හත්වන දර්ශනය (දෙවන කොටස)
 

නායක : එයා වෛශ්‍යාවක්...


ස්වාමි : වෛ...වෛශ්‍යාවක්...මොන තරම් සුන්දර වචනයක්ද..// කොහොමද ගණන් හිලව්


නායක : රාගය සතර මග දික්කරන්නේද


ස්වාමි : රාගය නම් සුන්දර වූ මනුෂ්‍ය ගතියකි...විරාගය නම් රෝගයකි...වහාම ප්‍රතිකාර ගැනීම උචිතයි...දරුවා ගණන් හිලව් කොහොමද ?

නායක : මං දන්නෙ නෑ...ස්වාමිනි අන්න එනවා එයාගෙන්ම අහගන්න
(වාසුකි ඇතුළු වන විට ස්වාමි පද්මාසනයෙන් වාඩිවී හස්ත මුද්‍රවෙන් සිටියි)


වාසුකි : වඳියි ස්වාමිනි අගිල් කපුරු දුම් චන්දන


ස්වාමි : සැවැන්දරා කොකුමගරා...ආශිර්වාද වේවා...දරුවා ඔබගේ නම


වාසුකි : වාසුකි


ස්වාමි : ඕ...වේදයේ කියවෙන්නක්


වාසුකි : මම ඔබ තුමා ගැන අහල තිබුනා...එහෙම වුනත් කවදාවත් දැකල තිබුනෙ නෑ.


ස්වාමි : ඒක හොඳයි..(ඇගේ අතින් අල්ලයි)


වාසුකි : (කලබල වෙයි) මං අහන්න ආවේ ආහාර පිණිස ඔබතුමා කුමක්ද ගන්නෙ කියල..දැනගන්න  ඉරමුසු..බෙලිමල් වතුර.. එහෙම නැත්නම් පලවැල


ස්වාමි : දරුවා වරදවා නොසිතන්න..මේ කලියුග කාලයේ අපට ආහාර වරිගීකරණය කල නොහැකි..පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබර ආහාර වේලක් සඳහා දිය ගොඩ මාංශ ඇතුළු ඕනෑම අහරක්...ඔය දියර ආහාර පිළිබඳව වෙහෙස වීමට වුවමනා නොවේ...රාත්‍රියට කොත්තු රොටියක් වුවත් සෑහේ බඩියක් සමඟ.

වාසුකි : (වික්ෂිප්තව) ස්වාමිනි ස්...


ස්වාමි : කමක් නෑ...දරුව එහෙම හොඳ
(ස්වාමි පිටවෙයි...වාසුකි ඔහු පසුපස මඳ දුරක් යයි)

(ඉන්ද්‍ර සහ වාසුකි ඇතුළු වෙයි. ස්වාමි සහ නායක වේදිකාවේ පසුපස කෙලවරක ඉගෙන ගනිමින් සිටිති)


වාසුකි : මෙයත් හරියන කෙනෙක් නෙමේ...රෑට කන්න කොත්තු රොටියි බඩියකුයි ඉල්ලනව...


ඉන්ද්‍ර : කොත්තුරොටියක්...මට හිතෙන විධියට මිනිහත් ධර්මයෙන් බංකොලොත් වුන කෙනෙක්.


වාසුකි : අර යකානේ උස්සන් ආවේ...කවුද...මොකෙද්ද ... කින්ද මන්ද කියල මොනවත් දන්නෙ නෑ...


ඉන්ද්‍ර : ඔන්න ඔහේ එලවල දාමු...මේ..ස්වාමිනි...


ස්වාමි : කිමෙක්ද දරුවා


ඉන්ද්‍ර : අපිට හදිසියේම ඔබගේ සේවය අත්හිටුවන්න සිද්ධ වෙනවා...


ස්වාමි : අත්හිටුවන්න...? එහෙම එහෙම කරන්න එපා පව්...


ඉන්ද්‍ර : අපි බොහොම දුප්පත් මිනිස්සු...අපිට අමාරුයි...ඔබට ආවතේව කරන්න...


නායක : ඔබට වැටුප් ගෙවන්න මුදල් හොයාගන්න අමාරුයි...


ස්වාමි : මම නොමිලේම කරගෙන යන්නම් දරුවා...ධර්මයට මිල මුදල් අවශ්‍ය නැත...එය ධර්මදරයනට අකැපයි...ධර්මය නල මුදු සුවඳක් සේ ගලා යා යුතුයි...සද පහනක් සේ බැබලිය යුතුයි...


ඉන්ද්‍ර : එච්චරයින් කමක් නෑ..අපිට ආර්ථික ප්‍රශ්න තියෙනවා...දන්නවනේ ජීවන වියදම බොහොම ඉහලයි...

ස්වාමි : අහර බිඳක් මට සෑහේ...හිතන්න මං අසරණ බමුණෙක් කියා

(පාදඩයා ඇතුළු වෙයි, කලබලයෙනි)


පාදඩ : අන්න වැඩේ හරි...හරි වැඩේ...ඇහුනෙ නැද්ද..ඇහුනෙ නැද්ද...නගරයම කලබල වෙලා..


වාසුකි : මොකද්ද


පාදඩ : ඔය ඇහෙන්නෙ වෙඩි සද්දේ


ඉන්ද්‍ර : (ඇතුළු වෙමින්) මොකද මොකද ඒ පාර මොකද


පාදඩ : නගර සභාව විසුරුවා ඇරියා...හිටපු මැම්බර්ල ඔක්කොම බ්ලාස්


වාසුකි : ඉතිං


පාදඩ : ලගදීම ඡන්දෙ


නායක : ඡන්දෙ


පාදඩ : ඔව් ලොක්කා...ඔව්..ඔන්න පෑදුනා මාර්ගෙ ...ඉල්ලන්ඩ අපේ මේ කොට්ඨාශෙට...පුල් සපෝට් එක මගෙන්...පොස්ටර්..බැනර්..කටවුට්..හැබැයි එක දෙයක්...පිස්සු කෙලින්ඩ නම් ලෑස්තිවෙන්න එපා...දේශපාලනයට තියෙන්නේ එක පාරයි...ඒක තමයි දැන් හැමෝම යන පාර.


(අඳුරුවේ)


(ආලෝකමත් වන විට කාමරයේ තනිවන විජායි, ඉන්ද්‍ර සහ වාසුකි, නායක දේශපාලකයෙකු කරවීම සඳහා විවිධ දේ අභිනයෙන් කර පෙන්වයි. ඒ අතරින් නිවේදක ඉදිරියට එයි)

නිවේදක : මගේ කාලයේ දේශය පාලනය කරන්නේ බොහෝ දේ දැනඋගත්තෝමය. ආගම ධර්මයද, ඉතිහාසය හා අනාගතයද, සියලු විද්‍යා කලාකෙලි මෙන්ම සෞන්දර්යේ නියතයන් දැනගත්තද පල නැත. ඔහු උගත යුතු වටිනාම දේ මිනිස්කමයි. මහා චක්‍රවර්ති රජෙක් වුව මිනිස්කම දිග්විජය නොකරන්නේ නම් ඔහු තුළ කිසි වටිනාකමක් නැත්තේ වෙයි. පරතෙරක් නැති නූඹ ගෙබෙහිද, අනන්ත සාගරයෙහිද, හිරු මියෙන දිගාන්තයේද නොවනා මිනිස්කම ඔහුගේ හදවතේ ගැඹුරුම ද්වාරයේ උණුසුම් ලෙස ජීවත් විය යුතුය.


මෙම අඳුරු කුටිය තුළ සිත් පිත් ඇති මිනිසුන් අතරේ අපේ කාලයට උචිත දේශපාලකයෙකු මිනිස්කම තිඹිරිගෙය කොට පණ ගසමින් සිටියි.


වාසුකි : ඔහු අපගේ සොහොයුරාය


විජායි : ඔහු අපගේ සහෘදයාය


ඉන්ද්‍ර : ඔහු අපගේ.....

(දොරට තට්ටු කරන හඬ)


(කළු හැඳගත් මිනිසෙකු කාමරයට ඇතුළු වෙයි. ඔහු අතින් ඉන්ද්‍රට සන් කරයි. ඔහු ඉන්ද්‍රට වේදිකාවේ කෙලවරකට කැඳවා ඉනේ ඇති පිස්තෝලයක් පෙන්වයි)

 

(ඇඳුරුවේ)

 

(c) Shilpa Sayura Foundation 2006-2017