අභිනය
 

"අභිනය" යන වචනය සංස්කෘත වචනයකි. එය සකස් වී ඇත්තේ "අභි" යන අව්‍ය පදය ගෙන යාම යන අර්ථය දෙන "නි" යන මූලය හා එක්වීමෙනි. ඒ අනුව "ඉදිරියට ගෙන යන" අර්ථය මින් ගම්‍ය වේ. මෙය අදහසක් ඉදිරිපත් කිරීම යනුවෙන් ද, ප්‍රේක්ෂකයා වෙතට රසය ගෙන යාම යනුවෙන් ද අර්ථකථනය කළ හැක.


මිනිසා සන්නිවේදනයෙහි යෙදෙන්නට වූ දා පටන් අභිනය ප්‍රකාශිත මාධ්‍යක් වශයෙන් පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. ඒ පිළිබඳ ශාස්ත්‍රීය නිර්වචනයක් හා විග්‍රහයක් පළමුවරට කරන ලද්දේ ක්‍රි.පූ. තුන්වන සියවසේ විසූ යැයි සැලකෙන භරතමුනි විසිනි. ඔහු අභින හතරක් දක්වා තිබේ.


1. ආංගික අභිනය
2. වාචික අභිනය
3. සාත්වික අභිනය
4. ආහාර්ය අභිනය


* ශරීරයේ විවිධ අංගයන් ප්‍රකාශනය සඳහා යොදා ගැනීම ආංගික සභිනයයි.
* වාචික අභිනය යනු වචන මාර්ගයෙන් පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමයි.
* සාත්වික අභිනය යනු උපාංගයක් මාර්ගයෙන් හැඟීම් හා අදහස් ප්‍රකාශ කිරීමයි.
* ආහාර්ය අභිනය වූ කලී ආංගිකාභිනයට යොදා ගන්නා ශරීරාංවලට අයත් නොවන, රංග භූමියට පිටස්තරව ගෙන එන ප්‍රකාශන මාධ්‍යයන්ය. උදාහරණ ලෙස අංග රචනය හා වස්ත්‍රාභරණ දැක්විය හැක.


භරතමුනිගේ අදහස් අනුව ආංගික අභිනය,

1. අංග
2. ප්‍රත්‍යාංග
3. උපාංග


යනුවෙන් කොටස් තුනකට බෙදේ. අංග කොටස් හයකින් යුක්තය. ඒවානම්,

1. හිස
2. අත්
3. පපුව
4. දෙපාර්ශවයන්
5. කටිය (ඉණ)
6. පාද

 

ප්‍රත්‍යාංග කොටස් හයකි. ඒවා නම්,

1. උරහිස් පතු
2. බාහු
3. පිට
4. උදරය
5. කලවා
6. කෙණ්ඩා


පසු කාලයේදී මෙම අංග හයට තවත් හතරක් එකතු වී ඇත. ඒවා නම්,


* මැණික්කටුව
* දණහිස
* වැලමිට
* බෙල්ල


උපාංග යනු


01. උරය - උරතලය
02. ඇස
03. ඇස් බොලය
04. කම්මුල්
05. නිකට
06. මුහුණ
07. හක්ක
08. තොල්
09. දත්
10. දිව
11. නාසය


නර්තනයේ දී හා නාට්‍යයේ දී ඉහත කී අංග, ප්‍රත්‍යාංග හා උපාංග යන අංග තුන භාවිතා කළ යුතුය. අංගයන් ක්‍රියාත්මක වන විට ඊට අයත් ප්‍රත්‍යාංග හා උපාංග ද චලනය වන බව දක්වා තිබේ.


ගසක් නිරූපණය කිරීමට අවශ්‍ය වූ විට නළුවාගේ ශරීරය හා අත්පා ගසක් මෙන් හැසිරවිය යුතුය. ඒ සඳහා ඔහු යොදා ගනු ලබන්නේ ආංගික අභිනයයි. මෙහි "එන්න" යන විධානය වචනයෙන් කීම වෙනුවට අත වැනීමෙන් ප්‍රකාශ කළ හැකිය. එයද ආංශිකාභිනයට උදාහරණයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017