නෘත්ත, නෘත්‍ය, නාට්‍ය
 

මෙම වචන ත්‍රිත්වය අපට වැදගත් වන්නේ නාට්‍ය හා රංග කලාවේ ශිල්පීය පාඨවල හා මූලික සංකල්ප පිළිබඳ පැහැදිලි කර ගැනීම් යටතේය. නෘත්ත, නෘත්‍ය, නාට්‍ය යන වචන බැලූ බැල්මට එතරම් වෙනස් ඇති බවක් නොපෙනේ. ක්‍රි.ව. තුන්වෙනි සියවසේ දී පමණ රචිත නාට්‍ය කලාවේ මූල ග්‍රන්ථයක් සේ සැලකෙන භරතමුනිවරයාගේ "නාට්‍ය ශාස්ත්‍රය" හි මෙම තෙවැදැරුම් "රැඟුම් විශේෂ" ගැන මනාව විග්‍රහ කර තිබේ. "නෘත්, හෝ තට්" යන මූලධාතුවෙන් මෙම පද තුනම බිහි වී ඇතත් ඒවායේ අර්ථය එකින් එකට වෙනස්ය.


"නෘත්ත" යනු කුමක්දැයි නාට්‍ය ශාස්ත්‍රයෙහි මෙසේ සඳහන් වේ.


"ගාත්‍ර වික්ෂේප මාත්‍රං තු
කර්වාහිනය චර්පිතම්
අංගි කොත්ත ප්‍රකාරෙන
නෘත්තං නෘත්ත විදෝ විදු"

 

මෙහි අදහස වන්නේ නෘත්ත යන්න සරල නැටුමයි. එනම් රිද්මයානුකූලව කෙරෙන ගාත්‍ර වික්ෂේප මාත්‍රය හෙවත් අංග චලනයයි. අංග චලනය හැර කතාව කියා පෑමක් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් මෙහිදී සිදු නොවේ. නළුවා හෝ නිළිය ස්වකීය ශාත්‍ර වික්ෂේපය හෙවත් අංග චලනය සිදු කරනු ලබන්නේ පසු බිමෙන් තමන්ට ඇසෙන වාද්‍ය භාණ්ඩවල තාල හඬ අනුවය. මෙහිදී සර්වාහිනිය වර්ජිතම් යනුවෙන් සඳහන් වන බැවින් මෙම නෘත්ත අවස්ථාව සියලු අභිනයන්ගෙන් තොර වූ අවස්ථාවක් ලෙස සැලකේ. මෙයට උදාහරණයක් වශයෙන් ලී කෙලි නැටුම් දැක්විය හැකිය.

නෘත්‍ය යන්න එම ග්‍රන්ථයේ සඳහන් වී ඇත්තේ මෙසේය.


"ආංගිකාහිත යෛරෛව
භාවනේච ව්‍යතක්තියන්
තන් නෘත්‍යං මාර්ග ශබ්දේන
ප්‍රසිද්ධං නෘත්‍ය වේදිනාම්"


ආංගිකාභිනය මාර්ගයෙන් කිසියම් භාවයක් ප්‍රකාශ කිරීම, නෘත්‍ය වශයෙන් හැඳින්වේ. මෙයට ගායනය, වාදනය, නැටීම යන ත්‍රිවිධ අංග එක්වේ, මෙහිදී,


"ආංගිකාභින යෛරෛව
භාවානේව ව්‍යතක්තියන්"

යනුවෙන් සඳහන් වන්නේ ආංගිකාභිනය සමග භාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් පසුබිම් ගායනයට හා වාදනයට අනුව නළුවන් වේදිකාවෙහි ගායනා කරමින් රංගනයක් රඟ දැක්වීමයි. භාරතීය නර්තන ශිල්පිනියකගේ නර්තන චලන හා අංගාකාර මතක් කර බලන්න. අංගහාරවලින් වඩා රිද්මයානුකූලව අඟපසඟ සැලෙන අතර, අභිනය මගින් ගැඹුරු මනෝ භාව ප්‍රකාශ කිරීමට ඇසත්, මුහුණත් මනාව යොදා ගැනේ. පහත රට සූනියම් යාගයේ වඩිග පටුන, කෝලම්, භරත නැටුම්, මනිපුරි වැනි නර්තන අංග නෘත්‍ය කොටසට උදාහරණ ලෙස දැක්විය හැකිය.

නෘත්ත හා නෘත්‍ය ලක්ෂණ වලින් නාට්‍ය වෙනස් වන්නේ කෙසේදැයි මීළඟට විමසා බලමු.


"චතුර්ධාභිනයෝ පේතං
ලක්ෂණ වෘත්තිනොබුධෛං
නර්තනං නාට්‍ය මිත්‍යුක්තං
සර්වත්‍රාභිනයෝ භවෙත්"

නාට්‍ය චතුර් විධ අභිනයෙන් යුක්ත බව කියැවේ. මෙය නර්තන විශේෂයක් නොවන්නේ මන්දැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් නර්තනය එක්තරා සම්මතයක් අනුව නිර්මාණය කරගත් චලන සමූහයක් පමණී. සාම්ප්‍රදායික ගජබා වන්නම උදාහරණයක් ලෙස ගත් විට මෙහි ක්‍රියාවලිය නිශ්චිත රාමුවක් තුළ සිදුකර තිබේ. එහිදී සිදුවන්නේ ශිල්පියා ඉගෙන ගෙන ඇති නර්තන පද කිහිපයක් නැවත නැටීමක් විනා ඇතා පිළිබඳ හෝ ඇතා හා බැඳි කිසියම් සිද්ධියක් ප්‍රකාශ කිරීමක් හෝ නිරූපණයක් සිදු නොවේ. එහෙත් නාට්‍යයක ප්‍රධාන ලක්ෂණය වන්නේ අවස්ථා හා ගැටුම් සතර අභිරූපණය මගින් දැක්වීමයි. එහි ගැඹුරු චරිත නිරූපණයක් ඇත. තවද ශිල්පීන් රාශියකගේ එකමුතුවකින් ගොඩ නැඟෙන සාමූහික කලාවකි.

සතර අභිනය මගින් නාට්‍යයක් ජීවය ලැබීමේ දී ඒ හා සම්බන්ධ සාධක, සංකල්ප හා මූලධර්ම රාශියක් ගැනද දැනගත යුතුය. නාට්‍යයක් රංගනය කෙරෙන්නේ නර්තනය තරම් සීමිත රිද්ම රටා අනුව නොවේ.


එහි චරිත නිරූපණයක දී තමන්ගේ පෞරුෂයෙන් ප්‍රයෝජන ගැනීමට නළුවාට ඉඩකඩ ලැබේ. බොහෝ විට නාට්‍යයක නළු නිළියන්ගෙන් පෝෂණයෙන් ලැබෙන බව දක්වන්නේ ද මේ නිදහස නිසාය. නාට්‍ය කලාවේ තිබෙන ගැඹුර හා සංකීර්ණ බව අවබෝධ කර ගැනීමට ඒ පිළිබඳ දක්වා ඇති නිර්වචන ප්‍රයෝජනයට ගත හැකිය.

* නාට්‍ය යනු ලෝකයේ පැවැත්ම අනුකරණය කිරීමකි (භරතමුනි)
* නාට්‍ය යනු ලෝකයේ සුඛ - දුක්ඛ යන දෙකෙන්ම යුක්ත වූ යම් ස්වභාවයක් පවතී ද එය අංග ආදී අභිනයෙන් ප්‍රකාශ කිරීමයි (භරතමුනි)
* නාට්‍ය යනු ක්‍රියාවක් අනුකරණය කිරීමයි (ඇරිස්ටෝටල්)
* නාට්‍ය, ජීවිතයේ පිටපතකි. සිරිත් විරිත් වල කැඩපතකි. (ඇල‍ඩයිස් නිකොල්)
* නාට්‍ය යනු ජීවිතයේ පැත්තකි (බර්නාඩ් ෂෝ)
* නාට්‍ය යනු සමාජයට කැඩපතක් ඇල්ලීමකි. (ෂේක්ස්පියර්)
* නාට්‍ය යනු විනෝදය සැපයීමක් පමණක් නොව ප්‍රේක්ෂකයා බුද්ධියට ගොදුරු කර ගැනීමයි. (බර්ටෝල්ට් බිරෙෂ්ටි)

චරිතය ඉදිරිපත් කරන නළුවාට හෝ නිළියට හෝ ප්‍රේක්ෂකයාට ද නාට්‍යමය අත්දැකීම් වඩා සමීප කරවන්නේ මේ අභිනයන් මගිනි. නර්තනයකින් නාට්‍ය වෙනස් වන ප්‍රධාන ලක්ෂණය ද එය වේ. "Drama" යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන වචනය "Dromenon" හෝ "Dran" (To do) යන ග්‍රීක වචනයෙන් හෝ නිරූපණය කර පෙන්වීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017