හිවල් හාමිට දැන් දැන් නිවාඩු අඩුය. දවසට කිහිප වරක් මැ ඔහුට වැදගත් ගමන් තිබේ. වරක් අලි රාළ හාමි ළඟට යෙයි. පෙරළා කටුසු හාමි ළඟට එයි. එහි ගොස් මොහු නොකී දෑ කියයි. මෙහි අවුත් ඔහු නොකී දෑ කියයි. කීප දිනෙකින් අලි කටුසු වාදය ඉතා බලවත් අතට හැරුණේ යැ.
දැන් අලි රාළ හාමි කටුසු හාමි සොයයි. කුමකට ද ? අල්ලා ඒ මහ පයට යට කරන්නට. කටුසු හාමි අලි රාළ හාමි ට අසු නොවී අවසරයක් බලයි. කුමකට ද ? තමා සිතාගත් උපායෙන් අලි රාළ හාමි හික්‌මවන්නට.
" අද මුළු වනයත් සමඟ වුව ද කටුසු හාමි කුඩු කොට මිස හැරී නොයමි" යි දිනක් අලි රාළ හාමි සිතා ගත්තේ ය.
" අද නම් අලි රාළට යස පාඩමක් උගන් වමි." යි කටුසු හාමි සිතා ගත්තේ ය. කටුසු හාමි තමා උන් ගසේ අතු දග කොළ අතුරින් එබී බලයි. හිස වනයි. සැඟවෙයි. අලි රාළ හාමි අඩි කීපයක් ඉදිරියට යෙයි. නවතියි. හිස ඔසොවයි. වට පිට බලයි. පිඹියි. නැවතත් යෙයි.
" හං හං හා! දුටු කල්! ආයුබෝවන් රාළ හාමි. කොහොමද හාමිනේ ගේ සැප සනීප ?"
අලි රාළ හාමි උඩ ගොස් බිම වැටුණේ ය. ඒ හඩ හේ හදුනයි. ඒ හෙයින් හඩ එවූ අත්ත දෙස බැලී ය.
ඒ කටුසු හාමි. සිනා සුණු කට තවමත් එසේ ය. ඉඟි කළ ඇස් තවමත් එසේ යැ. වැනෙන හිස තවමත් එසේය.
තවත් ඉතින් කුමක් බලා ඉන්නට ද ? අලි රාළ හාමි එක් වරම ඉදිරියට පැන්නේ ය. ගස වටා හොඬ යැවූ යේ ය. සතර පයට වැරදුන්නේ ය. 'ජරාස්'! ගසේ ආයුෂ ඉවරයි.
අලි රාළ හාමි ආවේශ වූ පිස්‌සකු මෙන් නටයි. ගසේ එක් අත්තක්
කඩයි. පාගා කුඩු කෙරෙයි. තවත් අත්තක් කඩයි. පාගා කුඩු කෙරෙයි. විනාඩි කිහිපයක දී එ තැන ඉතිරි වූයේ ගසෙක් නොවේ. අතු රිකිළි කොළ කුඩු රැසෙකි.
අලි රාළ හාමි එහි වූ සියල්ල ඉතා පරිස්‌සමින් අවුස්‌ස අවුස්‌සා බැලීය. කටුසු හාමි ගේ කුඩුවත් එහි පෙනෙන්නට නැත.
" ඉතින් හපන්කම් ඉවරයි. මාත් සමඟ නොවැ, නරක් වෙන්නට ආයේ! තමා ගේ තරම දැන නො ගැනීම තරම් විනාශයක් මෙ ලොව ඇති විය හැකි නොවේ. අඟලක් පමණ මහත ඇති කටුසු හාමි අඟල් දෙකකට වැඩි නැති එකකු සමඟ එපා යෑ පොරට යන්නට ? අඟල් ගණන මනින්නට අමාරු තරමේ එකෙකු සමඟ නො වැ පළමු කොටම පොරයට ආයේ?
මම කුමක් කෙරෙමි ද ? ඒ ඔහුගේ ඉරණම තමා."
මෙසේ කියමින් අලි රාළ හාමි මද වේලාවක් හති ඇර ඇර උන්නේ ය. කටුසු හාමි එ තරම් කුඩා වුවත් අලි රාළ හාමි ඔහුට විරුද්ධ ව කළ සටන ඉතා බිහිසුණ ය. පිස්‌සකු මෙන් කැරැකෙවෙමින් ගස කුඩු කරද්දී තමා ගේ ඇඟ වටා තිබූ
ගස්‌වල තදින් හැපුණු බවවත් අලි රාළි හාමි නො දනී. ඔහුගේ ඇඟින් ඩා දිය වැගිරෙන්නට විය.
හතියට නාසය ඉඩ මදි වූයෙන් කට ද ඇරණේ ය. මෙසේ හති දමමින් සිට,වෙහෙස නිසා කෑම ගැනවත් නො සලකා, අලි රාළ හාමි ගෙදර දිසාවට හැරුණේ ය. "
අනේ අර හිවල් හාමි දැන් ඇත්නම් ඔහු සිතාගෙන සිටියේ කටුසු හාමි කො තරම් උසස් කොට ද ? හිවල් හාමි සමු වූ විට මාත් ඔහුට කියන්නට ඕනෑ කටුසු හාමි ගේ හපන්කම්.
මා මෙහෙමයි කියන්නේ.
" මා ගහ යට උන්නා. කටුසු හාමි මා දුටුවා විතරයි, පැන ගෙන ආවා. නඟුටු දෙකම උස්‌සා ගෙන මා දිව්වා තමා. කටුසු හාමි මා දිවූ බව නො දැන ඒ ගස කඩා පාගා කුඩු කළා" මෙසේ ම තමා හිවල් හාමි ට කියන්නට ඕනෑ. ඔහුට ලජ්ජා හිතෙන්නට.
අලි රාළ හාමි මෙසේ සිතමින් ගෙදර ගොස් වෙහෙස නිවා ගනිනා පිණිස මඳක් ඇළ වූයේ ය. හාමිනේ ළඟට අවුත් ඇඟ අත ගා ආදරය දක්‌වා, " ඇයි මේ උදේ නිදා ගන්නට සැරසෙන්නේ?" ය යි ඇසුවාය.
" මට ටිකක් වෙහෙසයි "
" කුමක් කළා ද ?"
" අර කටුසු හාමි මට සරදම් කළා. ඉතින් මගේ තරහ ඇවිස්‌සුණා. වෙන කරන්නට දෙයක් නැ. ගසත් සමඟ කඩා ඇඳ කුඩු කුඩු කළා. ඔහු තවත් සරදම් කරන්නේ නෑ."
" අනේ, මේ කුමක් කරනවා ද මා දන්නේ නැ. කටුසු හාමි සමඟ කෝලාහල කරන්නට ඔබට වටිනවා ද ? ඇයි කුඹියකු සමඟ යුද්ධ නො කෙළේ ?"
" කුඩා වුන් එක්‌ක හැප්පෙන්නට යෑම අපට වටින්නේ නැ තමා. අද මගේ තරහ හොඳට ම ඇවිස්‌සුණා.
එ ජඩයා මට ඉවසන්නට බැරි සරදමක් කළා නොවැ ?"
" කවර සරදමක් ද ?"
" ඔබ මතක් කොට සරදම් කළා "
" කුමක් කීවා ද ?"
" කොහොම ද හාමිනේ ගේ සැප සනීප කියා ඇසුවා "
" ඉතින් එකත් සරදමක් ද ? ඔබ කුමකට ද එවැනි දේ ගණනට ගත්නේ ?"
අලි රාළ හාමි ගේ තරහ යළි දු ඇවිස්‌සුණේ ය. " සරදමක් නොවෙයි ? හාමිනේ මතක් කර දෙඩුවාම උපාසකයකු ගේ වුණත් තරහ ඇවිස්‌සෙනවා. නොදන්නා දේ ගැන නො දොඩා ඉන්න."
" ගැරඩි මරා පව් ගනිනට එපා." ය යි කීමක් තිබෙනවා නොවෙ ද?"
" තිබෙනවා. එහෙත් ගැරැඩියා වුණත් නොමරා බැරි තැනුත් තිබෙනවා," අලි හාමිනේ නිහඩ ව, සැමියා ගේ ඇඟ අත ගා ඔහුට නිදාගන්නට හැර, තමා ගේ කටයුත්තට ගියා ය.
