රූපණය
 

රූප ඉදිරියට ගෙන ඒම හෙවත් පුළුල් අර්ථයෙන් චරිත රඟපෑම රූපණය නම් වේ. නාට්‍ය රචකයාගේ කතන්දරය ප්‍රේක්ෂකයන් දක්න්නේ නළු නිළියන් මඟිනි. රූපණය සම්බන්ධව විශ්ව නාට්‍යකරුවන් විවිධ මත පළකර ඇත. ස්ටැනිස්ලැව්ස්කි රූපණය සම්බන්ධව ඉදිරිපත් කළ කරුණු මෙහිදී වඩා වැදගත්ය. ඔහුගේ මතය අනුව රූපණය කොටස් හතරකට බෙදේ.


01. අංග චලන (සංචලන) - Movement
02. ස්වරය - Voice
03. කථනය - Speech
04. සමාරෝපය - Impersonation


රූපණය යනු කිසියම් චරිතයක් පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ ඇති කෙරෙන විශ්වාසය වශයෙන් ද සැලකිය හැකිය. නමුත් රූපණය මෙවැනි සරල ප්‍රකාශයකින්ම පැහැදිලි කළ හැක්කක් නොවේ. එය එසේ වන්නේ තමා රඟපාන චරිතය පිළිබඳ නළුවා තුළ ඇති හැඟීම්, ඔහු හා ප්‍රේක්ෂකයා අතර ඇතිවන සම්බන්ධතාව, ශරීරය, හඬ, සිත හා හැඟීම් වශයෙන් නළුවා සවිඥානකව කරන පාලනය, එක් නළුවකු කටයුතු කළ යුත්තේ තවත් නළුවකු සමග වීම, ඔහු නාට්‍ය දර්ශනයේම කොටසක් වීම, ඔහු සඳහා ලියා ඇති දෙබස් උච්චාරණය කිරීම හා මතක තබා ගැනීම නිරන්තර පුහුණුවීම් ආදි කරණු කෙරෙහි අවධානය යොමු කරන විට රූපණය යනු චරිතයක් මගින් ප්‍රේක්ෂකයා තුළ විශ්වාසයක් ඇති කරවීම යන සරල ප්‍රකාශනයට වඩා සංකීර්ණ තත්ත්වයක් රූපණය තුළ දක්නට ලැබෙන බව පැහැදිලි වේ.

රඟපෑමේ දී හෙවත් රූපණයේ දී නළුවා කරන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට ස්ටැනිස්ලැව්ස්කි විසින් "රූපණ විධි ක්‍රමය" (Method Acting) හඳුන්වා දී තිබේ. මූලික වශයෙන් රූපණ විධි ක්‍රමය යනුවෙන් ඔහු අදහස් කළේ "නාට්‍යයක කිසියම් භූමිකාවක් හොඳින් රූපණය කිරීමට නම් එහි සෑම අංගයක්ම, සෑම අංශු මාත්‍රයක්ම ඔබේ කොට ගත යුතු බවය. ඔබ මෙම තත්ත්වය සාක්ෂාත් කර ගත් විට හැම ක්‍රියාවක්ම ඔබ සිදු කරන්නේ එක්තරා ආකාරයකට මෙන්ම සිද්ධියට ගැළපෙන ආකාරයට බව ඔබට පෙනෙනු ඇත." යන්නයි.


ස්ටැනිස්ලැව්ස්කි ඉදිරිපත් කළ රූපණ ක්‍රමය පිළිබඳ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් වන්නේ නළුවකු භූමිකාවට එළඹිය යුත්තේ වඩා විෂය බද්ධ දෘෂ්ටි කෝණයකින් යන්නයි. එමෙන්ම මෙම මතය ඉදිරිපත් කරන අය රූපණය කලාවක් මෙන්ම ශිල්පයක් ලෙසද දකියි. රූපණයේ දී නළුවා බැහැරින් පටන් ගෙන අභ්‍යන්තරයට පිවිසිය යුතු යැයි ඔවුහු සිතති. මෙම ක්‍රමයට අනුව නළුවා තම රූපණය කරන්න යන භූමිකාව ගැන පරික්ෂාවකින් පසුව එම භූමිකාවෙන් නිරූපණය කෙරෙන පුද්ගලයා, ඔහුගේ ගති පැවතුම් හා ආචාර විචාර පිළිබඳ සවිඥානකව එම චරිතය සිතන්නේ යැයි අදහස් කරන ආකාරයට රූපණය ඉදිරිපත් කරයි. මෙහිදී ඔවුන් අනුගමනය කරන ක්‍රමය, මනෝ විද්‍යාව පිළිබඳ ජේමිස් ලැන්ග්ගේ පැරණි සිද්ධාන්තය අනුකරණය කරන්නක් ලෙස සමහරු සලකති. ජේමිස් ලැන්ග්ට අනුව හැඟීම් ඇති වන්නේ ක්‍රියා පදනම් කරගෙනයි. නිදසුනක් ලෙස දිවීම නිසාය අප තුළ බියක් ඇති වන්නේ. වේගයෙන් හා මහ හඬින් දෙඬීම නිසාය අප කෝපයට පත් වන්නේ ආදී වශයෙනි.


ස්ටැනිස්ලැව්ස්කිගේ රූපණ විධි ක්‍රමයට අදාළ මූලික සිද්ධාන්ත හා අදහස්, කරුණු වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය.


1. නළුවකු බිහිවන්නේ ස්වකීය අභ්‍යන්තර ශක්තිය ප්‍රබලව වර්ධනය කර ගනිමින් නිර්මාණාත්මක ප්‍රකාශනයක් සොයා යාමෙන්ය.
2. යම් යම් හැඟීම් ප්‍රකාශ කළ යුතු ආකාරය මෙසේ යැයි නිශ්චිතව ඉගැන්විය නොහැකිය. ඉන් සිදුවන්නේ රඟපෑමේ අච්චු නිෂ්පාදනය කිරීමකි. නළුවා කළ යුත්තේ අධ්‍යාපනය හා අභ්‍යාස මගින් තම කොටස තුළ ජීවත් කරවීමට අවශ්‍ය මිනිස් ශක්තිය, බුද්ධිය හා පරිකල්පනය පුබුදුවාලීමය.
3. නළුවකු හෝ නිළියෙකු අනිවාර්යෙන්ම රංගනය පිළිබඳ අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරිය යුතුය. එනම් නළුකමට අදාළ මූලධර්ම හොඳින් හැදෑරීම බලාපොරොත්තු වේ.
4. නළුවෙකු වීමට ප්‍රතිභාව (Telent) හා නිර්මාණවේශය (Inspiration) පමණක් ප්‍රමාණවත් යැයි යන මතය මිත්‍යාවකි. ප්‍රතිභාව හා ආවේශය මගින් ඉටුවන්නේ 1/10 කාර්යයකි. නළුවාගේ කාර්යයන් ඉතිරි 9/10 ම අභ්‍යන්තරිකව එනම් හැඟීම් හා අන්තර් ඥානයෙන් නළුවාම ගොඩනඟා ගත යුතුය.
5. වෙනත් අයෙකු ලෙස වෙස්වලාගෙන හුදු අනුකරණයක යෙදීම (Impersonation) පූර්ණ නළුකම නොවේ. එනිසාම "මම අසවලාගේ චරිතය රඟමි" යන්න නවතා මම රඟපාන්නේ අසවල් චරිතය නම් එම චරිතය සතු සත්‍ය හැඟීම් හා නිවැරදි ශාරීරික චර්යාවන් කවරේද යන්න ගවේශණය කිරීමට පටන් ගන්නා තැන සිට නළුකම උපදී.
6. නළුවෙකු කැපවීමෙන් යුතුව අභ්‍යාසයේ නිරත විය යුතු අතර මතුවන ගැටලු අධ්‍යයනය කළ යුතුය.
7. පුහුණු වීම්වලට සහභාගි වන කාලය තුළ ද නළුවා අදියරෙන් අදියර තම අධ්‍යාත්මය ප්‍රතිනිර්මාණය කර ගන්නා බව පසක් කර ගත යුතුය. පුහුණු වීම්වලට සහභාගි වන විට නළුවා තුළ පවිත්‍ර උපශාන්ත බවක් මතු වන්නේ නම් ඔහු තම නිර්මාණශීලි ගවේශණය අරඹා ඇති බවට එය සාධකයකි.




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නළුවෙකු චරිතයක් නිරූපණය කරමින් ඉටු කරන කාර්යය, භූමිකාව (Role) නමින් හැඳින්වේ. භූමිකාව සාර්ථකව නිරූපණය කිරීම සඳහා,

* අවබෝධය
* සන්නිවේදනය
* චිත්ත ඒකාග්‍රතාව
* පරිකල්පනය
* සහසම්බන්ධතාව
* අනුකරණය
* ස්මරණය
* ක්‍ෂණික නිරූපණය
* අනුවර්තනය

 

යන අංග වැදගත් වේ යැයි ස්ටැනිස්ලැව්ස්කි පෙන්වා දී තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017