විවිධ අවස්ථාවන්හිදි නොයෙක් දෙනා කලාව පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කර තිබේ. එහෙත් කිසිම නිර්වචනයකින් නිශ්චිත විවරණයක් හෝ නිර්වචනයක් දීමට මේ වන තෙක් කිසිවෙකු සමත් වී ඇති බවක් නොපෙනේ. කලාව කුමක් ද යන්න තේරුම් ගැනීම සඳහා කලාව නොවන්නේ කුමක්දැයි දැන ගැනීම ප්‍රයෝජනවත් වේ.
ඉංග්‍රීසි භාෂාවෙන් "Art" යනුවෙන් ද,ලතින් භාෂාවෙන් "Ars" යනුවෙන් ද, ජර්මන් භාෂාවෙන් "Kunst" යනුවෙන් ද කලාව හඳුන්වයි. භාෂා තුනම සැලකිල්ලට ගෙන බලන විට මෙම වචන තුනෙන් ලැබෙන මූලික අර්ථය "කුසලතාවය" යන්නයි. මේ නිසා යම් කාර්යයක කුසලතාවක් ලබන්නා ශිල්පියෙකු නැතහොත් කලාකරුවෙකු ලෙස හඳුන්වනු ලැබේ.
කලා (Arts) සහ ශිල්ප (Crafts) වශයෙන් කෙරෙන වර්ගීකරණය මුලින්ම පැහැදිලි කර ගැනීම අවශ්‍ය වේ.
යුද්ධයේදී කරන්නා වූ කඩු ශිල්ප, දුනු ශිල්ප, වඩුවා විසින් කරන්නා වූ වඩු ශිල්ප ආදිය නම් කරනු ලබන්නේ ශිල්ප වශයෙනි. ආත්මීය වශයෙන් මිනිස් සිත සමඟ සම්බන්ධ වන චිත්‍ර, මූර්ති, කාව්‍ය, සංගීත, නාට්‍ය ආදී භාව ප්‍රකාශනමය හෙවත් ආත්මීය වටිනාකමක් ඇති දේ කලා වශයෙන් වෙන්කර ගත හැකි වේ. එබඳු ආත්මීය වටිනාකමක් නැත්තා වූ මිනිස් ක්‍රියා සියල්ල ඒ අනුව ශිල්ප ලෙස හඳුනා ගත හැකි වෙයි.
මේ අනුව අපගේ පාරිභෝගික භාණ්ඩ හා ගොඩනැඟිලි ආදිය අලංකාර කිරීමේ දී බොහෝ විට යොදා ගෙන ඇති අලංකරණ බහුල මෝස්තර, ලියවැල්, මල්වැල් ආදිය ශිල්ප ලෙස සැලකීම සුදුසු වේ. උදාහරණයක් ලෙස වඩු කර්මාන්තයෙහි යෙදෙන අයෙකු අල්මාරියක් සෑදීමේ දී එයට කැටයම් යොදා ගැනේ. හුදෙක් එය යොදනු ලබන්නේ රස විඳීමට නොව එම අල්මාරියේ අලංකාරය සඳහාය.
එසේ වුවද අප කලාවන් ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කිරීමෙහි හෙවත් ඒවා අධ්‍යයනය කිරීමෙහි යෙදෙන අවස්ථාවේ දී එම කලාවන් වුව ද චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, නාට්‍ය ශිල්පය ආදි වශයෙන් ශිල්ප ලෙස හඳුන්වනු ලැබේ. වෙස් මුහුණු කැපීම ශිල්පයක් වන්නේ කෙසේද? යන්න මඳක් විමසා බලන්න. වෙස් මුහුණ පළමුවෙන්ම නිර්මාණය කරන තැනැත්තා නිර්මාණකරු වන්නේය.
එහෙත් ඉන්පසු ඊළඟ වෙස් මුහුණ කපන්නා කරනු ලබන්නේ නිර්මාණය වී ඇති වෙස් මුහුණ ආදර්ශයට ගෙන වෙස් මුහුණ කැපීමයි. එහිදී දෙවෙනි වෙස් මුහුණ කපන්නාට අවශ්‍ය වන්නේ නියනේ, අතකොළුවේ හුරුවයි. මෙවන් නිර්මාණ, ශිල්ප ලෙස හැඳින්විය හැකිය.
කලාව
1. කලාව වශයෙන් අප හඳුන්වනු ලබන්නේ අපූර්වත්වයෙන් යුක්ත රසිකයා පිනවන සෞන්දර්යාත්මක නිර්මාණයකි.
2. කලාව මිනිසා විසින්ම නිර්මාණය කරන ලද්දකි.
3. කලාකරුවා නාද, වර්ණ, වචන, රේඛා, රිද්ම, අභිනය ආදිය මගින් තම වින්දනය විවිධ හැඩයෙන් ප්‍රකාශ කරයි.
4. ගද්‍ය, පද්‍ය, චිත්‍ර, නර්තන, සංගීත, කැටයම්, මූර්ති, නාට්‍ය වැනි කලා මාධ්‍යයන් තුළින් නිර්මාණකරුවෝ නිර්මාණ එළි දක්වති.
මේවා නිර්මිත කලාවන්ය.
5. සොබාදහම තුළද කලාත්මක ලක්ෂණ පිහිටා තිබේ. ගංඟා, ඇළ, දොළ, කඳු, ගස්වැල්, මල් හා විවිධ සතුන් තුළ කලාත්මක
ලක්ෂණ පිහිටා තිබේ.
කලාව හා විද්‍යාව
1. කලාව නිර්මාණාත්මක චින්තනයෙන් බිහි වී ඇති අතර විද්‍යාව දැනුම හා බුද්ධියට ගෝචර වූවකි.
2. භෞතික හා ජීව විද්‍යාත්මක කරුණු සම්බන්ධව සංවිධානය කළ බුද්ධි ප්‍රමාණයන් මගින් පොදු නිගමනවලට එළඹීම විද්‍යාවේ
ස්වභාවයයි.
3. සෑම ඵලයකටම හේතුවක් ඇති බව හා සෑම හේතුවක්ම ඵලයකට මග සලසන බව විද්‍යාවේ නිගමනයයි.
4. විද්‍යාවේ පරමාර්ථය ඉන්ද්‍රීය ගෝචර පරීක්ෂණ හා දත්ත නිර්මාණය මගින් බුද්ධියෙන් විශ්වය දැකීමයි.
කලාව හා ශිල්ප
1. කලාව නිර්මාණාත්මකය, එහෙත් ශිල්පය පුරුදු පුහුණු කළ යුතු අංශයකි.
2. ශිල්පයට යෝග්‍ය වූ මූලද්‍රව්‍ය හා රටාවන් උපයෝගි කරගෙන ලබාගත් පරිචය හා හසුරු කෞෂල්‍යය මුල්කර ගෙන නිර්මාණය බිහි
වෙයි.
ලලිත කලා
1. ලාලිත්‍යයක් උපදවන කලා, ලලිත කලා නම් වේ.
2. ද්‍රව්‍යමය ප්‍රයෝජනයකට වඩා නිර්මාණාත්මක වූද, සෞන්දර්යාත්මක වූද, පාරිභාරික කලාවන්ගෙන් වෙන් වූ සංගීත, චිත්‍ර, නර්තන,
නාට්‍ය ආදී සියුම් කලාවන් ලලිත කලාවට අයත් වේ.
ගැමි කලා
1. ගැමි සමාජයේ ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් පදනම් කරගෙන බිහි වූ කලා ගැමි කලා වේ.
2. ජන කවි, ජන ගී, ජන නැටුම්, ජන නාට්‍ය, මෝස්තර රටා, තුර්ය භාණ්ඩ, වෙස් මුහුණු, බලි, කැටයම්, සිතුවම් ආදිය ගැමි කලාවට
අයත් වේ.
3. සරල බව, ආවේණික ලක්ෂණ තිබීම, විවිධ සරල රටා හා මෝස්තරවලින් යුක්ත වීම, එකම රටාව නැවත නැවත යොදා ගැනීම,
පොදුවේ රස විඳීමේ හැකියාව ගැමි කලාවන්ගේ ලක්ෂණ කිහිපයකි.