ඇදේට ඇඳක්‌ම කළ යුතුය
 

'ආරේ ගති නෑරේ'
උපන් ගතිය නැති නොවන වගයි.

'ආටානාටිය කියනවා වගේ'
දිගටම කියාගෙන යෑම.

'ආච්චි මළ දවස වගේ'
විශේෂ දිනයක්‌ ගැන කීමකි.

'ඇඟිල්ලේ තරමට ඉඳමුම ගන්න ඕනෑ'
තමන්ගේ තරමට වඩා සිතා ගැනීම විපතකට මුල්විය හැකිය.

'ඇඟෙන් ඇටයක්‌ ගියා වගේ'
යම්කිසි දෙයක්‌ ඉතා අකමැත්තෙන් අනුන්ට දීම පිළිබඳව ප්‍රකාශ වේ.

'ඇදේට ඇඳක්‌ම කළ යුතුය'
නපුරුදේට නපුරු දෙයක්‌ ම කළ යුතු බව.

'ඇතුන් දළ දෙනකොට මැද තිබෙන තෝරගස්‌ දෙදරනවාලු'
බලවතුන් දෙදෙනෙකුගේ දබරයක දී අතරමැද සිටින කුඩා අය විපතට පත්වන බව හඟවයි.

'ඇතුන් යන පාරේ වටුවොත් යනවලු'
බලවතුන් කරන දේවල් කුඩා අය ද කරන විට මෙය උපහාසාත්මකව යෙදේ.

'ඇතා වැහැරුණත් කොරහේ නාවන්න බැහැ'
සැබෑ ප්‍රභුවරයෙක්‌ බලයෙන් පිරිහුණද බැහැපත් කරවිය නොහැකිය.

'ඇතුන් කුඹුර විනාශ කළාට ගෙයි තිබුණු වංගෙඩි කොටන් බැඳ තැබුවා සේ'
ගැටලුවක්‌ උදෙසා අනුවණ ප්‍රතිකර්මයක්‌ යෙදීම හැඟවීමට යෙදේ.

(c) Shilpa Sayura Foundation 2006-2017