දෙවන දර්ශනය
 

(ආලෝකමත් වන විට වේදිකාව නිවසක සාලයක් සේ සැකසී ඇත. වෙනත් භාණ්ඩ මෙන්ම රූපවාහිනියද එහි වෙයි. එය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. නිවේදක ඒ තුල වෙයි. ඔහුගේ කථනය දඛණ්ඩව සිදුවෙයි. බෝම්බයේ කම්පනයෙන් නිවසේ බඩුබාහිරාදිය තැන තැන විසිරී ඇත)



(ඉන්ද්‍රගුප්ත තුවායකින් අත් පිස දමමින් නිවස ඇතුලත සිට සාලයට පැමිණෙයි. ඔහු කලබලයෙනි. වටපිට බලයි. ජනේලයෙන් පිටත බලයි. කැළඹිල්ලෙන් මෙන් නැවත පැමිණ පුටුවක වාඩිවී රූපවාහිනිය දෙස බලා සිටියි. හොඳින් ශ්‍රවනය කිරීමට පුටුව ඇඳගෙන ළගට යයි)

නිවේදක : දයාබර හිතවත, හිතවතිය, අපගේ උත්සවය අවසාන වුනේ කණගාටුදායක මතකයන් අපට ඉතිරි කිරීමෙන් පමණයි. බලන්න ආපසු හැරිලා, මොනවද ඉතිරිවෙලා තියෙන්නේ... අපගේ ආත්ම අභිමානය තකා බල වික්‍රම පා සටන් බිම වෙහෙසට පත්ව වැදහොත් බොහෝ නායකයින් මෙලොවින් පිටත් වෙලා. බොහෝ අභියෝග අපේ ඉදිරිපිට තවමත් ඒ විධියටම. ඔවුන් ඒවා අපිට තියල ගිහින්....සාමය....යුක්තිය....ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සියලු ද්වාරයන් විවිර වී ඇත.

අපි දේශපාලනය ආගමක් හැටියට ඇඳහූ ජාතියක් විමු. එහෙත් අපගේ සියලුම දෙවිවරුන් අසාර්ථක වූහ.

(ඉන්ද්‍රගුප්ත රූපවාහිනිය වසාදමා කේන්තියෙන් ආපසු හැරේ)

ඉන්ද්‍රගුප්ත : කෙහෙම්මල මුන්ට පිස්සු - සාමය - යුක්තිය - ප්‍රජාතන්ත්‍රවාදය - (උපහාසයෙන් මෙන්) - යුක්තිය - සාමය - සාමය


(විවිධ ඉරියව්වෙන් එක්තැන් වීමට උත්සාහ කරයි. ආතතියකින් පෙලෙන බවක් හැඟෙයි. වාඩිවෙයි...නැගිටියි... නැවත ජනේලය ළඟට යයි... එනගමන් බිම වැටී ඇති කිසිවකට පා පහර දෙයි...පුටුවේ වාඩිවී.... අසල ඇති වතුර බෝතලයක් ගෙන කටට හලා ගනියි)

(දොරට තට්ටු කරන හඬ ඇසේ. ඉන්ද්‍ර කලබල වෙයි. දොර අසලට යයි. ආපසු එයි)

(නැවත දොරට තට්ටු කරන හඬ)


වාසුකි : (පිටත සිට) ඉන්ද්‍රගුප්ත - මේ මම වාසුකි - අරින්ඩ දොර


(ඉන්ද්‍රගුප්ත නැවත ගොස් දොර ඇර ඒ ගැන තැකීමක් නොකර ගොස් පුටුවේ වාඩිවෙයි)


වාසුකි : (කලබලයෙන්...හතිදමමින්) දෙයියන්ට ඔප්පු වෙච්චාවේ....මම හිතුවෙ ඉන්ද්‍රගුප්තට කරදරයක් කියල... ඇති යාන්තං (බෝතලය කටතබාගෙන වතුර බොයි)


වාසුකි : දැක්කද වෙච්ච දේ

ඉන්ද්‍ර : තත්තවය බරපතලයි....වාසුකි කොහෙද හිටියේ

වාසුකි : හතලිස් දෙවෙනි වීදියේ...බේකරිය ගාව...හරිම උලව්වක් තමයි වුනේ...එතෙන්ටත් සද්දෙ ඇහුන හොඳට... ඒ වුනත් හිතාගන්න බැරිවුනා මොකද්ද වුනේ කියල. ...මිනිස්සු දුවනව... කඩ වහනව - ඒ අස්සේ වාහනත් බ්ලොක්වෙලා.

(ඉන්ද්‍ර අසලට ගොස්) ආරංචිද... (කනට කර) නායකයා මැරිලලු


ඉන්ද්‍ර : ඔව්... දැන් ටී.වී. එකේ කිව්වා.


වාසුකි : මිනිස්සු ඒ ගැන තැන් තැන්වල කථාවෙනවා.. එක එක ජාතියේ කතා... එක එක කසුකුසු.... (රහසින්) මං හිතන්නේ හුඟක් අය කැමතියි.

ඉන්ද්‍ර : (නොසැලකිල්ලෙන්) ඇත්තද


වාසුකි : ඇයි ඇත්තද කියල අහන්නේ, ඒක මට වඩා හොඳට ඉන්ද්‍රගුප්ත දන්නවා.... ඉන්ද්‍රගුප්ත කොහෙද හිටියේ ඒ වෙලාවේ.


(ඉන්ද්‍රගුප්ත නෑසුන කණින් සිටියි)


වාසුකි : (ඉන්ද්‍රගුප්තගේ උරහිසින් සොලවා) කොහෙද හිටියේ... ඇයි මොකද


ඉන්ද්‍ර : (අන්දමන්දව) ආ....


වාසුකි : කොහෙද හිටියෙ

ඉන්ද්‍ර : අතන... අර අතන ජනේලෙ ගාව.... මට හිතුන යන්ඩ වීදියට....ඒත් මොනව බලන්නද කියල මම ගෙදර නැවතුනා.... මං දැක්ක මිනිස්සු චතුරශ්‍රය පැත්තට යනවා.... ඒක ලොකු ජන ගඟක්... පොඩි ළමයින් හිටියා....මට ඒත් හිතුනා මිනිස්සුන්ට පිස්සුද කියල.... ගෙවල්වල වැඩ නැද්ද කියලා.


(මඳක් නිහඬව වාසුකි දෙස බලා සිට) එක පාරටම මට ඇහුන සද්දේ...කණ ගාවින් ගාවින් ගාවින් පිපුරුවේ....මම ජනේලෙ අල්ලගෙන හිටියා...ගේ දෙදරුවා... - බඩු බිම වැටුනා....මං දැක්ක .... මං දැක්කා ....මිනිස්සු ටකරන් කොඩිවැල්... දූවිලි වලාකුල් එක්ක අහසේ පාවෙනවා....


(ඉන්ද්‍ර කථාකරන අතර වාසුකි බිම වැටුන යම් යම් දේ එකතු කර තබයි. එසේ කර ගේ තුලට ගමන් කරයි....ඉන්ද්‍ර දිගටම කථාකරගෙන යයි)

පාවෙලා ගිය මිනිස්සු කෑලි කෑලි වෙලා බිම වැටුනා.... ලොකු අකුනකට පස්සේ වාගේ දැඩි පාලු නිහඬබවක පොඩි වේලාවක් තිබුනා, ඊට පස්සේ හැමෝම කෑගහන්න දුවන්න පටන්ගත්තා.


(දැඩි නිහඬතාවයක්)

(c) Shilpa Sayura Foundation 2006-2017