නාට්‍ය ප්‍රභේද
 

නාට්‍ය ප්‍රභේදනයේ දී ඉතිහාසය තුළ මිනිසා විසින් ප්‍රධාන වශයෙන් උපයෝගි කරගත් ප්‍රමිතීන් දෙකකි. මෙම ප්‍රමිතීන් පදනම් කරගෙන විවිධ නාට්‍ය වර්ග බිහි වී ඇත.


01. නාට්‍යයක් රංග භූමියේ ඉදිරිපත් වන ශෛලිය හෝ ආකෘතිය හෝ අතර ඇති වෙනස්කම් මුල්කරගෙන කරන බෙදීම.
ලෝක ධර්මි හා නාට්‍ය ධර්මි යනුවෙන් හඳුන්වන්නේ මෙම බෙඳීමයි.
02. ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව, එනම් නාට්‍ය නැරඹීමෙන් ප්‍රේක්ෂකයා තුළ ඇතිවන හැඟීම් අනුව, ශෝකාන්ත, සුඛාන්ත, ප්‍රහසන ආදී වශයෙන් මෙම බෙඳීම කරනු ලබයි.
03. ලෝක ඉතිහාසයේ එක් එක් රටවල වරින්වර සිදුවූ සමාජමය වෙනස්වීම් අනුව මෙම කිසිදු ප්‍රමිතියකට ඇතුළත් නොවන මිශ්‍ර හෝ ස්වාධීන නාට්‍ය ප්‍රභේද, උදාහරණ වශයෙන් විකාර රූපි නාට්‍ය දැක්විය හැකිය.


පළමුවෙන්ම ලෝක ධර්මි හා නාට්‍ය ධර්මි යන වචන වර්ග පිළිබඳව විමසා බලමු. නාට්‍යකරුවා අපට පවසන්නේ කිසියම් කතන්දරයක් යැයි උපකල්පනය කරමු. එම කතාව ඉදිරිපත් කරන ආකාරය ස්වභාවිකත්වයට සමීප වන ප්‍රමාණයත්, ඉන් ඈත්වන ප්‍රමාණයත් අනුව ලෝක ධර්මි, නාට්‍ය ධර්මි යන වර්ග තීරණය වෙයි. ස්වභාවිකත්වයට ඉතාම සමීප වර්ගය ලෝක ධර්මි වශයෙන් ද, ස්වභාවිකත්වයෙන් ඉතා ඈත්වන වර්ගය නාට්‍ය ධර්මි වශයෙන් ද දළ වශයෙන් හැඳින්විය හැකිය.


මෑත කාලයේ "තාත්වික" යන වචනය ලෝක ධර්මි නාට්‍යවලට ද, "ශෛලිගත" යන වචනය නාට්‍ය ධර්මි යන වර්ගයට ද යොදාගෙන ඇති බව පෙනේ. එහෙත් ඕනෑම කලා කෘතියක් එක්තරා ප්‍රමාණයකට "තාත්වික" වන බැවින් ද, එක්තරා ප්‍රමාණයකට "ශෛලිගත" වන බැවින්ද භරත මුනිවරයා විසින් ප්‍රකාශිත ලෝක ධර්මි, නාට්‍ය ධර්මි යන වචන දෙක නාට්‍ය වර්ගීකරණයේ ද වඩා යෝග්‍ය වේ.



 


ලෝක ධර්මි නාට්‍ය


රංග භූමියේ, රඟපාන චරිත ස්වභාවික ස්ථානයක හැසිරෙන පුද්ගලයන් ලෙසත්, එහි සිදුවන සිද්ධීන් සියල්ලම ස්වභාවික ලෙසත් ප්‍රේක්ෂකයාට දැක්වීමට, ඒත්තු ගැන්වීමට ලෝක ධර්මී නාට්‍යකරුවා වෙහෙසෙයි. නාට්‍යකරුවාගේ මේ අරමුණ නිසාම ඔහු ප්‍රේක්ෂකයා ඉදිරියේ මැවීමට තැත් කරන්නේ මායාවකි. ඇස්බැන්දුමකි. විචාරකයින් මෙයට "තාත්විකත්වයේ මායාව" යන වචනය යොදා ඇත. ප්‍රේක්ෂකයා නාට්‍ය නරඹන පැය හෝ දෙපැය හෝ තුළ මේ "මායාව" තුළට සමවැදිය යුතුය. නොඑසේනම් ඔහු ඒ නාට්‍ය රස විඳීමට අසමත් වන්නේය.

ලෝක ධර්මි නාට්‍යයක් නැරඹීමට ප්‍රේක්ෂකාගාරය තුළ අසුන් ගන්නා වූ තැනැත්තා නාට්‍යය රඟ දැක්වෙන සම්පූර්ණ කාලය තුළම තමා ඉදිරියේ ඇති බිත්ති තුනකින් වට වූ රංග භූමිය මත සිදුවන සියලු දෑ සැබෑයයි විශ්වාස කළ යුතුය. එම රංග භූමිය යනු නිශ්චිත ස්ථානයක් බව ප්‍රේක්ෂකයා ඇදහිය යුතුය.

නාට්‍යකරුවා සිය නාට්‍යය සඳහා රංග භූමිය ගෙදරක්, පැලක්, කාමරයක්, නගරයක්, වීථියක් හෝ තමන්ට අභිමත ස්ථීර ස්ථානයක් හෝ බවට පත් කරයි. ඒ සඳහා රංග භූමිය හැකි තරම් ස්වභාවික ලෙසට සරසයි. ප්‍රේක්ෂකයා ඒ මොහොතේ සිට මේ සිදුවෙන සියල්ල සම්පූර්ණයෙන් පිළිගත යුත්තේ සැබෑ ලෝකයක සිදුවන සිදුවීමක් ලෙසටය. මෝහොතකට හෝ විශ්වාසය බිඳ වැටුණහොත් රස විඳීමට එය බාධාවකි. මායාව බිඳීමට ඉඩ තැබීම නාට්‍යයේ දුර්වලකමකි.


ලෝක ධර්මි නාට්‍ය වර්ගය ප්‍රචලිත වූයේ 10 වැනි සියවස අගභාගයේ සිටය. යුරෝපයේ ඇතිවුණු මෙම නාට්‍ය ව්‍යාපාරය අද ආසියාතික රටවල පවා පැතිර පවතී. ස්වාභිකත්වය, නාට්‍ය ප්‍රභේදයක ලක්ෂණයක් නොව ඕනෑම නාට්‍යයක අනිවාර්ය ලක්ෂණයක් බව එමිල් සෝලා වැනි නාට්‍ය රචකයින් දක්වයි. ඇතැම් අවස්ථාවල දී මෙම ස්වභාවික වාදය අන්තයටම ගෙන යමින් රංග භූමියේ මස්කඩයක් නිරූපණය කිරීමට මස් කඩයෙන් ස්වභාවික මස් කැබැල්ලක් ගෙන ඒමට තරම් ඇතැම් නාට්‍යකරුවෝ උත්සුක වූ බව වාර්තා වේ. මෙම තත්ත්වයෙන් මිදී ස්වභාවික වාදයට නව පණක් දෙමින් එය ගොඩගත්තේ හෙන්රික් ඉබ්සන්, ඇන්ටන් චෙකොෆ් වැනි නාට්‍යකරුවන්ය. ඔවුන් අන්තවාදී නොවී නාට්‍ය රසය ද රැකගත් ලෝක ධර්මී නාට්‍ය නිෂ්පාදනය කිරීමට සමත් විය. එහි හොඳම ප්‍රතිඵලය ලෙස ඉබ්සන්ගේ "ඩෝල්ස් හවුස්" (සෙල්ලම් ගෙය) හා ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි ඔර්වර්ඩ් නාට්‍ය ද්විත්වය දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017