සුවය
 

අලි රාළ හාමි ගේ ලෙඩ දැන් ඉතා දරුණුය. මොහොතක්‌ සැනැසිල්ලේ ඉන්නට නැත. මර හඬ නැඟීම, බමරයක්‌ මෙන් කටකැවීම, එ මේ අත දිවීම, බිම පෙරැළීම පිළිවෙලින් කෙරෙයි. නිසි වෙද කම් නො කළ හෙයින් මේ මහත් අමාරුවට පත් වූ බව අලි හාමිනේ කියයි.

අලි රාළ හාමි ද එ බව දනී. " ඉතින් කුමක්‌ කරන්නට ද ? දළ උගුල්ලන්නට සැරසෙන විට ම මගේ මොළේ කන්නා වගේ දැනුණා. ඉන් මා දඟලන්නටත් මර හඩ
දෙන්නටත් පටන් ගත්තා."
" අනේ තව ටිකක්‌ ඉවැසුවා නම් "
" හාමිනේ දොඩවනවා. ධ අමාරුව හාමිනේට හැදුණා නම් හාමිනේ ගෙයින් බාගයක්‌ නොවෙයි මුළු ගෙය මයි ගෙන එන්නෙ."
" ඉතින් මීට කුමක්‌ කරමු ද ?"

මේ ප්‍රශ්නයට උත්තරයක්‌ නො ලැබුණේ ය. අලි රාළ හාමි මර හඬ දුන්නේ ය. බමරයක්‌ මෙන් කැරැකුණේ ය. එ මේ අත දිවුවේ ය. බිම පෙරැළුණේ ය. නැවැත නැවැතත් එසේ ම කළේය. අලි හාමිනේ තවත් බසක්‌ නො කියා යන්නට ගියා ය.
ඒ ගියේ හිවල් හාමි බලන්නට ය. උදේ ම හිවල් හාමිට ආ බය තවම නො හැරුණේ ය. එ හෙයින් හේ කොහි වත් නො ගොස්‌ ගෙදර ම සිටියේ ය.

ඈත කැලෑව පොඩි වන හඬ ඇසී එ මේ අත බැලූ ඔහුට පෙනුණේ භයංකර දර්ශනයකි. " හා හා, අලි රාළ හාමි මා සොයා ගෙන එන්නේ හොඳකට නොවෙයි. දැන් ම මෙතැනින් දුවනවා. හොඳයි. හාමිනේ කාරිය වැරදුනා, අර අලි රාළ හාමි එන්නේ අප මරන්නට යි. දුවමු. දුවමු."

හිවල් හාමිනේ බැලූ බැල්මට එ අලි හාමිනේ බව දැන ගත්තා ය. එ බව සැමියා ට ද කීවා ය. දෙදෙනා ම බය මඳක්‌ තුනී කොට ගෙන ඈත් ව බලා උන්නෝ ය. අලි හාමිනේ ඈත දී ම " අනේ හිවල් හාමි," " අනේ හිවල් හාමි," යි කියමින් හඬමින් ආ හෙයින් හිවල් හාමි ගේ බය සම්පූර්ණයෙන් ම නැති විය.
" ඇයි, හාමිනේ ඇයි ?"
" අනේ, හිවල් හාමි, අපේ රාළ හාමිට බොහෝ ම අමාරුයි."
" දළ ඉගුළු අමාරුව ද ?"
" කුමන දළ ඉගිල්ලක්‌ ද ? ඇයි, හිවල් හාමි දන්නේ නැද්ද ? දළ ඉගිළිල්ල තිබිය දී දළ දෙකේ කඹ කොන් දෙකක්‌ ගැට ගසා ගෙන රාළ හාමි කැලේ පොඩි කැර ගෙන ගෙදර ආවා. එ ආ වෙලේ පටන් මර හඬ දෙනවා. ඛර කැවෙනවා, කැලේ පොඩි කැර ගෙන දුවනවා. බිම පෙරැළෙනවා."

" අනේ හාමිනේ, රාළ හාමි වේදනා විඳිනවා මට බලා ගෙන ඉන්නට බැහැ. මගේ පපුව පැළෙන්නට වගේ ආවා. ලෙඩ නිසා ද ළඋගුළන්නට මා කීවා හැබැයි. ඒත් අර රටක්‌ වටිනා දළ දෙක උගුළනවා බලා ඉන්නට පුළුවන් කාට ද ?"

මෙසේ කියා හිවල් හාමි කඳුළු හෙළන්නට ද සැරැසුණේ ය. වමතින් ඇස්‌ දෙකම පිස දැමුවේ ය.
" ඉතින් හිවල් හාමි කුමක්‌ කළා ද ?"
" මා නො නැවතී ගෙදර ම ආවා."
" අනේ හිවල් හාමි, දැන් දළ උගුළන්නේ කෙසේ ද ?"
" මා දන්නේ නෑ, එ ගිය තැනට නම් තවත් යන්නට බැහැ."
" අනේ හිවල් හාමි, මීට කුමක්‌ කරන්නට ද ?"
හිවල් හාමි මද වේලාවක්‌ සිතිවිල්ලේ උන්නේය. අග දී ඔහුට මද සිනාවෙක්‌ ද පහළ විය. ඔහුගේ හිස ද ජය ලැබූ ලීලායෙන් වැනෙන්නට විය.
" හාමිනේ යන්න. මා ලෙඩ සුව කරනවා. මගේ ගුරුතුමා ළඟට ගොස්‌ පොඩි ගුරුකමක්‌ අසා ගෙන සැනෙකින් එනවා. කිසි බයක්‌ ගන්නට එපා අද ම ලෙඩ සුව කරනවා. හාමිනේ යන්න."

මෙසේ කියා අලි හාමිනේ ට ආචාර කොට හිවල් හාමි ඉක්‌මන් ගමනින් යන්නට විය. අලි හාමිනේ ද පපුව මදක්‌ නිවාගෙන ගෙදර ගියාය.
අලි හාමිනේ ගෙදර යනවාත් සමඟ ම හිවල් හාමි ද වෙන අතෙකින් එ තැනට පැමිණේ ය. අලි රාළ හාමි තව මත් මර හඬ දෙයි. කැරැකැවෙයි, දුවයි, බිම පෙරැළෙයි, ඔහු මදක්‌ නවතා ගැනීමට බොහෝ වේලා ගත විය.

" රාළ හාමි, රාළ හාමි, පොඩියක්‌ නවතින්න. රාළ හාමි ගේ ඉවැසිල්ල නැති කම නිසා යි මේ ලෙඩ සුව කරගන්නට බැරි පොඩියක්‌ නවතින්න."
" අනේ, හිවල් හාමි, මට නම් ඉවසා ගෙන ඉන්නට බැහැ."
" තව මොහොතෙකින් සියලු ලෙඩ සුව කරනවා. රාළ හාමි, මා කියන දේ අහන්න."
" ඉතින් කියන්න "
" මගේ ගුරුතුමා ළඟට ගොස්‌ මා හොඳ ගුරුකමක්‌ අසා ගත්තා. එයින් ලෙඩ හොද වෙනවා මයි. හැබැයි, ගුරුතුමා ට ගුරු පඬුරක්‌ දෙන්නට ඕනෑ.

මා ගිවිසා ගෙනයි ගුරුකම කියා දුන්නේ. මට නම් අබ ඇටයක්‌ වත් ඕනෑ නෑ. ගුරු පඬුරු නොදී බැහැ. රාළ හාමි."
" කිමෙක්‌ ද දිය යුතු."
" එළු පැටවුන් දෙන්නෙකු දිය යුතුයි."
" කොයින් ද එළු පැටවුන් ලැබෙන්නේ ? කැලේ එළුවන් ඉන්නවා යැ."
" රාළ හාමි දන්නේ නැද්ද ? ලෙඩ සුව වී සතියක්‌ විතර ගියාට පසු අර ගොවි ගෙදර දිහාවට යනවා. ගොවි හාමි බයේ දුවයි.

ඉතින් හොඳ එළු පැටවුන් දෙ දෙනෙකු ගෙන එනවා. මහ කාරියෙක්‌ ද ?"
" හොදා, හොදා, මා එළු පැටවුන් ගෙනැවිත් දෙනවා. දෙනවා දෙනවා මයි. මගේ ලෙඩ සුව කරන්න."
" රාළ හාමි, එන්න මාත් සමඟ අර ගඟ ළඟට යන්නට ගඟේ දී තමා ගුරුකම කළ යුතු."
අලි රාළ හාමි ද හිවල් හාමි ද පිටත් ව ගියෝ ය. අලි හාමිනේ, හිවල් හාමි ගේ නියමය ලෙස, නැවතුණා ය. හිවල් හාමි අලි රාළ හාමිත් සමඟ ගොස්‌, ගඟට නැමී තුබුණු ගසක්‌ ළඟ දී අලි රාළ හාමි ට ගඟට බැස ඒ නැමුණු ගසට හොඩ අග තබා ගෙන සියලු ශරීරය දියේ ගිල්වා ගෙන ඉන්නට නියම කෙළේය. අලි රාළ හාමි වහා කීකරු විය.

විනාඩි පසළොසෙකින් ලෙඩ සුව වන බව හිවල් හාමි කීයේ ය.
දැන් පෙනෙනුයේ අලි රාළ හාමි ගේ සොඬ අඟ පමණෙකි. සියලු ශරීරය දිය යට යැ. ලෙඩ සුව කරන්නට සුදුසු අවසරය පැමිණියේ ය.

" කටුසු හාමි, කටුසු හාමි, දැන් හොද වෙලාව. එළියට එන්න. හිටියා ඇති, දැන් රාළ හාමි හොඳට ම මට්‌ටු වී ඉවරයි."
හිවල් හාමි මෙසේ කියා ගත වූයේ ඇසිල්ලෙකි. ගඟට නැමුණු ගසේ අත්තක්‌ මත තුබූ සොඬ අඟින් කටුසු හාමි නිකුත් විය. වට පිට බැලීය. කරුණු තේරුම් ගත්තේ ය. වහා ම ගසේ ඉහළ අත්තකට නැගුණේය. හිවල් හාමි ඔහු දෙස බලා ඉඟි මරා හොර සිනාවක්‌ සී ඔහුට මදක්‌ නවතින සේ සංඥාවක්‌ කොට, බලා සිටියේ ය.

නියම වේලාව ගත වූ පසු අලි රාළ හාමි සෙමෙන් සෙමෙන් ගොඩට ඇදුණේ ය. ගොඩට අවුත් ඇඟ ගසා දමා, සිටියේ ය. හිවල් හාමි ඉතා සැලකිල්ලෙන් ඔහු දෙස බලා සිට දොඩන්නට පටන් ගත්තේ ය.
" ඉතින් රාළ හාමි ?"
" දැන් ලෙඩ සුව වුණා වාගෙය."
" හොඳට ම සුවයි. රාළ හාමි."
" හිවල් හාමි, මේ කිමෙක්‌ ද වුණේ ?"
" අප හිතු හැටි නොවෙයි. රාළ හාමි, ගුරු තුමා මට කියා දුන්නා. කටුසු හාමි රාළ හාමි ගේ නාසය අස්‌සේ ගියා."
අලි රාළ හාමි වෙවුලා ගියේ ය. හිස කීප වරක්‌ ම පිඹ නාසය පිරිසිදු කෙළේය. වට පිට හොදින් බැලීය. විනාඩි කීපයක්‌ නො දොඩා සිටියේ ය.

අන්තිමේ දී ඇස මඳක්‌ ඔසවා " කොහි ද එ හාදයා ?" ය යි අසන ලීලායෙන් හිස සෙලැවුයේ ය. හිවල් හාමි ද " අර ඉන්නේ " ය යි කියන ලීලායෙන් හොස්‌ස ගස දෙසට දික්‌ කෙළේ ය. අලි රාළ හාමි මහත් බියෙන් හිස මදක්‌ හරවා බැලුවා පමණෙකි. " ආයිබෝවන් රාළ හාමි " යන හඩ ගස දෙසින් නික්‌මුණේ ය.

එ කටුසු හාමි ය. අලි රාළ හාමි එක්‌ වරම සොඬ හකුලා ගෙන දුවන්නට ඉඟිළුණේ ය. හිවල් හාමි ඔහු නවතා " බය ගන්නට කමක්‌ නැතැ " යි කියා ඔහු සමඟ සෙමෙන් සෙමෙන් අලි ගෙදර දෙසට ගියේය. අලි රාළ හාමි නම් සොඬ දිග හරින්නේ ම නැත. වරින් වර පස්‌ස ද බලයි.

" කුඩා සතුන් සමඟ පොරයට යන්නට නරකයි, රාළ හාමි. රාළ හාමි ගේ මහා සැරයට කුඩා සතුන් ගේ හීන් සැරය අසු වන්නේ නෑ."

මෙසේ කියා හිවල් හාමි අලි හාමි මඳක්‌ සනසා, ගුරු පඬුරු ද මතක්‌ කොට, නැවැත්තේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017