හිවල් හාමි ඉතා සියුම් කල්පනා කාරයෙකි. කටුසු හාමි සමඟ දෙඩීමෙන් පසු ඔහුගේ කල්පනාව දස අතේ ගියේ ය. අසල ගමේ ගොවි හාමි ගේ එළු පට්‌ට්‌ය දුටු විට ඔහුට සිතුණු සිතුවිලි නොයෙක් විට පෙරැළි පෙරැළී එයි.
අළුත උපන් එළු පැටියන් දැක ඔහුගේ කට තෙත් වූ වාර බොහෝය. ඔහු තලු
ගැසූ වාර බොහෝය. එළුවන් ගිය පසු උන් උන් තැන්, සිටි තැන් ඉඹ බැලූ වාර බොහෝය. එහෙත් කුමක් කරන්නට ද ? එළුවන් ගාලට ගිය විට ඔහුට ඉතිරි වන්නේ තද කළු දිගැටි ගුළි රැසක් පමණෙකි.
දිනක් වනය මැද ඉකි ගසමින් සිටි ගොවි හාමි ගේ ලේ උණු කරවන දෙයක් සිදුවිය. අලි රාළ හාමි බඹ පනහක් පමණ ඈතින් යයි. පළමු කොට ගොවි හාමි සිතුයේ මහ කළු ගලක් පෙරළෙති යි කියා ය. මොහොතකින් ඒ කළු ගලක් නොවන බව ඔහුට පෙනිණ. ගෙදර මැ දුවන්නට ද සිතා අලි රාළ හාමි තමා ඉන්නා දෙසට නො එන හෙයින්, ගොවි හාමි ගසකට මුවා වී බලා සිටියේ ය.
" අලියෙකු ගේ තරම! මේ තරම් ලොකු අලියෙකු මා මීට ඉහත දුටුවේ නෑ. අර ඳළ දෙකේ දිග! අනේ, එය ඇතනම් බර ගනණකට දෙන්නට පුළුවන් ඳළ දෙක. හිතුවාට කුමක් කළ හැකිද ? ඳළ දෙක එහි හිත මෙහි. එ පමණයි."
ගොවි හාමිට කියමි මැ මෙසේ කියැවුණේ ය.
පඳුරක් අස්‌සේ උන් හිවල් හාමිට මේ වචනය ඇසී බලවත් ප්‍රීතියක් උපන්නේ ය. ගොවි හාමිගේ එළු පැටවුන් දැනුත් පෙනෙන්නාක් මෙන් විය. අලි රාළ හාමි ගේ
ඳළ දෙක ලබා දෙන්නට බැඳුණොත් එළු පැටියෙකු අල්ලා ගන්නට නොබැරි වෙති යි ඔහුට සිතුණේ ය.
එහෙයින් පඳුරින් මෑත් ව, සෑහෙන පමණ දුර සිට දොඩන්නට වූයේ යි.
" ඒ ඳළ දෙක දෙන්නට ඔබ කුමක් දෙනවා ද? "
ගොවි හාමි හැරී බැලී ය. හිවල් හාමි දැක ගොවි හාමිට සිනා පහළ විය. " ඔබ ද මට අලියා ගේ ඳළ දෙක දෙන්නේ ? ඔබට හොඳ එකක් මා දෙනවා, තව ටිකක් ළඟට ආවොත්.
ඊයේ රෑත් මගේ කුකුළන් මර හඬ ලෑවා. සැකක් නම් නෑ. ඔබ යන්නට ඇති ඒ පැත්තෙන්. " හිවල් හාමි මහත් පුදුමයෙන් ගොවි හාමි දෙස බැලී ය.
" රාළ හාමි, නිකම් බොරු කියනිනට එපා. රාළ හාමි ගේ බලු හාමි මට කීප වරක් ම කීවා, මා සෙල්ලමට වත් ඒ අසලින් යනවාට රාළ හාමි නො කැමති බව.
මගේ ම හොඳට කියාපු කීමක් මා කිසි කළෙක නාසා ඉන්නේ නෑ. අහන්න බලු හාමි ගෙන්. මා ඒ දිසාවට වත් ගියා ද කියා."
" එ සේ නම් කුකුළන් මර හඩ ලෑවේ ?"
" රාළ හාමි හිතා ඉන්නේ කුකුළන් බය හිවල් හාමිට විතරක් කියා. ඇයි රාළ හාමි, උගුඩු හාමි ගැන දන්නේ නැද්ද ? ඔහු එන්නේ උඩින් නොවැ ?යටින් එන අප පමණයි පෙනෙන්නේ. "
ගොවි හාමි හිස වනා දෙඩීම වෙන අතකට හරවන්නට කැමති වි ය.
" ඉතින් කිමෙක් ද ඕනෑ අලියා ගේ ඳළ දෙකට ? "
" රාළ හාමි කුමක් දෙන්නට ද කැමති ?"
"එවැනි ගනුදෙනුවක් නෑ. බඩුව දෙන්නා ඊට ගන්නේ කිමෙක්‌දැ යි කිය යුතුයි. කිමෙක් ද ඕනෑ."
සිවල් හාමි මඳ සිනායෙන් යුතුව වරක් මුහුණ එ අතට හරවයි. මේ අතට හරවයි. හොවි හාමි දෙස හොර බැලුමී ද හෙළයි. ඕනෑ දේ සිතේ ඇති බව ද කියන්නට ලජ්ජා ඇති බව ද හඟවයි.
" ඇයි කියන්නට මෙ පමණ ලජ්ජා ? කිමෙක් ද කිමෙක් ද ඕනෑ ?"
" රාළ හාමි මා එසේ නම් කියන්නට ද ? "
" හා හොඳා, කියනවා."
" මට හොඳ එළු පැටියන් දෙදෙනෙකු දෙන්න. මරන්නට විකුණන්නට නොවෙයි. ඇති කරන්නට.
ගුරු හාමි මගේ අත බලා කීවා, මට මී ළඟට ලැබෙන්නට යන ළමයාට එළු කිරි දෙනිනට වන බව. ඉතින් දැන් ම එළුවන් ඇති කරනිනට ඕනෑ. "
" හොඳා ඇත් ඳළ දෙක දුන්නාම මා එළු පැටවුන් දෙනවා."
" නෑ, නෑ, රාළ හාමි එවැනි ගනුදෙනුත් ඇද්ද ? ඇත් ඳළ දෙක දෙන්නට නම් මට දැන් එක් එළු පැටවකු දෙන්න. ඳළ දෙක ලැබුණා ම අනෙකා දෙන්න."
ගොවි හාමි සිනා සුණේ ය. මෙසේ ද කීය. " ඒ හිවල් මායමට අසුවන්නේ නෑ මා. පණ පිටින් ඉන්නා අලියා ගේ ඳළ දෙකට අත්තිකාරම් දෙන්නෝත් ඇද්ද ? "
" රාළ හාමි මා ගැන සැක කරන්නට එපා. අපේ වර්ගයේ නුවණ ගැන ඔබ අසා නැද්ද ? කෑම හිඟ වූ කාලයක මහ අලි රාළ හාමි කෙනෙකු මඩේ ගිල්වා මැරුයේ අපේ එකෙක් තමා.
නුවණින් නොකළ හැකි කිමෙක් ද ?"
" කොපමණ නුවණ තිබුණත් අලි ඳළ නොදී මගෙන් එළු පැටියෙකු ගත හැකි නොවෙයි. "
" එසේ නම් රාළ හාමිට ඇත් ඳළ දෙක එපා ?"
" එපා නොවෙයි, කැළේ ඉන්නා අලියෙකු ගේ ඳළ දෙක දෙනවා ය කී පමණට, කැළේ ම ඉන්නා හිවලෙකුට එළු පැටියකු දුන් බව දැන ගත්තොත් ගෑනුත් මට හිනා සේවි. "
" රාළ හාමි මගෙන් අලි ඳළ දෙකත් ගෙන කිසිවක් නොදී මා එළවා දමන්නයි සැරසෙන්නේ. මගෙන් අලි ඳළ දෙක ගෙන බලු හාමි මා පිටට පැන්නුවා ම අලි ඳළ දෙක දුන්නා මදිව පණත් දීල එන්ට යි සිදු වන්නේ."
ගොවි හාමි ට නිකම් ම සිනා පහළ විය.
" එසේ සිතන්නට එපා, මිනිසුන් කියන දේ එසේම කරනවා."
හිවල් හාමිට හොදටම සිනා පහළ විය. " රාළ හාමි තරහ ගන්නේ නැත්නම් මා ඇත්තක් කියනවා.
මිනිසුන් පමණ නරක ජාතියක් මේ මුළු ලෝකයේ ම නෑ. වෙන සතුන් ගේ නියම ගති ගුණ තිබෙනවා. මිනිහා ගේ නැ. අනේ "මිනිහා" ය කියන සතා නැත්නම්, කොතරම් හොද ද ලෝකය."
හිවල් හාමි මෙසේ කියා මහ දිග සුසුමක් හෙළුවේය. ගොවි හාමි මදක් සිතිවිල්ලේ සිට මෙසේ කීය.
" මා දන්නේ නෑ හිවල් හාමි, වෙන මිනිසුන් ගැන. මා නම් කී දේ වෙනස් කරන්නේ නෑ. අලි දළ දෙක ගොනාවොත් එළු පැටවුන් දෙ දෙනෙකු දෙනවා."
මෙසේ කියා ගොවි හාමි නො නැවතීම ගියේ ය.
