එහෙත් අලි රාළ හාමිට නින්ද නො ආයේ ය. ඔහුට සනීප නැති ලෙසක් වැටැහෙයි. මොළය හොඳ නොවේ. හිසේ ඇම්මක් ඇති සේ ද දැනෙයි. වරින් වර මොළයේ කැසිල්ලක් ද ඇති වෙයි.
සැමියා නො නිදා පෙරැළෙන බව දුටු අලි හාමිනේ නැවතත් ළඟට අවුත් ඇඟ අත ගා, " ඇයි, එ මේ අත පෙරැලෙන්නේ ?" යැයි ඇසුවාය.
" මට හෙම්බිරිසාව වගේ " යයි කියමින් රාළ හාමි කෙඳිරි ගෑවේ ය.
ආදරය ඇති අය ළඟට එන විට සමහරුන් ගේ ලෙඩ වැඩි වෙන බව දන්නා අලි හාමිනේ හොඳට ම ළං වී හොඳට ම ඇඟ අත ගෑවා ය. රාළ හාමි ගේ කෙඳරි ය ද
වැඩි විය. අලි හාමිනේ සැමියා ගේ නළලට අත තබා, පපුවට අත තබා, පිටට අත තබා, මුහුණට මුහුණ තබා නියම අලි ලීලායෙන් උණ බැලුවා ය.
" උණ නැ. උදය ගස් කඩා බිඳ දැමුවා ම ගස් වල පිණි වැටෙන්නේ නැද්ද ? පිනි බෑ නිසා හෙම්බිරිසාව හැදෙන්නට එනවා වාගේ යි."
" ඇයි මොළේ අමාරුව? නාසයේ කැසිල්ල තමා ඉවසන්නට බැරි."
අලි හාමිනේ සිහින් කොටුවක් ගෙන සැමියාගේ නාසය ඇතුළට එබුවා ය. අලි රාළ හාමි මරහඩ නගා ගෙන නැගී සිටියේය. ඔහුගේ ඇඟ හැපී හාමිනේ ඇද වැටුණා ය. එහෙත් සැණෙන් නැගී සිට සැමියා ළඟට අචුත් කරුණු විමසන්නට වූවාය.
" ඇයි අනේ. කෝටුව මොළේ ඇනුණා ද ?"
අලි රාළ හාමි මහ හඩින් කිවිසින්නට වූයේ ය. දෙවරක් කිවිස මහ හඬ නඟා ගෙන ඒ මේ අත දුවන්නට වූයේ ය. අලි හාමිනේ සැමියා නො හැර පස්‌සෙන් දුවයි. කිහිප වරක් එ මේ අත පැන අලි රාළ හාමි බිම වැටී පෙරැලෙන්නට වූයේ ය.
අලි හාමිනේ කිසිවක් කෑර ගත නොහී වැලැපෙන්නට වූවාය.
අලි රාළ හාමි මඳ වේලාවක් එ මේ අත පෙරැළී නිසොල්මන් වූයේ ය. හාමිනේ එ විට ළඟට අවුත් මහත් දුකින් අඬමින් කරුණු පිළිවිසියා ය." අනේ, මේ කුමක් වුණා ද ?"
" මා දන්නේ නෑ. මට කිවිසිල්ලක් ගියා විතරයි. ඉඳි කටු අනින්නා වාගේ දැණුනා. ඉවසා ගන්නට බැරි ව තමා මා ඒ මේ අත දිවුවේ."
" තවමත් ඒ වේදනාව දැනෙනව ද ? "
දැන් නෑ..ඒත් මොලේ හොදටම බරයි. මේ බලන්න හොටු ගලන හැටි.අලි හාමිනේ ලොකු කොළ අත්තක් කඩා ගෙන හොටු පිස දැමුවා ය.
" ඉතින් නො සෙලැවී ඉන්න. මා ගොස් වෙද හාමි එක්‌ක එනවා. "
මෙසේ කියා, අලි හාමිනේ එ තැනින් ගියා ය.
මොහොතකින් හිවල් හාමි එ තැනට පැමිණියේ ය. හේ මඳක් ඈත්ව සිට අලි රාළ හාමි සමඟ දෙඩුවේ ය.
" රාළ හාමි අසනිපයෙන් වගෙයි "
අලි රාළ හාමි මදක් හිස ඔසවා බලා, හිවල් හාමි ඇඳින කොඳරිගාන්නට වූයේය.
" ඔව් මට හෙම්බිරිසාව හැදිලා. බොහොම අමාරුයි.
" රාළ හාමි මොළේ හෙම්බිරිසාව ද පපුවේ හෙම්බිරිසාව ද ? "
" මොලේ හෙම්බිරිසාව. හෙම්බිරිසාව නම් ඉවසිය හැකි. මොළේ කන්නා වගේ දැනෙනවා. එ යයි ඉවසන්නට බැරි."
" කැස්‌සත් තිබෙනවා ද, රාළ හාමි ?"
"නෑ"
"උණ ?"
" උණක් දැනෙන්නේ නෑ."
" රාළ හාමි පිනි බෑවා "
" අද උදේ අර කාලකන්නි කටුසු හාමි හිටි ගස අල්ලා ඇද බිම දමා පොඩි කළා. ඒ ගසින් පිනි ටිකක් ඔළුවට වැටෙන්නට ඇති."
" හ හ හා!"
මෙසේ කියා හිවල් හාමි සිතිවිල්ලට වැටුණේ ය. මද වේලාවක් හිස වනමින් සිතා බලා, නැවතත් දොඩන්නට වූයේ ය.
" රාළ හාමි, ඒ කටුසු හාමි කුඩා වුනත් බොහොම නපුරු යි. හරි මන්ත්‍ර කාරයා. කොඩි විනයක් වත් කළා ද දන්නේ නෑ."
" උගෙත් මගෙත් කොඩිවින! උන්දෑ දැන් ඉවරයි."
අලි හාමිනේ වෙද හාමිත් සමඟ වහ වහා එනු පෙනෙන්නට වූයේ ය. හිවල් හාමි ඒ බව කියා යන්නට නැගුණේ ය.
අලි හාමිනේ ඉක්‌මන් කොට අවුත් වෙද හාමි ට ඉඳ ගන්නට සලස්‌වා, සැමියා ළඟට අවුත් වෙද හාමි පැමිණි බව කීවාය. අලි රාළ හාමි තදින් ම කෙඳිරිගාන්නට වූයේ ය. ඒ වෙද හාමි නම් අනෙකෙක් නොවේ. වලස් හාමිය. හේ කැඳවන ලදුව අලි රාළ හාමි ළඟට අවුත් තොරතුරු ඇසී ය. අලි හාමිනේ සියල්ල සිදු වූ සැටි කීවාය.
පළමු කොට වෙද හාමි ලෙඩාගේ නාඩි අල්ලා බෑලුවේ ය. ඉදිරි දකුණු පය ගෙන නාඩි බලන කල්හ|, අලි රාළ හාමි ඒ වැරදි බව කියා, අත ගෙන නාඩි බලන ලෙස කීයේ ය.
වෙද හාමි ඊට එකඟ නූවූයේ ය. " ඔබ එයට "අත" ය කියතත් පොතේ තියෙන්නේ "නාසය" ය කියා. නාඩි බලන්නේ අතේ, නාසයේ නොවේ." වෙද හාමි ඒ අනුව ලෙඩා ගේ පපුව පරික්‍ෂා කළේ ය. ඇස් හරවා බැලීය. දිව ද එළියට දාන්නට කියා, බඩට ද අතින් තට්‌ටු කෙළේ ය.
නාසයෙන් ගලන සොටු මදක් ලේ මුසු බව දැක හිස සලන්නට වූයේ ය. මඳ වේලාවක් නිහඩව සිට වෙද හාමි මෙසේ කීය. " බය ගන්නට දෙයක් නෑ. උණ නෑ. හෙම්බිරිසාව තමා. ඵීනසට හැරෙන්න බැරි නෑ.
කුමක් වුවත් පරිස්‌සම් වෙන්නට ඕනෑ. හුළං ගැහෙන්නට එපා. තෙත් බිම පය ගැහෙන්නට එපා. හොඳට පොරවා ගෙනැ නිඳා ගන්න. දැනට ඉඟුරු කොත්තමල්ලි ටිකක් දුන්නා ම ඇති. හොටුවල ලේ වැඩි වුණොත් කියන්න. නාසයට උරන්න කුඩකුත්, ඔළුවේ ගාන්නට තෙලකුත් දෙනවා. කීප දවසකට සීතල කෑම කන්නට එපා."
" අනේ වෙද හාමි, මට නම් නොනා ඉන්නට බැහැ."
" හා, හා, නෑම හොඳ නෑ."
වෙද හාමි මෙසේ කියා යන්නට ඉඟිළුණේ ය. අලි හාමිනේ යම් කිසිවක් ඔහුගේ අතෙ හි තැබුවාය. වෙද හාමි එය ගනිමින් මද කොට සිනා සී, හිස නමා යන්නට වන.
