අලි උඟුල
 

අලි රාළ හාමි ද නොදත්තේ ය. කටුසු හාමි ද නො දත්තේය. හිවල් හාමි ගසකට මුවා වී මොවුන් ගේ තරඟය අසා සිටියේ ය. අලි රාළ හාමි ගිය පසු හේ එළියට අවුත් වට පිට බැලීය. කටුසු හාමි ද සැඟැ වී සිටි තැනින් මෑත් ව වට පිට බැලී ය. දෙ දෙනා ගේ ඇස්‌ සමුවිය.
" ආයුබෝවන් කටුසු හාමි. "
" ආයුබෝවන් හිවල් හාමි. "
" ඇයි, කටුසු හාමි, රාළ හාමිට එතරම් තරහ ගියේ ? "
" හා, ඔබ අසා ගෙන සිටියා ද ? අනේ, මා දන්නේ නෑ, හිවල් හාමි.

රාළ හාමි අද නොපිපුරුණා විතරයි. රාළ හාමි එ තරම් මහත් නොවේ නම්, මම මේ තරම් හීන් නොවෙම් නම්, අප දෙදෙනාගෙන් එකෙක්‌ අද ඉවරයි. රාළ හාමිට මා සොයා ගන්නට බැරිවුණා. මට රාළ හාමි අල්ලා ගන්නට බැරිවුණා."

හිවල් හාමි මඳක්‌ සිනාසුණේ ය. " අල්ලා ගන්නට බැරිවුණා! නො වේද කටුසු හාමි ? අල්ලා ගත්තා නම් ඔබ කුමක්‌ කරනවා ද ? "
" කුමක්‌ කරනවා ද කියා බලා ගන්නට තුබුණා තව ටිකෙකින්, යන්තම් වත් අහුවුණා නම්. දැන් ඉතින් කුමක්‌ කරන්නට ද ? "
හිවල් හාමි තවත් සිනාසුණේ ය. " බොහෝම හරි කටුසු හාමි. බොහෝම හරී. "
" බොහොම හරි නොවේ නම් ? හිවල් හාමි, ඔබ කුමක්‌ සිතනවා ද කියා මා දන්නේ නෑ. ලොක්‌කන් රටේ සිටි පළියට කුඩා වුන් රට හැර යන්නට ද ? උනුත් රටේ සිටින්නට ඕනෑ. ඕනෑ නැති අන්දමට හැප්පෙන්නට ආවොත් ලොක්‌කන්ගේ තරම ඔවුන්ට හඳුන්වා දෙන්නට ඕනෑ. "

" ඉතින් පින් ඇති කටුසු හාමි, ඔබත් මමත් අලි රාළ හාමිට කුමක්‌ කරමු ද ? රාළ හාමි ගේ එක පයකට ද ඔබ වැනි සිය දෙනෙකුත් මදි ? "
" ඔව් මදි. ඒ අප ඔහුගේ පය යටට ගියොත් නොවැ ? ඉඩ ලැබුණොත් මට අලි සිය දෙනෙකුත් මදි. "
" නිකම් මැත දොඩවන්ට එපා, කටුසු හාමි. ඔබ කුමක්‌ කරනවා ද රාළ හාමිට. කියන්න එය. රාළ හාමි ගේ නඟුටේ රෝම ගසක්‌ වත් සොලවන්නට බැරිව හිඳ ගෙන කටේ තිබෙන උදාරම් කම! "
" හිවල් හාමි, ඔබ වැනි දීනයන් නිසා තමා, මේ ලොක්‌කන් මේ තරම් ආඩම්බර, ඇඟ පත ටිකක්‌ මහත නම් ගත් කටට "රාළ හාමි" මම නිකන් ම කටුසු හාමි.

ඔහුට "රාළ හාමි" ය කියනවා නම් මටත් "රාළ හාමි" ය කියන්නට ඕනෑ. නැත් නම් මා සමඟ දොඩන්නට එපා."
" හා, හා, තරහ වෙන්නට එපා, කටුසු රාළ හාමි. රාළ හාමි. රාළ හාමි, රාළ හාමි, රාළ හාමි, රාළ හාමි අනේ කී සැරේ ද කියා ගැන ගන්නටවත් බැරිවුණා. දහ සැරයක්‌ බැරි නම් සිය සැරයක්‌.
ඒත් මදි නම් දහස්‌ සැරයක්‌ උනත් " රාළ හාමි " ය කියනවා. තරහ වෙන්නට නම් එපා. කටුසු රාළ හාමි. කියන්න.

අලි රාළ හාමි අසු වුනොත් ඔබ කුමක්‌ කරනවා ද? කටුසු හාමි මදක්‌ සිනාසුණේ ය. හිස ද වැනුවේ ය.
" කුමක්‌ කරනවා ද කියා බලා ගත හැකි, එ විට තමා හිවල් හාමිටත් කටුසු රාළ හාමි ගේ තරම තේරෙන්නෙ ? "
" ඉතින් කුමක්‌ කරනවා ද ? නිකම් පුරසාරම් නො දොඩා කියන්න එය. "

කටුසු හාමි තවත් සිනාසුණේ ය. හිස ද හොදටම වැනුවේ ය.
" හිවල් හාමි, මා එක්‌ක කියනවා ළඟ දී දවසෙක අලි රාළ මර හඩ දී ගෙන කැලෑව බිඳගෙන දිව්වේ නැත්නම් මගේ නම කියන්නට එපා. කුමක්‌ කළා ද කියා එදාට ඔබට දැන ගන්නට ලැබෙයි.

ඒ මහ සැර කාරයා. ඔව්. එය මා දන්නවා. මගේ හීන් සැරයත් ඔහුට ටිකක්‌ පෙන්නා බලන්නට ඕනෑ. අපේම වරදින් හිවල් හාමි, අපි මේ නිවට ව ඉන්නේ. ලොක්‌කන්ගේ ලොකු කම් පෙන්නන්නට ආවාම පොඩියන් ගේ පොඩි කමේ බලයත් පෙන් වන්නට ඕනෑ. කවට කමට ගන්නට එපා. පොඩියන් ගෙත් එක්‌තරා බලයක්‌
තිබෙනවා. ඇතැම් විට ලොක්‌කනට පොඩියන් ගේ සැරය වැදුණාම ඉවසන්නට බැරිව යනවා. නොවේ ද හිවල් හාමි ?"

" ඔව්, ඔව්, කටුසු හාමි. ආහ් මට වැරදුණා - කටුසු රාළ හාමි. මට ඉවසිල්ලක්‌ නෑ ඔබ කුමක්‌ කරන්නට ද හිතා ගෙන ඉන්නේ."
" කළාම පිළිවනි, හිවල් හාමි, එය දැන ගන්නට."
" ඉතින් මට කියන්න. කීවාම වන වරද කිම. හැබෑවට ම කරන්නට පිළිවන් නම්? බැරි අය තමා කියන්නට බය."
"කරන අය කියන්නේ නෑ, හිවල් හාමි. කියන අය බොහෝ සෙයින් ම කරන්නෙත් නෑ. "
" නිකම් බොරු පුරසාරම් දොඩන්නට එපා. නිවට කටුසු හාමි. අලි රාළ හාමි එන හඬ ඇසෙන විට ඔබ මේ කැළෑවේ වත් සිටියොත් ඇති. හිතා ගත්තා ද මමත් මේ ඔබේ පුරසාරම් හැබෑවට ගත්ත කියා. "

කටුසු හාමි සිනාසුණේය. හිස ද වැනුවේය. " හිවල් හාමි හැබෑවට ගන්නා දවස ඉක්‌මනට ම ඒවි. මගේ නිවට කම මට තුබුණා වේ. එයින් හිවල් හාමිට ඇති පාඩුව කිම ?"
" ඒ එසේ නො වෙයි. කටුසු රාළ හාමි. මා ඒ කීවේ රාළ හාමිගේ තරහ අවුස්‌සන්නට යි. රාළ හාමිට තරහ ගියේ නෑ. බොහොම හොඳා. එ එසේ නොවෙයි. මෙ වැනි බර කටයුතු දැනුම් තේරුම් ඇති එකෙකුට කියා බලා කරනවා නම් තමා හරි.

එ එසේ කීවාම එහි යම් වරදෙක්‌ වේ නම් එය දැනගන්නට ලැබෙයි. මාත් මේ බල බලා ඉන්නේ ඔය අලි රාළට උගුලක්‌ අටවන්නට තමා. අප දෙන්නා එකතු වුණාම
කරන්නට බැරි එකක්‌ නෑ. කියන්න. කියන්න. මට ඔබ සිතා ඉන්නා සැටි."
" එය සැල වුණොත් හරියන්නේ නෑ."
" සැල වෙන්නේ කොසේ ද? මා අවිශ්වාස කරන්නට එපා. මා රහස්‌ රකින්නට හොඳට දන්නවා.
පිට වෙතොත් පිට වෙන්නේ ඔබගෙන්. මගෙන් නොවේ. සැක නැතිව කියන්න."
කටුසු හාමි ගසින් බැස අවුත් හිවල් හාමි ගේ කනට කට ලං කළේය. හිවල් හාමි හිස වනමින් අසා සිට පුදුමය දැක්‌වී ය. "බොහොම හොඳා. බොහොම හොඳා කාරිය හරි යනවාට මෙන්න කැට" කියා කටුසු හාමිට තවත් ධෛර්ය වඩා වෙන කිසිවක්‌ කියා ගත නො හැකිව බලා සිටියේ ය.

කටුසු හාමි තමා සිතු තරම් බියසුල්ලකු නොවන බව ඔහුට දැන් පෙනෙයි.
" අනේ හිවල් හාමි, පිට කරන්නට නම් එපා, පිට කළොත් කාරිය වඳිනවා ම යි."
" රාළ හාමි කුමක්‌ කියනවා ද ? මටත් ඕනෑ කවර උපායයෙකින් වත් අලි රාළට උගන්වන්නට යි.
රාළ හාමි කිසි බියක්‌ ගන්නට එපා. මා ඉන්නවා උපකාරයට. හිතු හැටියටම කරන්න. කාරිය හරි යනවා ම යි."

(c) Shilpa Sayura Foundation 2006-2017