වාසුකි : මොනවද ඉන්ද්‍රගුප්ත කළේ. //
ඉන්ද්‍ර : මොනවද කලේ කියල තමයි මමත් මේ තවම හිතන්නෙ.
වාසුකි : පුදුම කථාවක්නෙ
විජායි : (මඳක් උස්හඬින්) ඉන්ද්‍රගුප්ත ඇත්තටම මොකද්ද උඹ මේ කරපු වැඩේ....මම අහන්නෙ.
වාසුකි : ෂ්...කෑගහන්ඩ එපා. මේක දැනගන්න ඕනෙ අපි තුන්දෙනා විතරයි...කාටවත් ඇහුනොත්
විජායි : ඇත්තටම ඉන්ද්‍රගුප්ත මොකටද මේ මිනිහ මෙහෙ ගෙනාවෙ
ඉන්ද්‍ර : බෝම්බෙ පුපුරනකොට මම හිටියෙ දෙවැනි විදියෙ බම්බු වැට ගාව....
වාසුකි : ගෙදර නෙමේ.
ඉන්ද්‍ර : නෑ.... තුවාලකාරයෝ හැමතැනම වැටිල හිටිය. හැමෝම තුවාල කාරයෝ උස්සගෙන දිව්වා. මමත් තුවාලකාරයෙක් ගත්ත උස්සල... මට ටිකක් පුරුදු මූනක්... හොඳට බැලුව ...අවශ්‍ය මිනිහ...මට හිතුන දාන්න බිමට...ඒත් එකපාරටම මට හිතුන මලත් කමක් නෑ..මූව ගෙනියනව ගෙදර කියල...වෙනදෙයක් වෙද්දෙන්...අම්මප මට එහෙම හිතුන...තුවාල හෝදල මගෙ ළඟ තිබුන බේත් දැම්ම...හොඳට හෝ නරකට තාම මිනිහ මැරිනෙ නෑ.
වාසුකි : මැරෙයිද?
ඉන්ද්‍ර : කියන් බෑ
විජායි : උඹ මොකටද මෙහෙ ගෙනාවෙ... අපිට මොකටද වාසුකි ඒ මනුස්සයා
වාසුකි : (නායකයා ළඟට ගොස් හොඳින් පරීක්ෂා කර බලයි) ඉන්ද්‍ර මෙහෙ එන්න.
(විජායි සහ ඉන්ද්‍ර එදෙසට එයි)
වාසුකි : මේ වෙන කෙනෙක්....ඉක්මනට කොහෙටහරි ගෙනියන්න.
ඉන්ද්‍ර : නෑ මේ මිනිහම තමයි
වාසුකි : නෑ මිනිහ නෙමෙයි
ඉන්ද්‍ර : නෑ මිනිහ තමයි
වාසුකි : නෑ...ඔයා කරල තියෙන්නේ පිස්සු වැඩක්....විජායිනන්ද මේ බලන්ඩ...මේ වෙනකෙනෙක් නෙමෙයිද (විජායිනන්ද පැමිණ පරික්ෂා කර බලයි) වෙනෙකනෙක්ම තමයි...නෑ කියන්න බෑ...
විජායි : මටත් පේන්නේ...මම හිතන්නේත් එහෙම තමා....මං කියන්නම් අපි මේ මනුස්සයාව ඉක්මනට ගිහින් ඉස්පිරිතාලෙකට බාර දෙමු...අපි කියමු....
වාසුකි : බෑ දැන් ඒක කරන්න බෑ....ඒක කරන්න ගියොත් ලොකු පටලැවිල්ලක්
විජායි : අපිට කියන්න පුළුවන්....(මඳක් කල්පනා කර) බෝම්බේ පුපුරනකොට මිනිහ උඩින් ඇවිල්ල අපේ ගෙදරට වැටිල තියෙනවා...අපි ගෙදර ආවේ දැන්...ඒක නිසා අපි එයාව දැන් අරන් ආවා.
වාසුකි : දැන් ඒක කරන්න ගියොත් ලොකු පටලැවිල්ලක්. බේත් දාල - බැන්ඩේජ් කරල...මොකටද ඒ පංඩිතකං කියල පොලිසිය අපෙන් අහවි.
ඉන්ද්‍ර : වාසුකි..විජායිනන්ද...පොඩ්ඩක් කලබල නැතුව ඉන්න ඔයගොල්ල මිනිහ දැක්කෙ බැන්ඩේජ් කලාට පස්සේ මමයි මිනිහ ගෙනාවේ.
වාසුකි : ඒ වුනාට මම කියන්නෙ වෙන කෙනෙක්
විජායි : මමත් එහෙම හිතනව තවදුරටත්
ඉන්ද්‍ර : (තදින්) මම කියන එක අහන්ඩ....මමයි බේත් කළේ...දැන් මෙයාගේ මූන ඉඳිමිලා...(සාක්කුවට අත දමා) මේ තියෙන්නෙ මුද්ද
(දෙදෙනාම බලති)
විජායි : මුද්ද නම් හරි වගේ.
ඉන්ද්‍ර : මතකද මෙයාගේ මූනෙ මේ කැලල. මේ මෙතැන (බලෙන් කට අරවා) මේ නලදත....
විජායි : යකෝ අර තියෙන්නේ නල දත..ඒකට හෙනවත් නෑ...
(පුටුවක වාඩිවී) හරි පුතා ඒ මිනිහ තමයි...මටත් හිතෙනව...අපි දැන් මොකද කරන්නේ.
වාසුකි : මොකද කරන්නේ අපි බැඳගත්තේ තවත් බෝම්බයක්.....බලන්න මොකක් හරි උප්පරවැට්ටියක් කරල එදා වේල හොයාගන්න අපිට මේ මනුස්සය මොනව කරන්නද...එයාගෙන් අපට ඇති පලේ.
ඉන්ද්‍ර : මම කල්පනා කලා මිනිහව මරන්ඩ
වාසුකි : ආයෙමත් මරන්ඩ
විජායි : මරන්ඩ
ඉන්ද්‍ර : ඔව් මරන්ඩ ඕනෙ.
වාසුකි : මරන්ඩ මේ ගෙදර... මේ මගේ ගෙදර...ඉන්ද්‍රගුප්ත මේක වධකාගාරයක්ද, මේක මස් මඩුවක්ද, මේක මගේ ගෙදර ඕගොල්ලන්ට අමතක වුනාද? ..මං වේස ගෑනි...ඒක ඇත්ත...හැමෝම ඒක දන්නවා...හැම වීදියකම මාව හොයාගෙන එන නගරයේ හැමෝම දන්නවා...ඒක මගේ රස්සාව...මං ඔයගොල්ලන්ට කන්න අඳින්න දුන්නා...අම්ම කෙනෙක් වගෙ ඔයගොල්ලන්ව බලාගත්තා...ඇත්තටම ඔයගොල්ල කවුද මගේ..මට ඇයි ඒ රුදාව...
ඉන්ද්‍ර : ඒ ඔක්කොම ඇත්ත...වාසුකි මං කියන දේ අහන්න...ඒ කොහොම වුනත් (කල්පනා කර) අපි මොකද කරන්නේ.
විජායි : මොනව හරි කරන්න ඕනේ...මරන්න ඕනේද නැද්ද මං දන්නෙ නෑ. ..ඒ වුනත් මොනව හරි කරන්නම ඕනෙ...මේක හරිම ගිනි ගෙඩියක් වුනානෙ...චා..චා..
ඉන්ද්‍ර : පසුගිය කාලේ වෙච්චි දේවල් අමතක වුනාද වාසුකී....ඔයාගේ...මගේ ...විජායිනන්දගේ ජීවිත අයාලේ ගියේ ඇයි....අපි හිතින් කී දවසක් මේ මිනිහව මැරුවද...කොච්චර නම් වෛර කළාද...ඇයි මෙච්චර ඉක්මනට අපේ හැඟීම් වලට මෙච්චර ලේසියෙන් ලුහුටල යන්න දෙන්නෙ...
වාසුකි : ඇත්ත ඒ ඔක්කොම ඇත්ත... නමුත් මට හිතන්න අමාරුයි.....මිනිහෙක් මරන එක මදුරුවෙක් මරණ තරම් ලේසි වැඩක්ද?
ඉන්ද්‍ර : එතකොට ඒවා එහෙම නෙමෙයිද වුනේ.
(විජායි පාලකයා ළගට ගොස් ඔහුගේ ගෙල සිරිකිරීමට සැරසේ)
විජායි : මේ උඹල ඕකට ඔයතරම් සන්ඩු කරන්න ඕනෙ නෑ. මං මරන්නම් මිනිහව
(ඉන්ද්‍රගුප්ත දුවගොස් ඔහුගේ වෑයම වළක්වයි)
ඉන්ද්‍ර : පිස්සුද මේ මොකද කරන්නේ....(පසෙකින් වාඩි කරවයි) විජායිනන්ද අපි මිනිහ මරමු...වාසුකි අපි මිනිහ මරමු..ඔයගොල්ල දෙන්නම නාවත්...ඒක මෙතැනම නොවුනත්....මම මිනිහව මරනව...
වාසුකි : ඉන්ද්‍රගුප්ත... මම කැමති නෑ ඔයා මිනීමරුවෙක් වෙනව දකින්න...මම අවලංගු වෙච්ච ගැණියෙක් ...ඕනදේකට මමත් ඉන්නම් ඔයත් එක්ක
ඉන්ද්‍ර : ස්තුතියි...මං දන්නව නීතිගරුක පුරවැසියො හැටියට අපට පිරිමහගන්න වෛරයක් තියෙනවා. ඒ වුනත් මේක මෙහෙම වෙන්න බෑ...මේ මනුස්සය දැනට ඉන්නේ වැට උඩ ජීවිතයද මරණයද කියන්න බැරි එලිපත්තේ...මෙහෙම මැරුනොත් ඒක මිනිහ දන්නෙ නෑ...අපි විතරයි දන්නෙ...ඒ මරනය දැනෙන එකක් වෙන්න ඕනෙ. එයාට ඒක වෙන්න ඕනෙ හොඳ සිහියෙන් ඉන්න කොට...ඒ හින්දා ඉස්සෙල්ලා අපි මිනිහ ජීවත් කරවන්න ඕනෙ. ඊට පස්සෙ අපරාධය සහ දඬුවම.
වාසුකි : හොඳයි මං හදන්නම් එයාට සුප් එකක්.
ඉන්ද්‍ර : ඔව් ඒක හොඳයි.
ඉන්ද්‍ර : (නායකයා කෙලින් කර සැටියේ හිඳුවයි)
නායක : අම්මෝ......
ඉන්ද්‍ර : විජායිනන්ද දාන්ඩ ඔය ටී.වී. එක මෙයාගේ සද්දේ වැඩියි දැන්
(විජායිනන්ද රූපවාහිනිය දමයි)
නිවේදක : උඳුනද බදු වතු තුල්ලා
දැක වඩවන සිත ලොල්ලා
දකිමින් හැම මේ සියල්ලා
වෑවෙනු බැරි වියවුල්ලා
(මලගෙයක වැයෙන බෑන්ඩ් හඬ ඇසෙයි)