නායක : මම උඹට සැලකුව වැඩියි....උඹට ඔක්කොම අමතක වෙලා...මං තවම මැරිල නෑ// කෙලෙහිගුණ නොදන්න කුණකටුවො
විජායි : දැන් දැක්කනෙ ඇත්ත තත්ත්වෙ
නායක : ඔව්
ඉන්ද්‍ර : අපි ආයෙත් පටන් ගම්මු නඩු විභාගය
නායක : මොකද්ද නඩු විභාගෙ...මොකටද නඩු විභාගෙ
විජායි : දැන් නිශ්ශබ්ද වෙනවා
ඉන්ද්‍ර : මනුෂ්‍ය ඝාතන, ආර්ථිකයේ බිඳ වැටීම, ජනමාධ්‍ය නිදහස අඩාලවීම, නීතියේ ස්වාධීනත්වය බිඳ වැටීම, අඩාල කල සමාජ සංවර්ධනය
නායකයා : මාව මරාපල්ලා
විජායි : අපට උතුම් සංස්කෘතියක් තිබුන. සමාජ සාරධර්ම සිරිත් විරිත් තිබුනා. අපේ උතුම් සම්ප්‍රදායන්....උතුම් සදාචාරයන්.....උතුම් කලාවන්...සාහිත්‍යයන් විනාශ කලා
නායක : මාව මරාපල්ලා
ඉන්ද්‍ර : ඇත්ත කථාකල නිසා මට මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නැතිවුනා...එලියට බහින්න බැරි තහංචි වැටුනා, මරණයේ හෙවනැල්ල මගේ පස්සේ පැන්නුව1, ඒ විරක් නෙමේ මං වෙනුවට හිලව්වට මගේ සහෝදරය...එයා අද වෙනකං ආගිය අතක් නෑ...
නායක : මම ඒ ගැන කනගාටු වෙනවා.
වාසුකි : මං වගේ ගෑනු කීදෙනෙක් පාරට වැටුනද ඔහේගේ සල්ලාල පාලනය හින්දා
නායක : මම හිතුවෙ නෑ එච්චර දුරට (විජායි දෙස බලා) ඔහේට මොකද්ද වුන වැරැද්ද)
විජායි : මම...මම මහාචාර්ය විජායිනන්ද
නායක : මහාචාර්ය විජායිනන්ද...හුඟක් පොත් පළකලා...එහෙම හරිනෙ ... අපි මුල් කාලේ ඔහේට සම්මාන පවා දුන්නා...හරිනෙ..මම හිතන්නෙ මමත් කියවල තියෙනවා ඔහෙගේ පොත් ...මට මතකයි සමහර ඒවා හරිම කණගාටුදායකයි....අලුතින් මොනවත් ලිව්වෙ නෑ...
විජායි : ලියනව ඔහේ ගැන, ඔහේ දන්නවද මගේ පුතාට වෙච්ච දේ....කෝ මගේ පුතා...උඹ කොහෙද හැංගුවේ....
ඉන්ද්‍ර : විජායිනන්ද
නායක : බොහොම සන්තෝෂයි....කට්ටියම හඳුනා ගැනීම සතුටක්....හරියට කාලෙකට පස්සේ අහම්බෙන් මුණගැහුණ අතිජාත මිත්‍රයෝ වගේ...කමක් නැ...කමක් නැ...හැමදේම නැතිවුනාවෙ...ඒකෙන් කමක් නෑ...මම දැන් යන්න ඕනෙ කොහේ හරි...අපි ආයේ මුණගැහෙමු.
ඉන්ද්‍ර : කොහෙ යන්නද තවම ඉවර නෑ නඩුව
විජායි : සාමය නිදහස හිතැති ජනතාවගේ අභිවෘද්ධිය සඳහාද, අපේ සාරධර්ම රැකගැනීම සඳහාද, රටේ දරුවන්ගේ හෙට දවස සඳහාද, සාමකාමි සමාජයක් ගොඩනැඟීම සඳහාද මෙන්ම ... අපේ සිත්තුල ඔබ කෙරෙහි බුර බුරා නගින වෛරය පිරිමසා ගැනීම සඳහාද ඔබ
ඉන්ද්‍ර : මරණයට පත්කළ යුතුයැයි අප තීන්දු කරනවා.
(මඳ නිහැඬියාවක්...නායක අන් අයගේ මුහුණු බලයි)
නායක : කොහොමද එහෙම කරන්නේ, නීතියක් තියෙන්න ඕනෙ. උසාවියක් තියෙන්න ඕනෙ. මෙහෙම මිනිස්සු මරන්ඩ බෑ....
විජායි : නීතියක් තියෙන්න ඕනෙ...
වාසුකි : උසාවියක් තියෙන්න ඕනෙ...
ඉන්ද්‍ර : ඔහොම මිනිස්සු මරන්ඩ බෑ
ඉන්ද්‍ර : විජායිනන්ද ... වාසුකි ... දැන් අපි දඬුවම ක්‍රියාත්මක කරමු.
(නායක අතපය විසුරවමින් කෑ කෝ ගසයි. තිදෙනා අත් දිගුකර ගෙන සෙමෙන් අඩි තබමින් ඔහු වෙත සමීප වෙයි. විටෙක ඔහුගේ හඬ නැගෙන අතර විටෙක එය නෑසේ. එහෙත් අතපය විසුරවමින් කෑගසන බව පමණක් පෙනෙයි. ඔවුන්ගේ අත් ඔහුගේ ගෙල වෙත සමීප වෙයි. ඔවුන් තිදෙනාම ඔහුගේ ගෙල සිරකරයි. ඔහුගේ කැගැසීමත් සමඟ සියල්ල නිසල වෙයි)
(විවේකය)