නාට්‍ය ධර්මි
 

නාට්‍ය ධර්මි කලාකරුවාගේ අරමුණ, ලෝක ධර්මි නාට්‍යකරුවාගේ අරමුණට ඉඳුරාම වෙනස්ය. නාට්‍යයේ ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයා ඔහු ඉදිරියේ වේදිකාගත වන්නේ "නාට්‍යයක්" වග දනියි. ස්වභාවයෙන් දක්නට නොලැබෙන කථකයෙක්, පොතේ ගුරෙක්, අතීත වක්තෘවරයෙක්, ගායක වෘන්දයක් වැනි උපක්‍රම යොදා ගනිමින් තමා නරඹන්නේ නාට්‍යයක් වග නිතරම ප්‍රේක්ෂකයාට අඟවයි.


එසේම නාට්‍යකරුවා යොදාගනු ලබන ශෛලියෙන් ප්‍රේක්ෂකයාට නාට්‍යයේ නාට්‍ය ධර්මි බව ඉබේම වැටහේ. නාට්‍යයේ එන චරිත අතර සංවාද, ගීතයෙන් හා රිද්මයානුකූල කාව්‍යමය භාෂාවෙන් සිදුවේ. එදිනෙදා ව්‍යවහාර බසින් ඈත්වේ. නළු නිළියෝ ස්වභාවික ලෙස අංග චලනය නොකරති. බොහෝ විට එය සිදුවන්නේ රිද්මයානුකූලවය. ඇතැම් විට නළුවෝ වෙස් මුහුණු භාවිතා කරති. මුද්‍රා වැනි සම්මත සංකේත භාවිතා කර ප්‍රේක්ෂකයාට සිය අදහස් හා හැඟීම් සන්නිවේදනය කරයි. අලංකාරය, අතිශයෝක්තිය, ව්‍යාංග්‍යෝක්තිය, සංකේත භාවිතය නාට්‍ය ධර්මි නාට්‍යකරුවකු විසින් බහුලව යොදා ගනු ලැබේ.


නාට්‍ය ධර්මි රංග භූමිය මායාවකින් තොරව රංග භූමියක් ලෙස හැඟවෙන පරිදි නාට්‍යයේ සිද්ධි ඉදිරිපත් කරයි. පසුතල භාවිතයක් ද නැත. ස්ථානය පිළිබඳ ඉඟි කිරීමට අවශ්‍ය වුවහොත් නාට්‍යකරු එය සිදු කරන්නේ සංකේතයක් හෝ සංකේත තුළිනි. මනමේ නාට්‍යයේ කුමරාත්, කුමරියත් ගමන් කරන්නේ වනාන්තරයක් මැදින් බව ප්‍රේක්ෂකයාට දන්වන්නේ දෙදෙනා ගයන ගීතයෙනි.


කුමරු : ප්‍රේමයෙන් මන රංජිතවේ - නන්දිතවේ
        පුෂ්පයෙන් වන සුන්දරවේ - ලංකෘතවේ
        ආලයෙන් වෙලී සැදීමෙ ලතා
        මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිතවේ
        හිරු රජිඳුගේ


කුමරි : කෝකිල හඬ කන් පිනවයි - රන් ස්වරයයි
        රෑන ගිරව් දෙන ගී සින්දු - අම බින්දු
        සෑම දෙසේ සංගීත ඇසේ
        පිපී තඹරත නද බඹරන පිය රැව්දෙන
        ලිය කිඳුරන

පෙර අපර දෙදිගම බොහෝ නාට්‍ය සම්ප්‍රදායන් "නාට්‍ය ධර්මි" ශෛලිය අනුගමනය කළ බව පෙනේ. ක්‍රි.පූ. 500 සිට 300 දක්වා පමණ ග්‍රීසියේ වර්ධනය වූ කාව්‍යමය නාට්‍ය වර්ග මීට කදිම නිදසුනකි. ඊස්කිලස්, සොපොක්ලිස්, යූරිපිඩිස් සහ ඇරිස්ටොෆනිස් විසින් මේ අවධියේ ලියූ නාට්‍ය පෙළ කියවන්නෙකුට මෙය අවබෝධ කරගත හැකිය. මෙම ග්‍රීක සම්භාව්‍ය නාට්‍යයේ බීජ අවස්ථාව වශයෙන් සැලකෙන සැටර් නම් ග්‍රීක නාට්‍ය වර්ගය ද නාට්‍ය ධර්මි ලක්ෂණවලින් යුක්ත වේ.

ෂේක්ස්පියර්ගේ නාට්‍යය ද විචාරකයින් විසින් නාට්‍ය ධර්මි ප්‍රභේදයට අයත් බව ප්‍රකාශ කර තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ ෂේක්ස්පියර්ගේ නාට්‍යවල සංවාද කාව්‍යමය ස්වරූපයක් ගත් නිසාය. බොහෝ විට මෙහි භාෂාව ස්වභාවිකත්වයෙන් ඈත් වූ රිද්මයානුකූල බවක් උසුලයි.

පෙරදිග භාරතයේ ද ක්‍රි.පූ. 300 කාලයේ සිට නාට්‍ය කලාවක් වර්ධනය වෙමින් පැවැති බව විශ්වාස කෙරේ. ක්‍රි.පූ. 4 වන සියවස වන විට භරත මුනිවරයාගේ "නාට්‍ය ශාස්ත්‍රය" ලියවී තිබිණි. එහි දැක්වෙන කරුණු අනුවද රත්නාවලී, අභිඥාන, ශාකුන්තලය, මැටි කරත්තය ආදී ඉතිරි වී ඇති සංස්කෘත නාට්‍යවල පෙළ පරික්ෂා කිරීමේ දී දක්නට ලැබෙන රංග විධාන ආදියෙන් ද භාරතයේ පැරණි නාට්‍ය සම්ප්‍රදාය නාට්‍ය ධර්මි වූ බව නිගමනය කළ හැකිය. ප්‍රධාන ප්‍රවාහය මෙසේ වුවද ඇතැම් නාට්‍ය ශෛලීන් මෙම ශෛලීන් දෙකම මිශ්‍රව භාවිතා කළ බැව් සිතීමට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017