වාසුකි : ඉන්ද්‍රගුප්ත පිස්සුද මේක පුරසාරම් කියන වෙලාවක්ද
විජායි : මට සමාවෙන්න වාසුකි...අපි අතරේ මොනම හරි හිත් රිදුමක් ඇති වුනානම්...විජායිනන්ද - අපි හොඳ යාළුවෝ...මම යනව පොලිසියට...මම කියනව ඒක කළේ මමයි කියල.
ඉන්ද්‍ර : ඉන්ද්‍රගුප්ත මොකද මේ උඹට පිස්සුද කොල්ලෝ.....(පසෙකට කැඳවා ගෙන යයි) උඹට යන්න දුර ගමනක් තියෙනවා. ඇරත් උඹල වගේ ඔළුව තියෙන තරුණයෝ ජීවත්වෙන්න ඕනෙ කාලයක් මේක....මම කියන්නම් මමයි මේක කලේ කියල.
වාසුකි : අපි තුන්දෙනාම මිනිහ මරන්න කැමති වුනා...මැරුව....දැන් අපි ඇයි ඳධුවමට විතරක් මෙහෙම වෙනසක්....මම කැමති නෑ ඒකට...අපි එන විධියකට මුහුන දෙමු.
(කෙඳිරිලි හඬක් ඇසේ. ඔවුන් විමතියට පත්ව එකිනෙකාගේ මුහුනු බලති. වාසුකි පිටුපසට ගොස් බලා දිව එයි)
වාසුකි : ඉන්ද්‍ර .. විජායි ..(ඉන්ද්‍ර සහ විජායිද දුව ගොස් බලති)
විජායි : මැරිල නෑ නේන්නම්.
ඉන්ද්‍ර : මොකද වුනේ...අපි හොඳටම මිනිහව මැරුව නේ.
විජායි : මම හිතන්නේ මගේ අතින් නෙම මිනිහ මැරුනෙ.....ඉන්ද්‍රගුප්තගේ අතින් නේද හොඳටම බෙල්ල මිරිකුනේ.
ඉන්ද්‍ර : මම වෙන්නැති සමහර විට විජයානන්ද වෙන්නත් ඇති. මොකද ඒ වෙලාවේ අපි හිටියෙ වෛරයෙන් අන්දවෙලා.
විජායි : මට හොඳටම හිතෙනව මම නෙමේ කියල.
වාසුකි : ඒයි අර බලන්නඩ.
(නායක නැගිට වැනි වැනි ඉදිරියට එයි...පිරිස භ්‍රාන්තව පස්සෙන් පස්සට යයි...නායක නැවත වේදිකාව මැද ඇද වැටෙයි)
විජායි : දැන් මේකා ජීවත්වෙන එක මැරුණාට වඩා භයානකයි.
වාසුකි : ඔව් මිනිහ, මිනිහට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම කියයි අපි මිනිහව මරන්ඩ හැඳුව කියල.
ඉන්ද්‍ර : අලි කෙලියක්නෙ වුනේ
විජායි : මොකද්ද ඉන්ද්‍රගුප්ත දැන් කරන්නේ
වාසුකි : අපි මනිහව මෙතනම දාල පැනල යමු කොහාට හරි
ඉන්ද්‍ර : තාවකාලියි....අපි කොහොම වුනත් මිනිහ මරන්නම ඕනෙ
වාසුකි : ආයෙත් මරන්න
ඉන්ද්‍ර : නැතුව වෙන මොනව කරන්නද ... විජායිනන්ද ඔහෙගේ පුතා.... ඔහෙගේ අනාගතය...ඔහේගෙ එකම බලාපොරොත්තුව ... හිතන්න ... හිතන්න .. ඒ ගැන ..ඔහෙට නම් පුතා... අද මේ වගේ අතන මෙතන වැටිල ඉන්න ඕනෙ නෑ... එයා විවාහපත් වේවි...ඔහේට මුනුබුරෝ හිටීවි...ජීවිතේ ලස්සන තැනක් වේවි...ඒක නැති කලේ කව්ද...ඒක නැති කලේ කවුද ... දැන් ඒකට අවස්ථාව ලැබිල...දැන් ඒකට අවස්ථාව ලැබිල...
විජායි : මලාට පස්සෙ
ඉන්ද්‍ර : ඒ මිනිහගේ බෙල්ල මිරිකුනේ මගේ අත්න්නම්...විජයායිනන්දටත් තියෙනව දැන් යුතුකම් ඉෂ්ට කරන්න අවස්ථාවක්
විජායි : හොඳයි උඹ කියන නිසා හැබැයි...මලාට පස්සේ මොකද කරන්නේ කියල මගෙන් අහන්න එපා.
ඉන්ද්‍ර : ඒ වගකීම මටම බාරදෙන්න
විජායි : (නායකයා අසලට ගමන් කරියි) පාහර බල්ලා....උඹ මගේ පුතා මගෙන් උදුරගත්තා...උඹෙන් පලිගන්න මම කාලයක් ඇඟිලි ගැන්නා...(ගෙල මිරිකීමට සැරසෙයි...විවිධ ලෙස උත්සාහ කරයි...ආපසු හැරී එයි)
ඉන්ද්‍ර : ඇයි
විජායි : මට බෑ කියල හිතෙනවා...මට ඒ මිනිහගේ මූණ දැක්කම පුතාව පේනවා... පුතාව මරපු වධකයෝ මේ විධියටම එන්න ඇති කියල හිතෙනවා...මට බෑ ඉන්ද්‍රගුප්ත ... මට බෑ...
ඉන්ද්‍ර : ඒකට කමක් නෑ...විජායිනන්ද ඉඳගන්න ඔතනින්...මේ පාරත් මමම කරන්නම්....
(බරපතල කාර්යයකට මෙන් සූදානම් වී අන් අයගේද මුහුනු බලා නායකයා දෙසට ගමන් කරයි)
ඉන්ද්‍ර : (ඉතා සෙමින්) දේශද්‍රෝහියා....මිනීමරු අලුගෝසුවා....පාදඩයා....මිනිසුන්ගේ රීරි මාංශ උරාබීපු ලේ මාපිලා....මගමරුවා....කුණකටුවා..
(ඔහුද වටේ කැරකැවෙයි. එක්වරම බෙල්ල මිරිකීමට යයි)
නායක : ආ.....(ඉන්ද්‍රගුප්ත ඔහු අතහැර පසෙකට වෙයි...සිත එක්තැන්කර ගැනීමට වෙහෙසෙයි. එක් ආලෝක ලපයක නතර වෙයි)
ඉන්ද්‍ර : මට බෑ...මට ඒක කරන්න බෑ...වාසුකි.
වාසුකි : (මඳක් ඇවිද ගොස්) (හිසෙන් බැරිබව පවසා ඉවත් වෙයි)
ඉන්ද්‍ර : මගේ හිතේ කාලයක් පැසවපු වෛරයක් තිබුන...මම විශ්වාස කළා මිනිහව එක ජාතික යුතුකමක් කියල - රටට ජනතාවට කරන සේවයක් කියල...අපි වගේම හිතපු බෝම්බකාරය ඒක කලා...ඒ මිනිහ දන්නෙ නෑ....සංතෝෂවුනාට...මෙයා මලේ නැහැ.. කියල ඒ කරුමෙ අපිට ඉතිරි වුනා...අපි අපේ යුතුකම ඉෂ්ට කලා...ඒත් මැරුනෙ නෑ...ඒ වෙලාවේ මගේ අත් දෙකේ තිබුනෙ ... මගේ මුළු ඇගේම කැකෑරිච්ච වෛරය..ඒක ඒක ගොනුවෙලා මගේ අත්දෙකට ආව...අත්දෙකින් මිනිහෙක් බෙල්ලට ... දැන් ආයෙත් ඒ හැඟීම් එන්නේ නෑ...ඒ වෛරය එන්නෙ නෑ...
විජායි : වෛරය පිරිමහගන්න මිනිහෙකුට මිනිහෙක් මරන්න පුළුවන් එකපාරයි...මිනිහව මරල අපි අපේ වෛරය පිටකලා... ආයෙත් ඒක එන්නේ නෑ අපේ ඇඟට
නායක : වතුර
වාසුකි : අනේ..අනේ.. අර බලන්ඩ මට නම් මෙහෙම බලාඉන්ඩ බෑ....
නායක : වතුර
වාසුකි : (වතුර කෝප්පය ඇති තැනට ගොස් අතට ගෙන ඉන්ද්‍ර දෙස බලා සිටියි)
ඉන්ද්‍ර : දෙන්ඩ...දෙන්ඩ...ඇතිවෙන්ඩ දෙන්න
(වාසුකි වතුර ගෙනවිත් ඔහුට දෙයි)
ඉන්ද්‍ර : බීපන්...බීපන්...ඇතිවෙන්න බීපන් කාලකණ්නියා...
(අඳුරුවෙයි)