ප්‍රසාංගික කලාව (Preforming Art)
 

ගායනය, රංගනය හා චලනය පදනම් කරගෙන කෙටි නිරූපණ අවස්ථා මගින් භාව ප්‍රකාශන හා අර්ථ ප්‍රකාශන කිරීම ප්‍රසාංගික කලාව නමින් හැඳින්වේ. මෙහි දී ශිල්පියාගේ පෞරුෂය මැනවින් හසුරුවා ගනිමින් රංග භූමියක් තුළ අර්ථ ප්‍රකාශනය හා භාව ප්‍රකාශනය සිදු වේ.



 

ශාසත්‍රීය වශයෙන් හදාරණු ලබන ගායනයට, නර්තනයට ඇති විෂයානුබද්ධ සීමාවන් ඉක්මවිමින් රූපණ කාර්යයට ගායනය හා නර්තනය යොදා ගනී.

ගායන ප්‍රසංග, ගීත නාටක, ඔපෙරා නාට්‍යවල ප්‍රසාංගික ලක්ෂණ බහුලව යොදා ගැනේ. මීට අමතරව රූපවාහිනී වෙළඳ දැන්වීම් කලාව සඳහා ද යොදා ගැනේ. බොහෝ විට ශාස්ත්‍රිය බවින් මිදුණු සරල ඉදිරිපත් කිරීම් සඳහා ප්‍රසාංගික කලාව යොදා ගන්නා ආකාරය වර්තමානයේ දී දැකිය හැකිය. වර්තමාන එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාව තුළ මෙම ලක්ෂණ දක්නට ලැබේ. එළිමහන් වේදිකාව තුළ ගායකයෙක් හෝ ගායිකාවක් ගීතයක් ගායනා කරන විට එම ගීතයට ගැළපෙන ආකාරයට ගායකයා හෝ ගායිකාවම චලනය වෙමින්, නර්තනයක යෙදෙමින් මුහුණින් භාව ප්‍රකාශ කරයි.




මින් අප ගීත කලාව තුළින් බලාපොරොත්තු වූයේ අර්ථවත් ගීතය, එහි සාහිත්‍යමය අගය මතුවන පරිදි මිහිරි ලෙස ගායනා කිරීමයි. එනමුත් වර්තමානයේ ඒ සඳහා ප්‍රසාංගික බවක් එකතු වී තිබේ. මේ නිසා ගායකයා විසින් කිසියම් ඉදිරිපත් කිරීමක් නොකරන අවස්ථාවලදී ඒ සඳහා නර්තන කණ්ඩායම් යොදා ගනී. මෙම වෙනස්වීම සඳහා රූපවාහිනී මාධ්‍යය බිහි වීම වක්‍රව බලපෑ බව සිතිය හැකිය. ගුවන් විදුලි මාධ්‍යය සමඟ මුසු වී සිටි ශ්‍රාවකයා, රූපවාහිනී ප්‍රේක්ෂකයෙක් බවට පත් විය. ඉන් පසුව ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළ ගීතය රූපවාහිනියෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙස ප්‍රදර්ශනය කිරීමට සිදුවිය. ඒ නිසාම ගීතයට රූප පෙළක් අවශ්‍ය විය. සමහර ගීත සඳහා රූපවාහිනිය තුළින් යොදා ගෙන ඇති දෘෂ්‍ය කොටස් නොගැළපෙන අවස්ථා ද දක්නට ලැබේ.

 


වෙළඳ දැන්වීමක භාවිත කර ඇති මාධ්‍යයන් මොනවාදැයි මඳක් සිතා බලන්න. සංගීතය, නර්තනය, නාට්‍ය මාධ්‍යයන් ප්‍රබලව යොදා ප්‍රසාංගික ලෙස වෙළෙඳ දැන්වීම් නිර්මාණය කර ඇති අතර ඒවා ඉතා කෙටි ඉදිරිපත් කිරීම්ය.

ප්‍රසාංගික කලාව තුළ තිබෙන ප්‍රධාන අංශ තුන වන්නේ නර්තනය, සංගීතය හා නාට්‍යයයි. මේ අංශ තුනේම දායකත්වය ලබමින් ප්‍රසාංගික බව නිර්මාණය වේ. මෙහිදී නර්තන තුළින් ශාරීරික චලන හා හැඩතල යොදා ගනී. නිශ්චල දෙයකට වඩා යම් දෙයක් චලනය වන විට එහි ජීව ගුණය පවතී. එම චලනය රිද්මයානුකූල හෝ තාලානුකූල විය යුතුය. තවද ඒ මගින් අදාළ නිර්මාණයට ගැළපෙන පරිදි හැඩතල නිර්මාණය කර ගැනීමේ දී ඒකල වශයෙන් හා සමූහ වශයෙන් මිනිස් සම්පත යොදා ගැනේ. සංගීතයෙන් හඬ හා නාද රිද්ම ප්‍රසාංගික කලාවට යොදා ගැනේ. සංගීතයේ ස්වර සංයෝජනය තුළින් නොයෙකුත් සංධීවනී නිර්මාණය කර ගනී. එම සංයෝජනයන් විවිධ තාල රාමු ඔස්සේ නිර්මාණය වේ. ඒ තුළින් විවිධ හැඩ ප්‍රතිනිර්මාණය කර දක්වයි. මෙම නාද තුළින් නිර්මාණය වූ හැඩ ප්‍රසාංගික කලාවට ප්‍රබල දායකත්වයක් සපයයි. ප්‍රසාංගික ඉදිරිපත් කිරීම අප විසින් ශ්‍රව්‍ය දෘෂ්‍ය ලෙස රස විඳින විට ශ්‍රව්‍ය කොටස ප්‍රබල කරනු ලබන්නේ සංගීතය විසිනි.




නාට්‍ය කලාව තුළින් රූපණය හා රංග ශිල්ප යොදා ගනී. නාට්‍ය කලාව ප්‍රසාංගික ලක්ෂණ නාට්‍ය කලාව බිහිවූ දා සිටම පවතින්නකි. වර්තමානයේ නිෂ්පාදනය වන නොයෙකුත් වේදිකා නාට්‍ය තුළ ද ප්‍රසාංගික බව දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ජනක ප්‍රේමලාල්ගේ "රාජකපුරු" නාට්‍යයේ "සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි" ගීතය ප්‍රසාංගික ලක්ෂණවලින් යුක්තව ඉදිරිපත් කරනු ලැබේ. ගීතයේ අර්ථයට අනුව සාත්වික අභිනය, වාචික අභිනය හා ආංගික අභිනය ඉදිරිපත් කරනු ලැබේ. ගීතයේ අර්ථයට අනුව සාත්වික අභිනය, වාචික අභිනය හා ආංගික අභිනය ඉදිරිපත් කරනු ලබයි. ප්‍රසංග වේදිකාවක් මත ගායකයා විසින් කරනු ලබන්නේ මෙම කාර්යයමයි.

නාට්‍ය කලාව තුළ කතා වස්තුව, රංග ශෛලිය, තේමාව කතා වින්‍යාසය, නාට්‍යෝචිත අවස්ථා මගින් පුළුල් ලෙස අර්ථ නිරූපණය සඳහා නර්තනය හා සංගීතය යොදා ගැනේ. මේ සඳහා ජයලත් මනෝරත්න විසින් නිර්මාණය කරන ලද බොහෝමයක් නාට්‍ය උදාහරණ ලෙස දැක්විය හැකිය. "අන්දරේලා" "ගුරුතරුව" "කනේරුමල්" නාට්‍ය ත්‍රිත්වය ප්‍රසාංගික ලක්ෂණවලින් බහුලය.


නාට්‍ය කලාව තුළ ප්‍රසාංගික බව තිබීම එහි සෞන්දර්යාත්මක වටිනාකම වැඩිවන අතරම, ප්‍රේක්ෂක අවධානය රඳවා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය. ජනක් ප්‍රේමලාල්ගේ නවතම නාට්‍ය නිෂ්පාදනයක් වන "රජගහේ නාඩගම" සලකා බලන විට එහි ප්‍රබල කතා වස්තුවක් හෝ පඹල සිද්ධි ගැළපීමක් දක්නට නොමැත. එහෙත් එම නිර්මාණය තුළ ප්‍රසාංගික බව ප්‍රබල ලෙස දක්නට ලැබේ. එම නිර්මාණය ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වීමට එකම හේතුව ද එයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017