තුන්වන දර්ශනය
 

(ආලෝකමත්වන විට ඉන්ද්‍රගුප්ත සාලයේ නිදා සිටියි. මෙම දර්ශනය ඔහු දකින සිහිනයකි. සිහින් සංගීත රාවයක් මුළු දර්ශනය පුරාම විසිරෙයි)


නිවේදක : මෘදු දෙඅත් විහිදුවමින්, සීතල ආලිංගනයෙන් ඉන්ද්‍රජාලිත අනුරාගයෙන් හොරෙන් හොරෙන් අඩි තබමින් නිහඬ රැයෙහි එන ඔබ කවුද?


ඉන්ද්‍ර : (එදෙසට ඇඟිල්ල දික් කරමින්) ඒ තමයි මරණය...සීතල මරනය... (ඉදිරියට එයි) අපි දැක්කා අපේ යෞවනයේදී හුඟක් දේවල්...ශුද්ධ වූ නගර...ශුද්ධ වූ පොලොව, ශුද්ධවූ ජලය....ශුද්ධවූ මරණය


නිවේදක : (රූප පෙට්ටියෙන් ඉවතට එමින්) දැන් ඒ මරණයේ මාවත වසා දමන්න.


ඉන්ද්‍ර : ඒ වුනත් අසුබවාදී මිනිසුන් අතර තාරුණ්‍ය මඩගොහොරුවක්


නිවේදක : ඒ මඩ ගොහොරුව නෙළුම් විලක් වන දවස වෙනුවෙන් පාරමිතා පුරන්න.


ඉන්ද්‍ර ‍ : සැදෑ අඳුර යට වස්දඬුරාවයක් නැගඑන නාඳුනන ගම්මානයක නාදුනන ගැමි තරුණයා අතින්ද ගිලිහුනා ඒ පාරමිතාව


නිවේදක : වෛරකරනවාද ඔබ නගරයට


ඉන්ද්‍ර : විදුලි එලි දිලිසෙන අවන්හලක වැලඳ බදා නටන මත්වූ ලෝකයකද ගිලිහුනේ ඒ තාරුණ්‍යය


නිවේදක : අඩගසන්න ඒ තාරුණ්‍යයට වල්වැද නොඉඳ එන්න. අපි යමු මෘදු ලෙස අඩි තබා ජීවිතයෙන් එපිටට.


ඉන්ද්‍ර : නික්ම යන කාලයයි මට හැඟෙන්නේ සහෝදරයා. (නිවේදක උරමත අත තබයි) කෙසේ කීවත් මගේ කාලයේ තාරුණ්‍යය... හිස් සියලු වටිනාකම් රැගෙන ගියේ කවුද වාණිජ අර්ථයෙන් අඩු මිලක් ගෙවා

(නිවේදක නැවත රූප පෙට්ටිය තුළට ගමන් කරයි)


ඉන්ද්‍ර : ඉස්සර හිටියා බොහෝ වීරයන් අපට, අප ඔවුන් අනුකරණය කළා.


නිවේදක : කෝ අද ඒ වීරයන්....ඔවුන් සක්මන් කරන්නේ ඉතිහාසය අතර පමණද


ඉන්ද්‍ර : ඔවුන් සැඟව ගිහින් අද ... රළු පරළු වනපෙත් වල...කටු ලැහැබ් අතර දිය මංකඩවල....දෙපා පුලුස්සන කිහිරගුරු වැලි කාන්තාර වල.


නිවේදක : දල රෙදි හැදි සාධුවරුන්ට වෙනස් කල හැකිද අපේ කාලය


ඉන්ද්‍ර : හබල් දරුවන් නොනිදා බලා සිටිනවා අරඹන්න වීර චාරිකාව


නිවේදක : අතහැර යන්නද ඔබ මේ බිම


ඉන්ද්‍ර : කෙදිනකවත් නෑ....තපෝ අරණක අසපුවක සුව දැනෙනවා මට මෙහි.

(ගයයි) දයාබර අග්නි ආර්යය
        නුඹ හැර මට අන් කවර තැනක් වේදෝ
        මේ මිහිතලයේ
        සාධුවරුනි මුළු ලොවෙහි සෙව්වද
        ඒ හැර මට අන් කවර තැනක් වේදෝ

        පලාගියවුන්ගේ මුනු මුනුව මැද
        නිකිණි සඳ පහනේ කිරණ වැද
        දිලෙන රොන් සුනු අතර උඩපැන
        නටන කුඩමසුනේ නිදව් - දැන් බෝ
        රෑ වෙලා

(තාලයෙන් තොරව)

දයාබර අග්නි ආර්ය...ආනන්ද වූ රැයෙක
චන්ද්‍රකාන්තියේ පහස වැද සුපිපි කොඳ
කුමුදෙක් මැයි මට ඔබ


(ගීතය අවසාන වන විට වාසුකි සහ විජායි විසින් කැඳවාගෙන එන නායකයා ඇවිද එයි)

(ඉන්ද්‍ර නිදිගත් ස්වභාවයෙන් සිටියි. ඈතින් ගායකයාගේ හඬ ඇසෙයි)

(ඉන්ද්‍ර අවදි වෙයි)


නායක : මොකද්ද මේකේ තේරුම ... උඹල කවුද ... මට දැනගන්න ඕනෙ.... උඹල කවුද


ඉන්ද්‍ර : කරුණාකරල එයාව ගේන්න එයාට හිමි තැනට


නායක : හිමි තැනට....උඹල කවුද ?


ඉන්ද්‍ර : නිශ්ශබ්ද වෙන්න.


විජායි : පැමිණිල්ලේ දේශනය


නායක : පැමිණිල්ල ..... මොන පැමිණිල්ලද


ඉන්ද්‍ර : අනර්ථකාරි රාෂ්ඨ පාලනයේ මෙහෙයුම් කරුවා හැටියටද..... යුදවාදි සමාජ සංස්ථාවක් ස්ථාපනය කළ බලකාමියා හැටියටද....රුධිර ගංගා නිර්මාණය කළ නිර්මාපකයා හැටියට ද තවත් බොහෝ සමාජ විරෝධි කාර්යන්හි අධිකාරි බලධාරියා හැටියටද, ඔබට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා. නෑ.....උඹල මොකද්ද නටන නාඩගම....මම කවුද...මම කවුරු කියල හිතාගෙනද කථා කරන්නේ.


විජායි : පොඩි ලමයෙක් වෙන්න එපා. මගේ මේ රට පාලනය කළ රාජ්‍ය නායකයා.


නායකයා : මොකද්ද .... මම මේ රට පාලනය කළා...කවද්ද කොහේද ... කවද්ද .... උඹලට පිස්සුද නැත්තං මට පිස්සුද


ඉන්ද්‍ර : අපි අඳුනනව ඕහේව... අපිට බොරු කරන්න බෑ...


නායක : ඉතිං මං කවුද....උඹල කියන්නේ මම රාජ්‍ය නායකයා කියලද ... මොන හතරබීරි කථාවක්ද මේක.....කවුද උඹලට එහෙම කිව්වේ.


වාසුකි : ඔහේ රට පාලනය කළ රටේ නායකයා ... අපේ ...


නායක : මේ ගෑණිට පිස්සු...මුංටත් පිස්සු මොනවද මේ කතා කරන්නේ කවුද එහෙම කිව්වේ...


ඉන්ද්‍ර : අපි දන්නවා....හැමෝම දන්නවා...මුළු රටටම දන්නවා

නායක : මං දන්නෑනේ එතකොට උඹල කියනවා මම මේ රටේ නායකයා ඒත් මං දන්නෙනෑ....කවුද කිව්වෙ ඒක බොරුවක් .... පට්ටපල් බොරුවක්....


(විජායි නැගිට ඉන්ද්‍ර අසලට යයි) (තිදෙනාම එක් පසෙකට යයි)

විජායි : මං කිව්වේ .... මං එදාම කිව්වේ .... උඹ මොනවද කලේ ඉන්ද්‍ර..... උඹ මොකෙක්වද ගෙනත් තියෙන්නේ...අපි මෙච්චර කල් කන්ඩ අදින්ඩ දීලා සාත්තු කලේ කොහෙදො යන හිඟන්නෙකුටද


වාසුකි : මටත් එහෙම හිතෙනව දැන්
 
නායක : මොකද්ද මේකේ තේරුම...මෙහෙම මිනිස්සු හිරකරන්නඩ බෑ...උඹල කවුද මොකද්ද මේකේ තේරුම


ඉන්ද්‍ර : මට හොඳට විශ්වාසයි....මෙයා තමයි මිනිහා....මිනිහා බොරු කරනවා වෙන්න පුළුවන්....නැත්තං බෝම්බෙන් තවම කම්පනය වුන ගමන්...


විජායි : මං කියන්නෙ මේ වෙන කෙනෙක් අපි මෙයාව ගිහින් දාමු කොහෙට හරි

 

ඉන්ද්‍ර : ඒක කරන්න බෑ

(c) Shilpa Sayura Foundation 2006-2017