මැය වයස්ගත ස්ත්‍රියකි. එහෙත් සිතින් මනමාල ගති ඇත්තියකි. වැහැරුණු සිරුරකින් හෙබි මැගේ ලිහිල් හැට්ටයට යමින් පියොවුරු එල්ලා හැලේ. මැය අණබෙරකරුගේ බිරිය බව කියැවේ. එහෙත් මිරිස්ස උඩුපිල කෝලම් පිටපතේ වෙන ම විස්තර වන කෝලම් චරිතයකි. කැලවේ කෝලම් පිටපතේ නොංචි ගැන සඳහන් නොවේ.
නොංචි කෝලම සඳහා බෙර පද
පැමිණෙන බෙර පදය :
ගුගුඳ ගුගුඳ දැහිං ගත ගත////
පදය : දොතං ගතන් දොංත ගත ගතත්
දිකුද ගතත් දිකුද ගත ගතත්
රොගත ගතත් රෙගත ගත ගතත්
ගදිත ගතත් ගදිත ගත ගතත්
ගුඳිත ගතත් ගුඳිත ගත ගතත්
යන පදය :
1. දොං ගුඳ ගුන්දත් ගති ගති ////
2. දොං රුඳ ගති ////
3. ගුඳ ගුඳ ගති ////
හේවා කෝලම මොවුහු වනාහි රජුගේ හමුදාවේ හේවායෝ වෙති. රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යුද කටයුතු කිරීම මොවුන්ට පැවරී ඇති රාජකාරිය වේ. එබැවින් මොවුහු නිතරම උඩගුකමින් පසුවෙති. හේවා කෝලම තුළින් බොහෝ විට හේවා කාර්යය හාස්‍යයට ලක් කෙරෙන්නේ ය. යුද්ධයට යනවිට කඩුව සමඟ පලිහ ද ගෙන යා යුතු ය. එහෙත් සටනට යාමේ දී පලිහ ගෙන යෑමට අමතක වූ මොවුන් රජුට ඇති සෙනෙහස නිසා ම පසු නොබා පලිහ වෙනුවට සතුරන්ගේ කඩු පහරවලට ඔවුන්ගේ මුහුණු පෑ බව කියැවේ. මොවුන්ගේ මුහුණුවල කැපුම් තුවාල සිදු වී ඇත්තේ එබැවිනි. හේවායන් බොහෝවිට අඥාන ව කටයුතු කරන බැව් මින් ගම්‍ය වෙයි. වැඩවසම් සමාජ ක්‍රමය තුළ හේවායාගේ කාර්යය ද බෙහෙවින් ප්‍රමුඛ වන්නකි. එහෙත් යුදයට ගිය කල ඔවුන්ගේ පවුල් ජීවිතය අවුල් වී යන අයුරු ද මෙයින් හෙළි කෙරේ.