පසුදා අලි හාමිනේ ආදර ගුළියෙකි. වරක් අලි රාළ හාමි ගේ හොඬ තමාගේ හොඬින් වෙළයි. වරක් සිය සිරුර සැමියා ගේ සිරුරෙහි ගාවයි. වරක් ඔහුගේ අංගයට හිස දී තල්ලු කෙරෙයි. වරක් ඔහු මුවට ගත් කොළ අත්ත උදුරා ගෙන සිය මුවෙහි ලා යළි දු ඇද ඔහුගේ මුවෙහි මැ තබයි. රාළහාමි මහත් පුදුමයෙන් මේ ආදර සියල්ල විඳී.
අන්තිමේ දී අලි හාමිනේ දොඩන්නට වූවායැ. මෙතෙක් දෙඩීමට මඟ පෑදුවා පමණෙකි. නුවණ ඇති ගෑනු සැමියාට අමුත්තක් කියන්නට ඇති කල, පළමු කොට ඔහුට ආදරය දක්‌වා ඔහු ගේ සිත බැඳලති. ඉක්‌බිති සෙමෙන් අමුත්ත කියති. සැමියා හීලෑ ව සියල්ල ගනී. ඔහුට කෝපයට ඉඩක් නොලැබේ. අලි හාමිනේ
මේ උපායෙහි ඉතා දක්‍ෂ වෙයි.
" ඊයේ හරි වැස්‌ස නොවැ? හරි සූළඟ නොවැ? ඔබ ළඟ නොසිටි නිසා මා හරියට බය වුණා. " මෙසේ අලි හාමිනේ මුල පිරුවා ය.
" මාත් හොඳටම බය වුණා. වෙන කවර බයෙක් ද? ඔබ ළඟ නොසිටි එක තමා බය. මා කීප වරක් ම වෑයම් කළා එන්නට. ඒ අතින් ගසෙක් වැටෙයි. මේ අතින් ගසෙක් වැටෙයි. තව එකක් කැඩී අවුත් ඒ දෙක උඩ වැටෙයි. ඒ වෙලාවේ ආවා නම්, අලියෙකු ගේ වුවත් කුඩු වත් ඉතිරි වන්නේ නෑ. ඒ නිසා
සුළඟ නවතින කල් ම සිටියා. "
" එසේ නම් ඒ ගස් වැටුණේ සුළඟට. "
" ඔව්. ඇයි අසන්නේ? කෙසේ වැටුණා ය කියා සිතුවාද ? "
" මා සිතුවා ඒ ගස් කඩන්නට ඇත කියා "
" ගස් වැටුණේ සුළඟට. මා එන්නට සැරසුණු නමුත්, බැරිවුණා. ඒ මේ අතින් වැටුණු ගස් වලට පාර ඇහිරී ගියා. බැරි තැන මා සමහර ගස් ඒ මේ අතට ඇද්දා. සමහර ගස්‌වල අතු කඩා දැමුවා.
කොතරම් අමාරු විඳ ද මා යන්තම් ඔබ ළඟට පැමිණියේ ? "
" කටුසු හාමිත් එහි සිටියා ද ? "
" මා දුටුවේ නෑ. කටුසු හාමි ගේ සිහියක් කොහි ද ? මට තිබුණේ ඔබගේ සිහියම යි. ඒ නිසා කුමක් කොට නමුත් ඔබ ළඟට එන සිහියම තුබුණු නිසා මා පණ නොබලා වෙහෙස වින්දා. " අලි හාමිනේ මේ වර මඳ සිනාවක් දැක්‌වූවාය.
අලි රාළ හාමි එය නුදුටුයේ නොවේ. හේ විමසන්නට විය.
" ඇයි ඔබට හිනා ? "
" නෑ නිකමී. "
" නෑ, නෑ, ඒ නිකම් කීම හරියනිනේ නෑ. එහි රහසෙක් ඇති. එය සැඟවීම ආදරයට කැරෙන්නෙක් නො වෙයි. කියන්න. ඇයි හිනා. "
" අනේ නෑ. රහසක් නෑ. මට කාරණයක් මතක් වී හිනා ගියා. "
" කියන්න ඒ කාරණය. "
" කටුසු හාමි කියනවාලු ඔහු ඒ ගස් කැඩුවාය කියා. ඔබ නිකම් බලා සිටියා ලු "
අලි රාළ හාමි කොක් හඬලා සිනාසුණේ ය.
" කවරෙක් ද එය කීයේ ? " " කටුසු හාමි ඔබට කීවා ද ? "
" නෑ, නෑ, කටුසු හාමි කීයේ ගෝන හාමිට. මට ඇසුණා. ඔබ නිකම් සිටියා ලු.
ගස් කැඩුවේ කටුසු හාමි ලු. ඉතින් ගෝන හාමි කොපමණ බය ගත්තා ද කීවොත් කටුසු හාමිට "කටුසු රාළහාමි " ය කියන්නට පටන් ගත්තා. "
අලි හාමි හිස කෙලින් කෙළේය. සතර පය තිර කොට බිම පිහිටැවී ය. හොඬ නිසල කෙළේය.
ඇසිල්ලක් මෙසේ සිට දොඩන්නට වි ය.
" ඉතින් බලන්න. මේ කුඩා වුන් ගේ ආඩම්බර සිතෙක මහත! ගසෙක කොළයක් කඩා ගන්නට වත් ශක්‌තිය නෑ. එහෙත් මහ ගස් කැඩුවාලු. හොඳ නොවේ ද ? "
" ඒක නොවේ නම් මාත් මේ හිත හිතා හිටියේ ? "
" හොඳා. ඌට හොඳ පාඩමක් උගන් වන්නට ඕනෑ. මම දැන් ම යමි. මට උන්දෑ සමු වේවි.
ඌට මගේ හොඬින් ගැසුව හොත් මගේ හොඬ කැත වෙයි. පයින් පහර දුනහොත් පය කැත වෙයි. කටුස්‌සකු මැරුව හොත් ඒ මුළු අලි ජාතියට ම නින්දාවෙකි. මා ඔහුට හොඳ බණක් කියා මේ ලොවදී තබා පරලොව දී වත් මෙ වැනි ජඩ දෙඩුම් නොදොඩන ලෙස නිසි පමණට බිය වද්දනවා. "
" අනේ ඔබ නිකම් මේ දෙඩුම් ගණනට නො ගෙන ඉන්න. කටුස්‌සා මැරුවම පමණ ද නින්දා ? කටුස්‌සාගේ දෙඩුම් ගණනට ගත්තාය, කීවත් නින්දාවෙකි. "
" ඔබගේ කීම බොහොම හරී. එහෙත් මා නිකම් වචනයක් දෙකක් කියා එනවා. බිය ගන්නට එපා. කලබලයක් කරන්නේ නෑ. "
අලි රාළ හාමි මෙසේ කියා මඳ දුරක් ගියා විතරයි. මේ ඉන්නේ කටුසු හාමි අත්තක් උඩ හිස වන වනා. අලි රාළ හාමි ඔහු නුදුටුයේ ය. හේ නම් රාළ හාමි දුටුයේ ය. තමා ඊයේ කී පුරසාරම් රාළ හාමි දනිතියි නොසිතු බැවින්, කටුසු හාමි හිස වැනීමෙන් ම ආචාර දක්‌වා "ආයුබෝවන් රාළ හාමි" යි කීය.
අලි රාළ හාමි ඒ හඬ අසා වට පිට බැලී ය. ඔහුට තමා සොයා ගත නොහැකි වූ බව දත් කටුසු හාමි හුඟක් ම හිස වනා යළි දු "ආයුබෝවන් රාළ හාමි" යි මහ හඩින් කීයේ ය. ඒ වර කරකැවී බැලූ රාළ හාමිට අතු අගෙක හිඳ තවමත් හිස වනන කටුසු හාමි පෙණින. අලි රාළ හාමිගේ කෝපය ඇවිස්‌සුනේ දැනු යි. හාමිනේ ගේ අවවාදය ඔහුට මතක නැති වියැ.
හේ කෝපයෙන් වෙවුලන්නට වූයේ ය. මේ තරම් කුඩාවෙක් නොවේදැ, මා පහත් කොට සිතා ගත්තේ? තවත් එසේ නොසිතන්නට දැන් ම මූ සොඬින් ගෙන පයට යට කෙරෙමි' යි හේ එක් වර ම සිතී ය.
එහෙත් ඒ සිත මඳක් මැඩ, කෝප වේගය නිවන පිණිස මෙන් මහත් කොට පිඹ, දොඩන්නට වූයේ ය.
" තෝ ද, බල, එ තරම් හපනෙකැ කියන්නේ ? "
" රාළ හාමි ට තරහ ගොහින් වාගෙයි. මගේ කවර හපන් කමක් ද රාළ හාමි. රාළ හාමි නොවැ හපනා."
" මගේ හපන් කම් කොයි යා ද ? තා කියන්නට ඕනෑ ද මා හපනෙකු බව ? "
" නෑ. රාළ හාමි මා කියන්නේ කුමට ද ? ඊයේ මා දුටුවේ කළ හපන් කමේ තරම. "
අලි රාළ හාමිට මේ සියල්ල පෙනෙන්නේ සරදමක් සැටියට යැ. එ හෙයින් තවත් බසකුදු නොකියා, සොඬ නඟා මහත් හඩින් පිඹ ඉදිරියට පැන්නේ ය. ඒ පැන්නේ උන් අත්ත පිටින් ම ඇදගෙන කටුසු හාමි පයට යට කරන පිණිස ය. අත්ත කැඩුවා පමණෙකි. කටුසු හාමි එහි නොසිටියේ ය.
වියරු වුණු කලෙක් හි මෙන් අලි රාළ හාමි ඒ මේ අත හැරෙමින් වනය පොඩි කෙරෙමින් බලන්නට වූයේ ය. එහෙත් කටුසු හාමි ගිය අතක් වත් පෙනෙන්නට නැත. එ හෙයින් මහත් ජයක් ලැබූ ලීලාව දක්‌වමින් අලි රාළ හාමි සෙමෙන්
සිය නිවෙස බලා ගියේය.
