හත්වන දර්ශනය
 

(තපෝ බිමකට ගැලපෙන සංගීත හඬක් මතුවේ. හිස බිමට යොමා ඇතුළු වෙයි. වාසුකි ගොස් ඔහුට දණ නමා ආචාර කරයි)


ස්වාමි : ශාන්ති


වාසුකි : ශාන්ති, නෙමේ මම වාසුකි


ස්වාමි : කමක් නෑ...දරුවා...ඔබ සැමට නිදුක් නිරෝගි ආශිර්වාදය...(වටපිට බලා) අසුනටද


වාසුකි : (වාසුකි අසුනක් පෙන්වයි) මෙතෙන්ට මෙතෙන්ට ස්වාමිනි


ස්වාමි : දරුවා...අගිල්, කපුරු දුම් චන්දන...සැවැන්දර, කොකුමගරා...


වාසුකි : ස්වාමිනි...එව්වා හොයාගන්න අමාරුයි...මොකද අද බේත් බඩු කඩේ වහල ඇති.


ස්වාමි : දෙයියන්ඩ එව්වා කියන්න බෑ...ඉක්මනින් ඒ ගැන බලන්න...මම ආයුධනයට වජ්‍රයද...දෙනුන්ට කාම ධේනුවද...සර්පයනට වාසුකි ද වෙමි.


වාසුකි : වාසුකි


ස්වාමි : මම නාගයනට අනන්තයාද...යාදවනයට වරුණද වෙමි...මෘගයාට සිංහයාද...පක්ෂීන්ට ගුරුලාද වෙමි.


ඉන්ද්‍ර : මේ...ස්වාමිනි...අපිට මේ...


ස්වාමි : මට තේරෙනවා දරුව...නිහඬවෙන්න...බහුවිද අසංගනියෙන් පිරුන මේ කලියුගය ... තවත් කාලයක් රදා සිටිනු ඇති... එය අවසන් වූදා දස දිගෙහි ධර්මය...පාද සතරයි...පාප කර්මයෝ නොවේ...ප්‍රාණයෝ මජ්ජාගනයි...මානව දේශය එක්විසි රියනයි...රනින් නිමකල භෝජන පත්‍ර ව්‍යවහාරයි...සත්‍යවාදි බව පවිත්‍රත්වය...සහ ධර්මය ඉහලයි...තපෝව්‍රතය පරම පිහිටයි...ශෝක රෝගාදියෙන් තොරයි...සියල්ලෝ ශාස්ත්‍රයේ පරප්‍රාප්තයි...ධන ධාන්‍යයෙන් ආඬ්‍යයයි.


ඉන්ද්‍ර : (පාදඩ පසෙකට කැඳවා) මොනවද මේ කියන්නේ මෙයාට කිව්වේ නැද්ද කාරණය


පාදඩ : නෑ ජොබ් එකක් තියෙනව කියල විතරයි කිව්වේ...


ඉන්ද්‍ර : මිනිහ බෑ කියයිද දන්නෑ


පාදඩ : පිස්සුද බොස්
(ඉන්ද්‍ර නායකට අතින් කථා කොට ස්වාමි ඉදිරියට රැගෙන යයි)


ඉන්ද්‍ර : ස්වාමිනි..එහෙම දෙයක් නෙමේ...මේ අපේ ඥාතියෙක්.....ඔහුට ධර්මය ඉගෙන ගන්න අවශ්‍යයි....නමුත් ඔහු තරමක බුද්ධි පටලැවීමකින් පෙලෙනවා.


ස්වාමි : ධර්මය ඉගෙන ගන්න මේ දවස්වල කවුරුවත් නොකරන වැඩක්....


ඉන්ද්‍ර : ඔහු දේශපාලකයෙක් වෙන්න....සාධාරණ .. මානව හිතවාදි


ස්වාමි : පුදුමයි ... පුදුමයි ...


පාදඩ : (උස් හඬින් සිනාසෙයි)


ස්වාමි : පූජාවට පෙර නිශ්ශබ්දතාවය වැදගත් (අන් අය පිටවේ...නායක ළඟට ගොස් ඔහු කැඳවා දකුණු ආලෝක ලපය වෙත යයි. අන් අය පිටවෙයි) දරුවා ඇත්තට ඔබ කවුද...

නායක : මම සත්‍යපාල


ස්වාමි : එහෙම නැතුව වෙන කෙනෙක් නෙමේ....


නායක : සත්‍යයයි... ස්වාමිනි....මම සත්‍යපාල


ස්වාමි : සත්‍යපාල ධර්මය කුමරු දේශපාලනයට


නායක : මම ආසයි වෙනස්වෙන්න...වෙනස් විධියට හිතන කෙනෙක් වෙන්න


ස්වාමි : පුදුමයි...(ඉදිරියට යයි) ධර්මය යනු විධි නියෝග බව වේදයේ සඳහන් වෙයි...ධර්මාධර්ම අතර පවත්නා විශේෂය වේද වාක්‍යනුසාරයයි.


නායක : වාද ශබ්ද කෙලවර කරන්නට නම්


ස්වාමි : ධර්මේණ ගමන මුලධවය, ගමනාමධ්‍යස්ථාරාත් ...භව්‍යධර්මේණ ශුන්න චාපර්ගෝ විපර්යාස දිෂ්‍යනෙ බන්ධනඃ


නායක : තේරුම


ස්වාමි : ධර්ම සංඛ්‍යාත පුන්‍ය කර්ම පරිචයෙන් පුද්ගලයා ස්වර්ග සම්පත් ලබයි...අධර්ම සංඛ්‍යාත පාප කර්ම පරිචයෙන් ඔහු විනිපානය ලබයි.


නායක : සංසාරය ගැන


ස්වාමි : වෛරාගසාන් ප්‍රකෘනියලඃ සංසාරෝ භවනි රාජසාද් රාගාන්


නායක : තේරුම


ස්වාමි : වෛරාගය හේතුකොට ගෙන පුද්ගලයා ප්‍රකෘතිය හා එක්වෙයි...රාජසිහ ගුණයෙන් හා රාගයෙන් යුක්ත වූ එතෙම සසර සැරිසරයි.


නායක : (එයම ප්‍රතිරාවය කරමින්) රාජසිහ ගුණයෙන් හා රාගයෙන් යුක්ත වූ හෙතෙම සසර සැරිසරයි.

ස්වාමි : දරුවා පස්සේ පුළුවන් සසර සැරිසරන්න...දැන් මෙහෙ එන්න


නායක : ඇයි


ස්වාමි : දැන් මගේ වැටුප ගෙවන්නේ ඔබද..ඔවුන්ද


නායක : වැටුප්...මොන වැටුප්ද ... වැටුප් නෑ...


ස්වාමි : වැටුප් නෑ...ඒ මොකද


නායක : ධර්මය ප්‍රචාරයක්...විකිනීමක් නෙමේ..


ස්වාමි : එහෙම පෙනුනට ඒක හොඳ ව්‍යාපාරයක්..ඒ වුනත් දැන් කාලෙ මොනවද නිකං දෙන්නෙ...හැම දේම මුදලට


නායක : හොඳයි මම පිරිසිදු දේශපාලකයෙක් වුනාම ඔබට ඒ සියල්ලම ගෙවන්නම්.


නායක : ඔබට ගෙවිය යුතු මිලෙන්ම


ස්වාමි : හොඳයි මේ නගරය ගැන දන්නවද


නායක : මතක නෑ


ස්වාමිනි : මේ අහන්න...පසක් කල නොහැකි නිවන ඇරපාන්නාවූ සියලු යතිවරුන්ගේ ප්‍රවේණි නගරයක් වූ මෙහි මනපිනවන න්‍යුග්‍රෝධ නම් නගරයක් විය. එහි සතර කොනෙහි එල්ලන ලද අනල ... ලෙලුණ නිකිණි රාවය හේතුකොටගෙන ධර්ම සභාවද නිරතුරුවම ධර්මය නගන්නා සේ ඇසේ...මේ අර ගෑනු දරුව කවුද

(c) Shilpa Sayura Foundation 2006-2017