(තිරය විවර වන්නේ මඳකි. ඒ අතර විශාල රූපවාහිනියකි. නිවේදකයෙකු උත්සව ආකාරයට සැරසී ඒ අසල වෙයි. ඔහු ඉදිරියට එයි.)
නිවේදක : (සරල භාෂා විලාශයකින් මෙන්ම සරල ඉරියව්වෙන්) සුබ සැන්දෑවක්, - ඉතිං කොහොමද, ඔක්කොම තම තමන්ගේ අසුන්වල - මම හරිනෙ. (ප්‍රේක්ෂකාගාරයේ අයෙකු වෙත ඇඟිල්ල දිගු කරමින්) කොහොමද - දැකල තියෙනව නේද - අනික් අයට කියන්න එපා....හොඳයි....මම තමයි මෙම ඓතිහාසික වැඩසටහන මෙහෙයවීමට වරම් ලැබූ නිවේදකයා...ලේසි පාසු කාරියක් නෙමේ. හැබයි මම කියන හැම දේම ඇත්ත කියල හිතන්නත් එපා. ඒවා බොරුකියල මාත් එක්ක තරහ වෙන්නත් එපා. මොකද ඒක මගේ රස්සාව...නැත්තං දන්නවනේ, (අතින් ගෙල වෙන්වෙන අයුරු දක්වයි) කොහොම වුනත් හැම දෙයක් ම හොඳින් ඉටු කරන්නයි මගේ උත්සාහය...ජීවත්වෙන කොට අපිට ඇත්ත කියන්නත් බොරු කියන්නත් සිද්ධ වෙනවා. ඒවා මනුෂ්‍ය චාරයන්. ඕයගොල්ලත් එහෙම නේ... බොරුවට නෑ කියන්න නම් එපා...(හඬ වෙනස්කර) අග්නි ආර්යයේ තන්වැනි නාලිකාව වෙනුවෙන්, අග්නි ආර්ය වාසි ඔබ සැම මම ඉතා සාදරයෙන් පිළිගනු ලබනවා. (හිස නමයි. ඒ සමඟම සංගීත රාවය)
(සරල ලෙස) හිතවත් දයාබරය, අප අද එක්ව බැඳගන්නා අත්වැල අපගේ ඉදිරි ගමන් මඟට පහන් වැටක් වේවා. අග්නි ආර්යයේ තෙවැනි නාලිකාව වෙනුවෙන් ඔබ ඇමතීම මට අප්‍රමාණ සතුටක්.... අද අග්නිආර්ය වාසි අප සැමට ඉතාමත් ඓතිහාසික දවසක්. සර්ව ජන නිදහස ලබාගැනීමේ ජුබිලි උත්සවය දැන් අග්නි ආර්ය චතුරශ්‍රයේ දී ආරම්භ වී තිබෙනවා. තව නොබෝ වේලාවකින් අප ඔබ ඒ හා සම්බන්ධ කිරීමට උත්සාහ කරනවා.
අපගේ පෞඬ දේශයේ අග්නි ආර්යයේ ඉතිහාසය බොහෝ ඈතට දිව යන්නක්... ඉන්ද්‍ර වරුණ අග්නි යන දෙවිවරු ලොව පාලනය කල යුගයේ අපගේ මුල්ම ආර්ය මුතුන් මිත්තන් මෙහි පැමිණුනා. වෙසක් මල් පිපුන, වෙසක් මහේ දිනෙක
(ගයයි)
වෙසක් මල් පිපුන, වෙසක් මහේ දිනෙක
ආකස්ස නදියෙන් එනෙරවි
කුෂ් කඳු පාමුලින් ආ අපේ නෑයෝ පැරණි
දල්වාන ගිනිමැල පිස අහර කිස
ඒ වූ ප්‍රේම වසන් සමයේ
සිතන්නට ඇත එක පැහැර
මෙයයි අප නතර විය යුතු උතුම් බිම
මේ අවස්ථාව වන විට ගරු නායකතුමා උත්සව භූමිය කරා සැපත් වෙනවා. සියළු පංච තූර්ය, සියළු කලා කෙලි එතුමා පෙරටුව ගමන් කරනවා. නෙත් පිනවන පංච වර්ණයන්ගෙන් සැරසුන රථ පෙලපාලිය ඊට පිටුපසින් දේශයේ පෞඬත්වය මේ යයි, දේශයේ ආදිනත්වය මේ යයි පසක් කරන විවිධ කලාවන් ඔබගේ නෙතු පැහැර ගන්නවා නොඅනුමානයි.
නිවේදක : එය දැකීමෙන් මගේ සිත ද දේශය පිළිබඳ වූ භක්තියෙන් පහන් වෙනවා.... එතුමා දැන් උත්සව මණ්ඩපයේ සිට ජානිය ඇමතීමට සූදානම්.
නායක : පසුගිය කාලය තුළ කණගාටුදායක සිදුවීම් කීපයක් සිදුවුනා. ඒ බව තමුන්නාන්සේලා මට වඩා හොඳින් දන්නවා. ඒ කොහොම වුනත් පසුගිය කාලය තුළ වැඩිම ආර්ථික ප්‍රගතියක් ලැබුවේ මාගේ කාලයේ දී මම ආඩම්බරයෙන් කියන්න සතුටුයි. ඒ බවත් තමුන්නාන්සේලා පිළිගන්නවා ඇති.
තවදුරටත් අපට කරන්න බොහෝ කාරියන් ඉතිරිවී තිබෙනවා. අපේ පැරණි මුතුන් මිත්තන් ගැන අපට හැමදාම කථා කරන්න බෑ. වෙනස් වන ලෝකයේ අපිත් වෙනස් වෙන්න ඕනෑ. කර්මාන්ත තව දියුණු වෙන්න ඕනෑ. ගොවිතැන වැඩි දියුණු කරන්න ඕනෑ. තමුන්නාන්සේලා දන්නවා අපිට තියෙන බාධක මොනවද කියල. මේ විරෝධීන් අතලොස්සක් අපේ මාර්ගය කරල. ඒ බාධක බිඳ දමන්න ඔබගේ සහයෝගය මට ලබාදෙන්න.
නිවේදක : මේ අවස්ථාව වන විට තව තවත් ජන ගංගාවන් උත්සව භූමිය වෙත ළගා වෙමින් පවතින ආකාරය අපට දැකගන්නට පුළුවන්. ඒ වගේම විවිධ ප්‍රදේශ වලින් පැමිණි අයගෙන් මංමාවත් පිරී ඉතිරී තිබෙනවා.
නායක : (උච්චස්වරයෙන්) මේ සමහර දේශපාලන අඳබාලයන් මට චෝදනා කරනවා මම මහජන මුදල් මගේ පුද්ගලික පරිහරණයට යොදා ගන්නවලු....මම මානව හිමිකම් උල්ලංඝනය කරනවලු... භීෂණය පතුරනවලු...
(බෝම්බයේ හඬ මිශ්‍ර සංගීතයක් ඇසේ. වේදිකාව කළුවර වෙයි. මිනිසුන්ගේ කෑකෝ ගැසීම්, විලාප, එහෙ මෙහෙ දිවිම්, ගිලන් රථ වල නලා හඬ දසතින් ඇසේ. පුවත්පත් වාර්තාකරුවන් නගන ප්‍රශ්න කිරීම්ද, වෛද්‍යවරුන් දෙන පිළිතුරුද දසතින් ඇසේ)
(ශෝකය දනවන සංගීත රාවය සමග විදුලිය සෙමෙන් වේදිකාව මත පතිත වේ...නිවේදක කළු සාටකයකින් සැරසී මද ආලෝක ලපය තුළ සිටියි. ඔහුගේ හඬ ශෝකීය)
නිවේදක : නායක කාර්ය භාරය මේ යයි විග්‍රහ කිරීමට අපට නොහැකිවනු ඇති. නමුත් අවසාන තීරණය වන්නේ ඔහුගේ ජීවිතයෙන් වැඩි කොටසක් කැපකිරීම් වලින් සහ සටන් වලින් පිරී පවතින බවයි...
- බෑන්ඩ් බෙර හඬ
නිවේදක : ජීවිතය ගිම්හාන රාත්‍රියක දකින අසුන්දර සිහිනයක්ද, මළහිරු බසින සැදෑවක ශෝකී සන්නාලියා විසූ අවසාන සලුවෙන් ද ඔබේ ගත සැරසී තිබෙන්නේ. දයාබර සහෘදය එතුමා කෙදිනකවත් අප දේශයේ කිරුල යලි හිස දරන්නේ නැත.
(යලි බැන්ඩ් හඬ සමග දෙන රැගත් පිරිස ඉදිරියට ගමන් කරයි. නිවේදකයා රූප පෙට්ටියෙන් ඉවත් වී සෙමෙන් සෙමෙන් දකුණු ආලෝක ලපය වෙත ගමන් කරයි)
ආත්මාර්ථය නම් - පරාර්ථයයි නිශ්චය කොට අනුන් ඇස වූ කදුළු බිද දැක කම්පිතව
කඳුළු උනන නෙත් ඇතිව
ලෝකයෙන් හිංසාව දුරලන අදිටනෙන්
සිය කාර්යයේ නමග්න වූ ඔහු
මහා ශ්‍රේෂ්ඨත්වයේ අර්ථය තුළ ගැබ්වූ
අහිංසකයෙකුව ඝාතනය වූයේය.
කිසිදු අවියක් අත නොදරා
ප්‍රේමයෙන් - ධර්මයෙන් සටන් කළ ධර්මධරයා
සමාජවාදියා - දර්ශනවාදියා
දහමින් ඔපකල මහා සාධුවරයා
අද අපෙන් වියෝ විය....