පිලිප්පු සිංඤ්ඤෝගේ නාඩගම් ව්‍යාපාරය දේශීය නාට්‍ය කලාවේ ඉදිරිගමනට බලවත් පිටිවහලක් විය. ඔහුගේ නාඩගම් තුළින් දක්ෂ නළු නිළි කැලක් බිහිවූ බව පෙනී යයි. පිලිප්පු සිංඤ්ඤෝ ගෙන් පසුව ප්‍රදීප පත්‍රයේ කර්තෘවරයා වූ වී. ක්‍රිස්තියන් පෙරේරා විසාන් බ්‍රම්පෝඩ් නාටකය, ඔරිසන් නාටකය, බැලසන්න නාටකය යන නාඩගම් නිෂ්පාදනය කරන ලදී.
මෙයින් පසුව තවත් නාඩගම් කරුවෙක් බිහි විය. ඔහු මෝදර පෑලිස් අප්පුහාමිය. ඔහු විසින් "පරවුර නාඩගම, පිනිවුරා නාඩගම, මියුලින් නාඩගම සහ මිලීනා නාඩගම සම්පාදනය කරනු ලැබීය. අනතුරුව ගල්කිස්සේ හෙන්ද්‍රික් අප්පුහාමි විසින් මාරීනකා නාඩගම, රංගවල්ලී නාඩගම, තෝංචිකතා නාඩගම, කාංචිකතා නාඩගම යන නාඩගම් රචනා කොට නිෂ්පාදනය කර වේදිකා ගත කරනු ලැබීය. එයින් පසුව ජී.පීරිස් විසින් ඉයුජින් නාඩගම, ප්‍රේටියස් නාඩගම, වැලන්ටයින් නාඩගම, පැරකුම්බා නාඩගම, හරිස්චන්ද්‍ර නාටකය, රොලීනා නාඩගම, දියුණුකර නාඩගම යන නාඩගම් නිෂ්පාදනය කොට වේදිකා ගත කරනු ලැබීය.
මෙම නාඩගම් වලට අනතුරුව චාර්ලිස් ආබ්‍රේව් විසින් සෙලස්තිනා නාඩගම ද, ශාන්ත නිකුලස් මුනිඳුගේ නාඩගම යන නාඩගම් ද, එම්.ඩී. තෝමස් සිල්වා ගුරුන්නාන්සේ විසින් ලියනෝරා නාඩගම ද නිෂ්පාදනය කර වේදිකා ගත කරන ලදී.
ඉහත සඳහන් කළ නාඩගම් දෙස බලන විට බොහෝ නාඩගම් සඳහා කතෝලික ආගම් බලපෑම ලැබී ඇති බව පෙනීයයි. මෙම නාඩගම් රචනා කළ අය දෙස මෙන්ම ඒවාට තබන ලද නම් දෙස සිත් යොමු කරන විට එය මැනවින් පැහැදිලි වන්නේය. (කලාවේ වර්ධනයට හා දියුණුවට ජාතිය, ආගම, කුලය, බාධා ඇති නොකරයි)
නාඩගම් කලාව අගය කළ හැකි කලාත්මක අංගයක් ලෙස සාහිත්‍යයේ ඉදිරි ගමනට පදනම දැමීම නිසාය. ආරම්භයේ පැවති කෝළම් සොකරි නාඩගම් බොහෝ විට ලිඛිත නොවූ මුඛ පරම්පරාගත ඒවා විය. එහෙත් පසුකාලීනව බිහි වූ නාඩගම් පෙළපොත් වශයෙන් ලිඛිත සාහිත්‍යයට ඇතුළත්ව ඇත. මේ නිසා සිංහලේ නාට්‍ය සාහිත්‍යාංගයක් ලෙස සැලකිය හැකිය.
නාඩගම් රඟ දැක්වූ එළිමහන් රංග පීඨය කරලිය නමින් හැඳින්විය. එම රංග භූමිය මුලදී සඳහන් කළ පරිදිම පොළොවේ සිට අඩි කීපයක් ඉහළට පස් ගොඩ කිරීමෙන් ඉඳිකරන ලද්දකි. එයට මඳක් පිටුපසින් නළුවාගේ ඇඳුම් අඳින නේපථ්‍යාගාරය විය. රඟහලක් තුළ ප්‍රථම වරට නාඩගමක් රඟදක්වන ලද්දේ 1885 වර්ෂයේදීය. එය සේදවත්තේදීය. රඟදැක්වුණු කාංචිනා නාඩගමය. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඇම්. කරෝලිස් අප්පුහාමි විසිනි.
මෙයින් පසුව 1890 දී "කේසර සිංහයා" නාඩගම ආඳුරුප්පු වීදියේ ඉඳිකළ රඟහලකදී වේදිකා ගතකරන ලදී. එය නිෂ්පාදනය කරන ලද්දේ අලුත්ගම විජේසිංහ විසිනි.
නාඩගම්වල නළු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන තැනැත්තා හඳුන්වන්නේ පොතේගුරු ලෙසිනි. පොතේගුරුගේ කාර්ය වූයේ වරින් වර කරලියට එන නළුවන් හඳුන්වා දීමය. එසේම වේදිකාවේ රඟපා නොදක්වන කොටස් කවියෙන් හෝ ශෛලිගත සම්භාව්‍ය භාෂාවෙන් හෝ ඉදිරිපත් කිරීම ද ඔහුට බාර වූ කාර්යයක් විය. පොතේගුරුට සහායවන අත්වැල් ගායකයෝ ද වෙති. නාඩගම් රැඟුම් ආරම්භ වන්නේ පොතේගුරු විසින් ප්‍රාරම්භක ගීත ගායනයෙන් අනතුරුවය.
නාඩගමේ ආකෘතිය
පොතේගුරුගේ ප්‍රාරම්භක ගීත ගායමයෙන් පසුව පළමු නළුවා කරලියට පැමිණේ. ඔහු කෝළමා, බහුබූතයා යනුවෙන් ද හඳුන්වනු ලබයි. මොහු ප්‍රේක්ෂකයා තුළ විකට රස ජනිත කරවන පුද්ගලයා වෙයි. බහුබූතයාගෙන් පසුව සෙල්ලන්ළමා කරලියට එයි. එයින් අනතුරුව හඬ දූතයෝ කරලියට එති. එයින් පසුව රාජසභා ඇමති කරලියට එයි. රජු අසුන් ගැනීමෙන් පසුව නාඩගම් පූර්ව භාගය අවසන් වේ. එයින් පසුව නාඩගමේ දෙවන කොටස ආරම්භ වෙයි. එය නාට්‍යමය කථා වස්තුව වේ. නිදසුනක් වශයෙන් රඟ දක්වන්නේ වෙස්සන්තර නාඩගම නම් එතැන් සිට දෙවන කොටස වශයෙන් රඟ දක්වන්නේ වෙස්සන්තර කථා වස්තුවයි.
නාඩගම හා සම්බන්ධ හැම චරිතයක්ම කරලියට පිවිසෙන්නේ පොතේගුරු විසින් ඉන්නිසය හෙවත් පොතේ සින්දුවෙන් ඔවුන් හඳුන්වා දීමෙන් පසුවය. පොතේගුරු ආසනයේ පිරිසිදුව ගායනය කිරීමෙන් පසුව රජතුමා සහ පිරිවරින් වේදිකාවට පැමිණ ආසනාරූඨ වෙයි. ඉහත කී පරිදි නාට්‍ය ඇරඹෙන්නේ එතැන් සිටය.
නාඩගම් හා බැඳුණු දෙමළ ආභාෂය
නාඩගම්වලට දෙමළ ආභාෂය ලැබී ඇත. එයට හේතුව දෙමළ බසින් තිබුණු හරිශ්චන්ද්‍ර නාඩගමට අනුව සිංහල නාටක හෙවත් නාඩගම් රචනා කිරීමය. විරිදුව, ඉන්නිසය, තරගෙ තෝඩාගම, සින්දුව ආදී ගීත හා පද්‍ය කාව්‍යයන් දෙමළ ආභාෂය ලැබූ ඒවාය.
කොච්ච්ගම වඩමෝඩි , මුරිවාඩි ආදී ගායනා ශෛලීන් දෙමළ නාඩගම් ආභාෂයයි. කෝනංගි, සෙල්ලන්ළමා ආදී නළු නිළි නම් ද නාඩගම් හා බැඳී ඇත. දෙමළ ආභාෂය ලෙස හැඳීන්විය හැකිය.
නාඩගම් සංගීතය
සංගීතය කෙරෙහි දැක්වූ අවධානය නාඩගමෙහි තවත් විශේෂ අංගයක් හැටියට සැලකිය හැකිය. මෙම නාඩගම් කලාවේදී ගමන් තාල ආදිය යොදා ගන්නේ මද්දලය නම් වූ දෙමළ බෙරයට අනුවය. සින්දුවේදී කර්ණාට සංගීතයෙහිලා ගැණුනු සියලුම සංගීත භාණ්ඩ උපයෝගි කර ගන්නේය.