අලි රාළ හාමිට කන්නාඩියෙන් බොහෝ ගුණ ඇති වී ය. එහෙත් ඉඳ හිට ලා මොළයේ ඇති වන වේදනාව නො ඉවැසිය හැකිය. අලුත් වෙද කමින් ලැබෙන බව පෙනෙන ගුණ මහත් කොට මඳක් ඉවසන නමුත්, ඒ වේදනායෙහි අඩුකමෙකින් නොවේ.
එදා සිවල් හාමි ඈත එන දුටු අලි රාළ හාමිට මහත් සැනසිලි උපන්නේ ය. " ඔහු ගේ වෙද කමින් මෙතරම් ගුණ පෙනේ. එහෙයින් සම්පූර්ණ සුවය ලැබෙන බවට සැක නැත. කන්නාඩිය ලූවාක් මෙන් ම දළ උගුළුවා දැමීමත් නුවණට හුරු වෙයි." මේ සිත් සිතා ගෙන ය අලි රාළ හාමි සැනැසිලි වූයේ.
අලි හාමිනේ ද සිවල් හාමි එනු දැක ගෙදර කටයුතු නවත්වා අලි රාළ හාමි ළඟට පැමිණියා ය. දෙ මහල්ලෝ සිවල් හාමි ඉතා ආදරයෙන් පිළිගත් හ. ඔහුගේ වෙද කමින් ලැබුණු ගුණ කීහ. සම්පූර්ණ ගුණය ලැබීම පිණිස නියම කරන කුමක් වුවත් කරන්නට සැරසී සිටින බව ද දැන්වූ හ.
" බය ගනිනට එපා රාළ හාමි, සම්පූර්ණ සුවය දෙමි. වුවමනා මේ හිරිහැරයෙන් - දළ දෙකින් - මිදීමයි. හා ඊට හොද නැකැතක් සොයා ගත්තා. ඉතින් යමු."
" කවරෙක් ද දත් උගුළන් නේ ?"
" අර ගමේ ගොවි හාමි, හරි හපනා ඒ කටයුත්තට. රාළ හාමි දන්නේ නෑ. මා ඇත්තක් කියනවා. මේ කැලේ සියළුම වර්ගවල ඇත්තන් එ බදු කාරියකට යන්නේ ගොවි හාමි ළඟටම යි. රාළ හාමිත් ගොහින් බලන්න."
" ළඟ දී ගියකු ගැන කියන්නැ " යි අලි හාමිනේ කීවාය.
" මගේ ම හාමිනේ ගියා. ඇයට තුබුණේ තුනටියේ රුදාව. අපේ කවර කටයුත්තකට ගියත් ගොවි හාමි මුදලක් ගත්තේ නෑ. ඉතා සැලකිල්ලෙන් කටයුත්ත කරනවා.
ඉතින් හාමිනේ පුටුවක් උඩ ඉන්දා කරට මුව පිස්‌නයක් දමා දත ඉඟිළුවා. හාමිනේ ගියේ බොහෝ ම බයෙන්, උන්නේ වෙවුල වෙවුලා. ගොවි හාමි කොතරම් දක්‍ෂ අන්දමට දත් ඉගුළුවා ද කීවොත් හාමිනේ එ බව දන්නෙත් නෑ."
" ඉතින් ඉතින් ?"
" අන්තිමේ දී මා කීවා " ගෙදර යමු " යි කියා. " ඇයි දත උගුළන්නේ නැද් දැ " යි හාමිනේ මගෙන් ඇහුවා. ගොවි හාමිත් මාත් හොඳට සිනාසුණා. එ විට තමා හාමිනේ දැනගත්තේ දත ඉගිළු$ බව."
අලි රාළ හාමි එවිට ම යන්නට සැරසුණේ ය. හාමිනේ ද යනු කැමැත්ත දැක්‌වූවා ය. හිවල් හාමි එය වැළැකුවේ ය.
" හාමිනේ යෑම හොද නෑ. රාළ හාමි ගේ දළ උගුළුවනු දකින විට හාමිනේ ට තරහ එන්නට බැරි නෑ. එ ඇරත් රාළ හාමි හාමිනේ දිටි කලැ මිනිසුන් ගේ බය බොහොමයි. කොතරම් දේ කියා ලා ද මා ගොවි හාමි කැමැති කරවා ගත්තේ ? කොපමණ වත් කියන්නේ අලි රාළ හාමි මහ සැර කාරයා බවයි."
මෙහි දී අලි රාළ හාමි බසක් දෙඩී ය. " හිවල් හාමි, මා එකක් කියනවා. ඔවුන් අපට කියන්නේ මහා සැරකාරයෝ ය කියා.
අපේ මහ සැරයෙන් ගැලැවිය හැකියි. ඒත් මිනිසුන් ගේ හීන් සැරයෙන් ගැලැවිය නොහැකියි. දුටුවේ නැද්ද ඔවුන් හීන් හීන් සැරේ අපේ නෑයන් පවා බැඳ ගෙන උන් ගෙන් මෙහෙ ගන්න සැටි."
" මා දුටුවා රාළ හාමි – දිනක් මා දුටුවා මිනිසුන් කිහිප දෙනෙකුන් ගස් කපා රාළ හාමි කෙනෙකුන් ලවා අද්දවනවා.
රාළ හාමි හැබෑවටම ඒ රාළ හාමිට මොළේ නැද්ද ? ඒ මම නම් මිනිසුන් හොඬින් අල්ලා ඇද පයට යට කරනවා."
" එසේ කියන්නට එපා, හිවල් හාමි මොළය නැතුවා නොවේයි. මිනිසුන් ගේ හීන් සැරයට අසුවුණා ම අපට කිසිවක් කැරැගත නොහැකි යි. එ කිමෙක් ද කියා මා දන්නේ නෑ. අප අප අතරේ නිසා කියමු. ඒත් එකෙකු මේ කැලේ දී වත් දුටුවහොත් අපේ සිතට කො තරම් බයක් එනවා ද ? කෙසේ නමුත් අපට සිතෙන්නේ නොපෙනී යන්නටයි."
"ඉතින් යමු රාළ හාමි" යි හිවල් හාමි දෙඩීම නවතමින් කීයේ ය. දෙදෙන වෙන් වූහ.
ගොවි පළ අසලට අවුත් ඒ දෙදෙන කැලේ නැවතුණෝ ය. හිවල් හාමි ගස් අතරින් එබෙන්නට වූයේ ය. ඈත ගොවි හාමි සිටිනු දැක හිවල් හාමි ඉදිරියට ගියේ ය. කලින් නියම කැරැගත් පරිදි ගොවි හාමි අලි වෙදකමට ගෙදර පිළියෙල කැරැ තිබුණේ ය. ගෙදර සිටියේ ගොවි හාමි පමණෙකි. ගොවි හාමිනේ ද ළමයි ද බැහැර ගොස් සිටියෝ ය. බලු හාමි ද ඔවුන් සමඟ ගියේ ය. එ හෙයින් ගොවි පළ දැන් හිවල් හාමිට අභය ස්‌ථානයෙකි.
විනාඩි කීපයක් හිවල් හාම් දෙඩූ පසු ගොවි හාමි ගෙට ගියේය. එහි ජනේලයකින් පිටත ලු මහ කඹ දෙ කොනෙක් විය. කඹ දෙකෙ හි ඉතිරි කොන් දෙක ගෙයි මුදුන් යට ලීය මැද කනුව හා සන්ධි වන තැනට තදින් ගැට ගසා තැබුණේ ය.
හිවල් හාමි කැලයට ගොස් අලි රාළ හාමි කැඳවා ගෙන ආයේය. ගෙයි කවුළුව ළඟට අවුත් නැවැතුණු පසු හිවල් හාමි අලි රාළ හාමිට කොඳුරා යම් කිසිවක් කීයේ ය.
අලි රාළ හාමි ද කීකරු දරුවෙකු මෙන් දළ දෙක කවුළුව ළඟට කොට නිසොල්මන් ව සිටියේ ය. මඳ වේලාවක දී ගෙය ඇතුළින් මිනිස් අත් දෙකක් කවුළුයෙන් එළියට ආයේ ය. කඹ කොන් දෙක අලි රාළ හාමි ගේ දළ දෙක වටා යවන්නට වූවේය. මිනිස් අත් දෙකේ ඇඟිලි ඉතා කඩිසර ලෙස එ මේ අත යෙයි. පැය බාගයකින් පමණ කඹ කොන් දෙක අලි දළ දෙකෙහි ඉතා තදින් බැඳුණේ ය.
නොලිහිය හැකි සේ බැඳුණේ ය. හිවල් හාමි මහ නුවණ ඇති ලීලායෙන් පසකට වී බලා සිටී. අවාසනාවෙකි! එ කෙණෙහි ම අලි රාළ හාමි ගේ මොළේ වේදනාවෙක් ඇති වියැ. එ ඉතා බලවති. කිසි ලෙසෙකිනුත් ඉවැසිය නො හැකිව අලි රාළ හාමි මහත් මර හඬක් නැඟීය. දුවන්නට ද ඇරසුණේ ය. එහෙත් කවර දිවීමෙක් ද ? දළ දෙක එ තැනින් ගත නොහැකි ය.
මේ, අලි රාළ හාමිට මින් පර කිසි දිනෙක පුරුදු වූවෙක් නොවේ. මොළේ වේදනාව කීප දිනක් වුවත් පුරුදුය. මේ දළ බැඳීම එක ද විටෙක පුරුදු නොවී ය. එ හෙයින් කීප වරක් දළ දෙක එ තැනින් ගන්නට තැත් කළ අලි රාළ හාමිට, මොළෙහි වේදනාව ද මතක නැති කරවන තරම් කෝපයෙක් සිතට පැමීණියේ ය. එ හෙයින් හේ නැවත ද මර හඬ නඟා ඒ මේ අතට ඇදෙන්නට විය.
දැන් ගොවි හාමි කොහි ද යනු ගොවි හාමි ම නොදනි. ඔහු ගෙයින් පිට වූයේ කො තැනින් ද යනු වත්, පිට වී දිවුවේ පයින් ද අතින් ද යනුවත් මතක නැත. හිවල් හාමිට මේ ගොර හඬ මදක් පුරුදුය. එහෙත් හඬට සුදුසු වන තරම් ඈතට දිව ගොස් බලා සිටින්නට ඔහුට අමතක නොවී ය.
අලි රාළ හාමි දැන් මර හඬ දෙයි. ඪරක් ඒ අතට අදී. ඪරක් මේ අතට අදී. ඔහුගේ හොඩ ද දැන් කඹ දෙ පටෙහි එතී සිටියේ ය. රාළ හාමි මර හඬ දෙයි. අදී. මරහඩ දෙයි. අදී. මෙසේ කීප වරක් අදින විට ගෙය මුදුනින් "ජරාස්" යන හඬෙක් ආයේ ය.
ගෙය රාළ හාමි ගේ ඇඟ උඩට එන ලෙසෙක් ද පෙණුනේ ය. හිවල් හාමිට ඒ ඇත. තවත් සෙල්ලම් බල බලා හිඳීම නුවණට හුරු නොවන බව ඔහුට එක් වරම පෙනී ගියේය. එ හෙයින් තමාගේ සියලු අයිතිය සතර පයට පවරා මෙ ලොව විසීමේ ආශාව හැරැ දැමීය. සතර පයෝ සිය යුතුකම් හොඳින් කළහ. එ හෙයින් හිවල් හාමිනේ දැන් හති අරින හිවල් හාමිට පවන් සලයි.
මේ අතර අලි රාළ හාමි අලි අමාරුවක ට වැටුණේ ය. ගොවි ගෙයින් බාගයක් රාළ හාමි ගේ පස්‌සෙන් යන්නට පිටත් විය. රාළ හාමි මේ කරදරයෙන් මිදෙන්නට බොහෝ වෑයම් කෙළේය. එහෙත් ගෙයි බාගය නො නවතී. රාළ හාමි ගේ දළ දෙකෙහි එල්ලී පසු පසින් ම එයි. අලුත් පිටට ආදරය දක්‌වන කෙනෙකුන් මෙන් යයි.
අලි රාළ හාමි එසේ එන ගෙය ද ඇද ගෙන ම කැලයට වැදී ගස් දෙකකට හිර කොට ගෙය නවත්වා කඹ දෙ පට ඇද කැඩී ය. රාළ හාමි කිසි ආදරයක් නැති බව දැන ගෙන මෙන් ගෙය එ තැන ම නැවැත්තේ ය. දළ දෙකෙහි වූ ගැට දෙක පමණක් කැන්දා ගෙන රාළ හාමි ගෙදර ගියේය.
11 වන පරිච්ඡේදය ට
