ඔපෙරා (Opera)
 

ක්‍රි.ව. 720 වන විට චීනයේ නාට්‍ය කලාවක් බිහි වී තිබුණා බවට නිසැක සාක්ෂි ඇත. දැනටත් චීනයේ පවතින "බීජිං ඔපෙරා" නම් නාට්‍ය වර්ගය මෙවැනි පැරණි බීජයන්ගෙන් විකාශනය වූ බව නළු නිළියන්ගේ රංග ශිල්ප ශෛලීන් හා චලන ආදියෙන් පෙනී යයි. ගායන හා වාද්‍ය වෘන්ද භාවිතය, කාව්‍යමය සංවාද, නැටුම් හා වෙස් මුහුණු උපයෝගි කර ගැනීම ආදියෙන් පැරණි ග්‍රීක නාට්‍ය ශෛලියට සමානකම් දැරූ මෙම නාට්‍ය වර්ග ද නාට්‍ය ධර්මි ශෛලිට අනුගමනය කරන බව පැහැදිලිය.


බටහිර රටවලද ඔපෙරා සංකල්පය බිහිවිය. 16 වන ශතවර්ෂයේ දී ඉතාලියේ ඔපෙරා සම්ප්‍රදාය බිහිවිය. මෙහිදී ගායනය, වාදනය ප්‍රමුඛ සංගීතය ප්‍රබල ලෙස ඔපෙරාවට යොදා ගති. මෙහි අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටින්නේ සංගීතඥයාය. එසේ වන්නේ ඔපෙරාව තුළ ප්‍රබල මාධ්‍ය වන්නේ සංගීතය නිසාය. එහෙත් කාව්‍යමය භාෂාව හා ප්‍රසාංගික බවද ප්‍රබල ලෙස දක්නට ලැබේ.


චීන බීජිං ඔපෙරා තුළින් විප්ලවය, ආර්ථික ගැටළු වැනි සමාජ ප්‍රශ්න ගැඹුරින් නිර්මාණය කර තිබේ. ලංකාවේ ප්‍රේමසිරි කේමදාස විසින් "මානසවිල" නමින් ඔපෙරාවක් නිර්මාණය කරන ලදී. එය බෞද්ධ ජාතක කතාවක් වන බක ජාතකය මුල් කරගෙන ගොඩ නැඟුනකි.

"ඔපෙරාව වනාහි වචන ගායනය මෙන්ම වාදනය ද සහිත සංගීතය හා වේදිකාව මත සිදුවන රංග කාර්යයන් යන අංගවල සංකලනයෙන් කතාවක් ඉදිරිපත් කරන මාධ්‍යයකි" යනුවෙන් "ඔපෙරා - අ හිස්ටරි" (Opera A History) නමැති ග්‍රන්ථයේ නිර්වචනයක් දී තිබේ. ඔපෙරාවේ ද වරෙක ගීත ගායනය යොදා ගන්නා අතර තවත් වරෙක සෘජු සංවාද යොදා ගැනෙති. මේ නිසා ඔපෙරාව තුළ ශෛලීන්ගේ මිශ්‍ර බවක් ද දක්නට ලැබේ.

ඔපෙරාව සඳහා පුරාණෝක්ති, ජනකතා පමණක් නොව නවකතා හා නාට්‍යවල කතා වස්තුන්ද ඔපෙරා සංදර්භයට ගැළපෙන සේ නැවත ලියා නිෂ්පාදනය වී තිබේ. "ඉලෙක්ට්‍රා" "ඇලඩින්" "කාමන්" "ද ගැම්බිලර්" "රොමියෝ ජුලියට්" "ලයිලා හා මප්නු" "ඊඩිපස්" "ත්‍රීපෙනි ඔපෙරා" හා මහත්මා ගාන්ධිගේ චරිතය වස්තු විෂයක් කරගත් "සත්‍යග්‍රහ" ඔපෙරාව ද නිදසුන් ලෙස දැක්විය හැකිය.

ඔපෙරාවක මූලික තැනැත්තා සංගීතඥයා යනුවෙන් අප සැලකුවත් ඊට වඩා වෙනස් මතයක් රසල් ඩේවිස් නමැති විචාරකයා පවසයි. ඔහු පවසන පරිදි "ඔපෙරාවෙහි කලා අධ්‍යක්ෂවරයා ද වේදිකාව මත දෘෂ්‍ය රූප සම්පාදනයෙහිලා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. ගායනයෙහි දක්ෂ වූ පමණින් ඔපෙරාවක නළුවෙකු විය නොහැකිය. ඔහු ගායනයේ මෙන්ම රඟපෑමේ ද දක්ෂ හොඳම නළුවෙකු ද විය යුතුය.

නැතහොත් වේදිකා භාවිතය ගැන නොදැන ශ්‍රව්‍ය පක්ෂය පමණක් ඉස්මතු කොට දෘෂ්‍ය පක්ෂය දුර්වල වී ඔපෙරාව අසාර්ථක වනු ඇත." යනු ඔහුගේ මතයයි.

ඔපෙරාවෙහි රංග වස්ත්‍ර භාවිතය ද වෙනස් මුහුණුවරක් ගනී. ශෛලිගත ක්‍රමයට රංග වස්ත්‍ර නිර්මාණය කරනු වෙනුවට ඒ ඒ චරිතවලට ගැළපෙන ලෙස ස්වභාවික ඇඳුම් පැළඳුම් බොහෝ විට යොදා ගනු ලැබේ.


මුද්‍රා නාට්‍යවල ද පොදු ශෛලියක ඇඳුම් සියලුම නර්තන ශිල්පීන් භාවිතා කළ ද ඔපෙරාවේ ද එහි පාත්‍රවර්ගයා තම චරිතය අනන්‍ය වන සේ රංග වස්ත්‍ර භාවිතයට ගනිති.


ඔපෙරාව රංගගත කිරීම සඳහා විශේෂ රඟහලවල් තිබේ. ඒවා ඔපෙරා මන්දිර නමින් හැඳින්වේ. ඔපෙරා නිෂ්පාදනය සඳහා විශාල මුදලක් වැයවේ. ඒ සඳහා විශේෂයෙන් වෙළඳ සමාගම්වල අනුග්‍රහය ලැබුණි.

බැලේ (Ballet)

 

බැලේ නමැති වචනය ඉතාලියානු බැලෝ (Ballo) හෙවත් නැටුන යන වචනයෙන් නිරුක්තිය ලබයි. බැලෙටෝ (Balleto) යනුවෙන් ඉතාලි භාෂාවෙන් හැඳින්වෙන්නේ පුංචි නැටුමකටයි. සංගීතය, නර්තනය හා අභිරූපණය යන කලා අංගවල සංකලනයෙන් බැලේ නිර්මාණය වී තිබේ.

17 වන සියවස තරම් මෑත කාලයේ දී බැලේ ආරම්භ වූයේ රාජසභා ඇසුරෙනි. එබැවින් මුද්‍රා නාට්‍යවල විදග්ධ සම්ප්‍රදායට අයත් නර්තන රටා හා නර්තන ක්‍රම ඇතුළත් වන අතර ඒ සඳහා භාවිතා කරන ලද්දේ සම්භාව්‍ය සංගීතයයි. හංස විල (Swan Lake) නමැති මුද්‍රා නාට්‍යයේ සාර්ථකත්වයට වයිකොවිස්කිගේ සංගීත රචනය හේතුවීම මීට නිදසුනක් ලෙස දැක්විය හැකිය.

රාජසභා ආශ්‍රිතව බැලේ නාට්‍ය කලාව ගොඩ නැඟුණු බව අතීතය සාක්ෂි දරයි. එංගලන්තයේ පළමුවැනි එළිසබෙත් රැජින හා ප්‍රංශයේ 14 වැනි ලුවී රජතුමා නර්තන කණ්ඩායම් සඳහා දිරි ගැන්වීම් කළ බව කියවේ. රාජසභා සේවයේ නියුතු ප්‍රවීණ නාට්‍ය සභා ඔස්තාර්වරු ඉතා සුලලිත සුකොමල නර්තනයන් නිර්මාණය කළහ.

ඒවා ඉදිරිපත් කිරීම සඳහා ශාරීරික චලන පිළිබඳ අභ්‍යාස මෙන්ම ඉතා මහන්සියෙන් පෙර පුහුණුවීම්වල යෙදීම අත්‍යාවශ්‍ය අංගයක් විය. එනිසාම පුහුණුවීම් වලදී නාට්කාංගනාවන් හා නර්තන ශිල්පීන් පාද තබන රටාව කලින් රචනා කිරීම අවශ්‍ය විය. මෙසේ නර්තන රටාව සටහන් කළ නර්තනයෙහි ප්‍රවීණයන් නෘත්‍ය රටා රචකයින් ලෙස හඳුන්වනු ලැබීය. කලින් සකසා රචනා කොට ඒ අනුව පුහුණු කරනු ලැබූ නර්තන රටාවන් ලියා ගන්නා පුද්ගලයා පසු කලෙක නෘත්‍ය රටා රචක යනුවෙන් නම් කරන ලදී. බැලේ නාට්‍යවල සංගීතඥයා ද එම බැලේ නාට්‍යයේ තේමාවට ගැළපෙන සම්භාව්‍ය ගණයේ සංගීතයක් රචනා කෙළ්ය.

ස්වෝන් ලේක් (හංස විල), නට් ක්‍රැකර් හා (ස්ලිපිං බියුටි) නිදි ක‍මාරි අද ලෝව ප්‍රකට බැලේ නාට්‍ය තුනකි. හංස විල මේ අතරින් විශේෂ වේ. වයිකොවිස්කි විසින් රචනා කරන ලද ප්‍රථම ශ්‍රේෂ්ඨ බැලේ නාට්‍යයක් වූයේ  වයිකොවිස්කිගේ මරණින් පසු ලෙඩ් ඉවනොදෙව් විසින් කරන ලද නිෂ්පාදනයෙන් පසුවයි. රුසියාවේ බොල්ෂොයි බැලේ රංග ශාලාවේ අදත් වේදිකාගත වන මෙම බැලේ නාටකය නැරඹීමට ලොව නන් දෙසින් රසිකයෝ පැමිණෙති.

මුද්‍රා නාට්‍ය


බැලේ සහ මුද්‍රා නාට්‍ය අතර පවතින්නේ සුළු වෙනසකි. බැලේ බටහිර රටවල බිහි වූ අතර මුද්‍රා නාට්‍ය ආසියාතික රටවල බිහිවිය. මෙහි විශේෂය වන්නේ අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා මුද්‍රා භාවිතා කිරීමයි. මේවා බොහෝ විට නැටිම් සම්ප්‍රදායන් ඔස්සේ නාට්‍ය කලාවට එකතු වූ ඒවාය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ කරදිය, නල දමයන්ති වැනි මුද්‍රා නාට්‍ය සඳහා උඩරට නැටුම් කලාව, ඉන්දියාවේ තිබෙන භරත, කතකලි වැනි නැටුම් සම්ප්‍රදායන්හි ආභාෂය ලබා තිබේ. බටහිර බැලේ නාට්‍යවල ආභාෂය ද නොමදව මේ සඳහා ලැබී තිබේ. වජිරා - චිත්‍රසේන දෙපළ විසින් නිර්මාණය කරන ලද "කරදිය" මුද්‍රා නාට්‍ය තුළ මෙම ලක්ෂණ දක්නට ලැබේ. ලංකාවේ මුද්‍රා නාට්‍ය සඳහා පසුබිමින් සංගීතය මෙන්ම වාචික අභිනය ද යොදා ගැනේ. බොහෝ විට ගීත මගින් අදහස් ප්‍රකාශ කිරීමක් සිදුවේ. මෙම සෑම හඬක්ම ඇසෙන්නට සලස්වන්නේ පසුබිමින්ය. රංග භූමිය හා රංග වස්ත්‍රාභරණ නිර්මාණය ඉතා විචිත්‍ර ලෙස යොදා ගැනේ.

මුද්‍රා නාට්‍ය රස විඳීමට නම් උසස් රසිකත්වයක් තිබිය යුතුය. ඒ සඳහා මුද්‍රා නාට්‍යයේ යොදා ගන්නා මුද්‍රාවලින් කියැවෙන සංකල්ප දැන ගත යුතුය. මේ හේතුව නිසාම මුද්‍රා නාට්‍ය අද වන විට අපේ රටෙන් ඉවත් වී තිබේ. එයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ මුද්‍රා නාට්‍ය නැරඹිම සඳහා සකස් වූ ප්‍රේක්ෂක පිරිසක් නොසිටීමයි. මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කිරීම සඳහා විශාල මුදලක් වැය වීම ද මෙවැනි කෘති බිහි නොවීමට එක් හේතුවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017