වලස්‌ වෙදකම
 

අලි රාළ හාමිට එදා රෑ නින්දෙක්‌ නැත. රාළ හාමිට පමණක්‌ නම් කිමෙක්‌ ද ? හාමිනේ නිදන්නට සැරසුණේ වත් නැත. රාළ හාමි ගේ මහ හඩ නිසා මුළු වනයම ඇස නොපියා සිටි සේ විය.

වෙද හාමි නියම කළ බෙහෙත් එකෙකිනුත් මද වූ ද සුවයෙක්‌ නැත. අලි හාමිනේ රාළ හාමි හොද හැටි සතප්පා කොළ අතු ගොඩෙකින් සියලු ශරීරය වසා බලා සිටී. කෙඳිරි ගාගා උන් සැටියේ මැ රාළ හාමි මහ හඩ නගා ගෙන උඩ පැන ඒ මේ අත දිවෙන්නට වෙයි.

හාමිනේ උඩ ගොස්‌ බිම වැටෙයි. රාළ හාමි පස්‌සේ ගොස්‌ නැවතත් කැඳවා ගෙන අවුත් සතප්පවයි. කොළ අතු ගොඩෙකින් වසයි. මඳ වේලාවක්‌ කෙඳිරි ගාමින් සිට යළිදු රාළ හාමි මර හඩ දෙයි. නැගෙයි. ඒ මේ අත දිවෙයි. කොළ අතු සී සී කඩ යෙයි.

හාමිනේ ද උඩ යෙයි. බිම වැටෙයි. රාළ හාමි යහනට ගෙනෙයි. සතප්පයි. කොළ අතු වලින් වසයි. මුළු රැයම ගත වූයේ මෙයින් තමා.
උදාසනක්‌ සේ ම කොටි දෙමහල්ලෝ ලෙඩා බලන්නට පැමිණියෝ ය. කොටි රාළ හාමි දැක අලි රාළ හාමි හඩන්නට වූයේය.

අලි හාමිනේ අමුත්තන්ට අසුන් සලස්‌සවා වේලාවට සුදුසු සංග්‍රහ කළා ය. කොටි රාළ හාමි ලෙඩාගේ තොරතුරු විමසමින් මද වේලාවක්‌ සිටියේ ය.
" ඊයේ රෑ අපටත් නින්දක්‌ නෑ. මේ රාළ හාමිගේ හඬ ඇසී මා රෑම එන්නටයි සැරසුණේ. අපේ හාමිනේ කීවා " රෑ යන්නට එපා " ය කියා. ඉතින් එළි වෙන්නේ කවර වේලේ ද කියා බල බලා සිට, යන්තම් ඉර එළිය වෑටෙනවත් සමඟ ම මේ ආවා.

ඉතින් ඕනෑ යමක්‌ තියෙනවනම් කියන්න අපට පුළුවන් දෙයක්‌ කරනවා." කොටි රාළ හාමි මෙසේ කී කල අලි හාමිනේ සුදුසු පිළිතුරු දුන්නාය.
" අනේ ආවාට බොහොම ස්‌තුතියි, ඕනෑ යමක්‌ ඇත්නම් කියනවා. ඔබට නොකියා වෙන කාට ද අප කියන්නේ ?"
ඉක්‌බිති කොටි දෙ මහල්ලෝ සමු ගෙනැ නික්‌මුණේ ය.

වලස්‌ දෙ මහල්ලෝ ඊ ළඟට පැමිණියෝ ය. වෙදකමට ඊයේ ආ නමුත් හාමිනේ සමඟ එන්නට බැරිවුණ නිසා දැනුත් ආ බව කියා වලස්‌ හාමි නැවත ද ලෙඩා පරික්‍ෂා කළේ ය. අලි හාමිනේ තොරතුරු කීවාය.
" අනේ වෙද හාමි, ඊයේ රෑ ඇහැ පියෙව්වේ නෑ.."
" එහෙම තමා ලෙඩෙක්‌ වුණා ම. ලෙඩා ලොකු වුණ තරමට මයි අමාරුව. අපට නම් හෙම්බිරිසාව මෙ තරම් අමාරුවක්‌ නොවේ."
" වෙනදා හැදෙන හෙම්බිරිසාව වගේ නො වෙයි, වෙද හාමි, මේ. මේක අලුත් හෙම්බිරිසාවක්‌.
මෙය බෝ වෙනව ද, වෙද හාමි ?"
" තදින් ම බෝවෙනවා."

අලි හාමිනේ ගේ ඇඟ සීතල වුණේ යැ. එ විටම තව කිවිසිල්ලක්‌ ද ගියේ ය.
" වැරදුණා තමා. මට දැනටම බෝ වුණා වගෙයි."
" ඉතින් ඒ තරම් ම බය ද හෙම්බිරිසාවට ?"
" බයක්‌ නොවේ, මේ වගේ මර හඬ දෙන්නටත්, දුවන්නටත්, දඟලන්නටත් පිළිවන් කාට ද ?"
වෙද හාමි කට කොනෙකින් සිනා සෙමින් ලෙඩා දෙස බැලුයේ යැ. එ කියුම් අස අසා, බැලුම් බල බලා ඉන්නට පුළුවන් කාලයක්‌ නෙවෙයි ලෙඩාට. දැන් ඉවසිලි සියල්ල කෙළවරය. කෙඳිරිය ක්‍රම ක්‍රමයෙන් වැඩි ව එක්‌ වරම මර හඬෙක්‌ නැගුණේ ය.

අලි හාමිනේ පුරුදු පරිදි උඩ ගොස්‌ බිම වැටුණා ය. අලි රාළ හාමි නැගී සිට පළමු කොට බඹරයක්‌ මෙන් කරකැවෙන්නට වූයේ ය. වසා තිබූ කොළ අතු එ මේ අත විසි වී ගොස්‌ වලස්‌ දෙමහල්ලන් ගේ ඇඟ උඩට ද වැටුණේ ය. වලස්‌ හාමිනේ බඹ සියයක්‌ පමණ දිව ගොස්‌ හැරී බැලුවාය. වලස්‌ හාමි පෙනෙන්නට නැත.සොය සොයා ඉන්න වෙලාවක්‌ නොවන හෙයින් වලස්‌ හාමිනේ ගෙදර ම දිව්වා ය.

ඇයට පළමුව ගෙදර ඇවිත් සිටි වලස්‌ හාමි මඟ දෙස බලා සිට ගෙන තවමත් හති දමයි. අලි රාළ හාමි කරකැවී වනය බිඳගෙන දුවන්නට පටන් ගත්තේ ය. එ අත දිවූවේ ය. මේ අත දිවීවේ ය. වටේට දිවුවේ ය. අන්තිමේ දී හොදටම හති වැට්‌ හැරී අවුත් බිම පෙරැළුණේ ය. අලි හාමිනේ ද ළඟට ඇදී අඩන්නට වූවාය.

ලෙඩා බලන්නට පැමිණි බොහෝ අය හිස්‌ ලූ ලූ අත දිවූ හ. ගෝන දෙමහල්ලෝ ඈතට දිව ගියෝ ය. මුව දෙමහල්ලෝ ගෙදර ද බලා ගත නොහැකි ව බොහෝ ඈත පැන ගියෝ ය. හා දෙ මහල්ලෝ මහ ගලක්‌ යට වූ බෙනයකට වැද ගත් හ. ඌරු දෙ මහල්ලෝ මඩ වළකට බැස සැඟවුණා හ.

හිවල් දෙ මහල්ලන්ගෙන් හාමිනේ දුවන්නට සැරසුණු නමුත් හිවල් හාමි එයට ඉඩ නුදුන්නේ ය. හේ හාමිනේ ද සමඟ ගසකට වුවා වී බලා සිටියේ ය. අලි රාළ හාමි ගේ දරුණු කම් වැඩි වන්නට හිවල් හාමි වෙවුලන්නට වූයෙන් හිවල් හාමි ගොස්‌ ඇය ගෙදර නවත්වා හැරී ආයේ ය.

දැන් වැඩි කලබලයක්‌ නැත. අලි රාළ හාමි කෙඳිරි ගාමින් බිම වැතිරී සිටි. අලි හාමිනේ අඬ අඬා රාළ හාමිගේ ඇඟ අත ගාන්නී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017