ආතාට අටුකොස්‌ දුන්නා වාගේ
 

'අහක යන ආයුබෝවං බාර ගන්නවා'
කෙනෙක්‌ අනුන් ගැන කියන දෙයක්‌ තවත් කෙනෙකු ඒ තමන් ගැන කියූ දේකැයි වරදවා තේරුම් ගැනීම.

'අහසට ඉණිමං බඳිනවා වගෙයි'
නිෂ්ඵල ප්‍රයත්නයක්‌ හැඟවීමට යෙදේ.

'ආකාශයෙහි හඳ පෙනෙන්නා සේ'
ඉතා පැහැදිලිව හොඳින් පෙනෙන දෙයක්‌ පිළිබඳව යෙදේ.

'ආචාරියා රවටා කැත්ත හැදුවා වාගේ'
අනුන් රවටන්නට ගොස්‌ තමන් ම රැවටෙන බව පැවසීමට මෙම පිරුළ යෙදේ.

'ආතාට අටුකොස්‌ දුන්නා වාගේ'
කෙනෙකුට පලක්‌ ගත නොහැකි දෙයක්‌ තෑගි කිරීම ප්‍රකාශ වේ.

'ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගෙයි'
එකිනෙකා රවටා ගැනීමට කළ වැඩකි.

'ආදරය ඇත්තේ අත පය හයිය කාලයටලු'
ආදරයත් වාසිය අනුවම පවතී.

'ආඳ මාළු ඉරටෙන් කන්නා වාගෙයි'
තමන් පිළිකුල් කරන වැඩ වෙනත් ක්‍රමයකින් කරවා ගැනීම හැඟවීමට යෙදේ.

'ආඳාගේ පිට වගෙයි'
ස්‌ථීර ප්‍රතිපත්තියක්‌ නැත යන අදහස ගෙන දීමට යොදා ගැනේ.

'ආප්ප පනමට ඉඩම දුන්නා වගේ'
විශාල අලාභයක්‌ වු අනුවණ ගනුදෙනුවක්‌ හැඟවීමට යෙදේ.

(c) Shilpa Sayura Foundation 2006-2017