ඔය පාර මැද්දේ ඉන්න හැමෝම කරුණාකරල පාරෙන් අයින් වෙන්න.... අපේ ගමන අපිට යන්න.


(සංගීතය මතුවේ)


(වෙස් මුහුනු ලාගත් පාදඩයන් මිනිසුන් අතරින් මතුවේ. ඔවුන් ප්‍රේක්ෂකාගාරය වෙත ගමන් කරති)

(c) Shilpa Sayura Foundation 2006-2017