අසුපිට තැබූ පුහුලක්‌ වාගේ
 

'අහස කඩා වැටෙනවාට බයේ දිවූ හාවා වගෙයි'
කරන්නන් වාලේ කරන වැඩක්‌ ගැන කීමකි.

'අබුද්දස්‌ස කාලේ ලබුත් තිත්ත වීම'
නරක කාලෙට සිදුවන දෙයක්‌.

'අඟේ ඉඳන් කන කනවා වගෙයි'
ප්‍රයෝජන ලබා දෙන තැනැත්තා ළඟ ඉඳගෙන ඔහුටම විරුද්ධව ක්‍රියා කිරීම පිළිබඳව කියවේ.

'අඟුලෙ රහ දැනෙන්නේ පැද්ද කල්හි ගඟේයා'
යමක්‌ ගැන නියම අදවබෝධයක්‌ ලැබිය හැක්‌කේ ඒ පිළිබඳව නියම අත්දැකීමක දී පමණී.

'අකලට පලගත් ගෙඩිය වගෙයි'
බලාපොරොත්තු නොවු ලාබයක්‌, වාසියක්‌ ගැන කියවේ.

'අවුරුදු කන්න ගොස්‌ බඩගින්නේ ආවා සේ'
නිසැකව ම බලාපොරොත්තු තැබූ දෙයක්‌ කඩ වීමේදී යෙදේ.

'අශ්වයාට ඉදිරියෙන් රථය යෙදුවා වගේ'
යමක්‌ වැරදි ක්‍රමයට ආරම්භ කරන ලද බව ප්‍රකාශ වේ.

'අශ්වයාට අං ආවා වගෙයි'
අලුතින් ලැබුණ දේ නිසා වුවමනාවට වඩා උඩගු වන්නන් පිළිබඳව යෙදේ.

'අසුපිට තැබූ පුහුලක්‌ වාගේ'
යමක පැවැත්ම අස්‌ථිර බව හැඟවීම පිණිස යොදනු ලබන පිරුළකි.

'අසීරුවට හිඟුරු වැලෙත් එල්ලෙනවාලු'
හිඟුරු වැල කටු සහිත එකකි. අනතුරකදී ඉන් ගැලවීම සඳහා කවර දෙයක්‌ වුව කරන බව හැඟවීමට මෙම පිරුළ යෙදේ.

(c) Shilpa Sayura Foundation 2006-2017