නාඩගම් කලාව
 

දේශීය නැටුම් ක්‍ෂේත්‍රයෙහි මූලික වර්ධනය නැටුමේ සහ ජවනිකා මගින් ඉදිරියට පැමිණි ආකාරය ඉහත සඳහන් විස්තරයන්ගෙන් පැහැදිලි කරගත හැකිය. එය එසේ වුව ද, එක දිගට ඒකීය සම්බන්ධතාවයකින් යුතු නාට්‍යාංග එහි නොවීය. එසේම එක් කතා පුවතක් ලෙස මුල සිට අග දක්වා වූ විකාශය වූ චරිතාංග ඇති නාට්‍ය විශේෂය ලෙස හඳුන්වා දියහැකි වන්නේ "සිංහල නාඩගම් කලාවය" ගම්බද නාඩගම්වල අංග සම්පූර්ණ රංග ශෛලියන් ඇති බව ආචාර්ය සරත්චන්ද්‍රයෝ පවසති.


සිංහල නාඩගම් කලාව


යට සඳහන් කරන ලද සමස්ථ විස්තරය අනුව මහා වංශයෙහි ද සඳහන් පරිදි මේ රටේ දේශීය නැටුම් කලාවක් ආ බව පැහැදිලිව පෙනීයයි. ඕනෑම සමාජයක මානව ශිෂ්ටාචාරය දියුණුවට පත්වෙමින් ඉදිරියට යාමේ දී එම සමාජයේ මුල් අවස්ථාවේදී පැවැති සංස්කෘතිකාංග වෙනස් වෙමින් දියුණු වෙමින් ඉදිරියටම ගමන් කරයි. අනුරාධපුර යුගයේ අවසානය දක්වා අපේ සංස්කෘතියේ කලාත්මක පද්ධතීන් සංවර්ධය වෙමින් ස්වාධීනව වැඩී ආවේය. එහෙත් බටහිර ආක්‍රමණ ඇතිවන්නට පටන්ගත් තැන සිට දියුණු වෙමින් ඉදිරියටත් අපේ සංස්කෘතියේ එම ලක්ෂණ ක්‍රමයෙන් පිරිහෙන්නට විය. එහෙත් අපට ආවේණික අපේම නැටුම් හා නාඩගම් සම්ප්‍රදායක් අපේ සමාජයේ ගොඩනැංවෙමින් ඉදිරියට පැමිණියේය. යම් යම් බාහිර සම්ප්‍රදායන්ගේ එක්වීම සිදු වූවත් අපට ස්වතන්ත්‍ර වූ දේශීය නැටුම් හා කාව්‍ය ක්‍රමයක් අප සතුවන බව අප හැමවිටම කල්පනා කළ යුතුය. ආරම්භයේ දී සඳහන් කරන ලද විස්තරවලින් දේශීය නැටුම් ක්‍ෂේත්‍රයේ පැවති තත්වය මැනවින් අවබෝධ කළ හැකිය.

දකුණු ඉන්දියානු ආභාෂය


සිංහල නාඩගම් සම්ප්‍රදාය (කලාව) දකුණු ඉන්දියාවෙන් ලැබුණු ආභාෂයක් ලෙස ඇතැම්හු සලකති. හැම දෙයක්ම පරගැති භාවයෙන් සලකන පිරිස කිසි විටෙකත් දේශීය අනන්‍යතාවය තහවුරු කිරීමෙහිලා අවධානය යොමු නොකරති. එයට මූලික හේතුව වන්නේ දේශීයත්වයෙන් තොර විදේශීය ගැති භාවයට ප්‍රමුඛස්ථානය දීමය. මේ රටේ හැම ක්‍ෂේත්‍රයකම තත්වය එසේ වීමේ දී කලා ක්‍ෂේත්‍රය එයින් මුදවා ගැනීමට අවස්ථාව නොලැබේ.

සිංහල නාඩගම් සම්ප්‍රදාය කෙරෙහි අවධානය යොමු කරන විට එහි ප්‍රභවය සහ වර්ධනයේ දී විදේශීය නාට්‍ය ශෛලීන්ගේ ආභාෂය නොලැබුණේ යයි නොකිය හැකිය. එහෙත් සිංහල දේශීය නාට්‍ය කලාව පිළිබඳව විමසීමකදී අනුරාධපුර සමයේ සිට එහි ක්‍රමික වර්ධනයක් ඇතිවී තිබුණු බව මහා වංශාගත තොරතුරුවලින් ද දීප වංශයෙන් ද පැහැදිලි වෙයි.

එසේම දේශීය නාඩගම් සම්ප්‍රදාය අවුරුදු දෙසීයක පමණ කාලයක සිට ප්‍රවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කළේය. එය සිංහල දේශීය පරිසරයේදී සෙසු සියලුම ගද්‍ය, පද්‍ය, භාෂා ව්‍යවහාර, ජන නැටුම්, ජන සංගීතය, ජන ගායනා ආදිය සමඟ සම්මිශ්‍රණය වෙමින් ඉදිරියට පැමිණියේය. මේ නිසාම එය අතීතයේ දී අපූර්ව දේශීය සංගීත කලාවක් බවට පත්වී තිබුණු වග ජී.ඩබ්ලිව්. ජයන්ත අරවින්ද තම කර්තෘත්වයෙන් පළකරන ලද "සිංහල සම්ප්‍රදාය" යන ග්‍රන්ථයෙහි සටහන් කර ඇත.


19 වන වර්ෂයේ මැද භාගයේදී ආරම්භ වී ජනප්‍රියත්වයට පත් නාඩගම් කලාව 20 වන සියවස ආරම්භ වනවිට පිරිහීමක් දක්නට ලැබුණි. මෙම පරිහානිය තවත් නාට්‍ය කලාවක ආරම්භයක් විය.

කවි නාඩගම්


කොළම නාඩගමෙහි වෙස්මුහුණු ඉවත් කිරීමෙන් ප්‍රභවය වූ නාටක විශේෂයක් ලෙස කවි නාඩගම හැඳින්විය හැකිය. මෙම කවි නාඩගම් ශෛලිය කෝළම් නාඩගමෙහි ද දක්නට ලැබීම එයට හේතුවක් වශයෙන් දැක්විය හැකිය. කවි නාඩගමේ දී පොතේගුරු හෙවත් කණ්ඩායමේ නායකයා එහි එන සෙසු පාත්‍ර වර්ගයා (චරිත) සභාවට හඳුන්වා දෙයි.

කවි නාඩගම් කථාව විකාශනය වන්නේ කවියෙනි. එහි පාත්‍ර වර්ගයා අතර අතිවන කවි සංවාදය තුළින් මෙම කවි නාඩගම ප්‍රේක්ෂකයා අතරට එයි. මනමේ සඳකිඳුරු වැනි නාඩගම් යම් යම් වෙනස්කම් සහිතව කවි නාඩගම් බවට පත්කර ලත් බව පෙනේ. කෝළම් රංග ශෛලිය සහ කවි නාඩගම් ශෛලිය අතර පවතින සම්බන්ධතාවයෙන් ද පැහැදිලි වන්නේ කෝළම් නාඩගමෙන් කවි නාඩගම ආරම්භ වූ බවය. මෙම කෝළම් සහ නාඩගම් අතර පවතින්නේ ඉතා සුලු වෙනස්කමකි. කෝළම් නාඩගමට වෙස්මුහුණු තිබීම කවි නාඩගමට වෙස්මුහුණු නොතිබීම මෙම වෙනසයි.


කවි නාඩගම මාර්ටින් වික්‍රමසිංහ හඳුන්වනු ලබන්නේ එය පැරණි බෞද්ධයන්ගේ ස්වාධීන නිර්මාණයක් බවය. කෝට්ටේ යුගය වන විට කිවි නලුව හෙවත් කාව්‍ය නාටකය හෙවත් කවි නාඩගම සම්භාවිත නාට්‍ය විශේෂයක් බවට පත් වී තිබුණු බව ද මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසය. ආචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සහ ගුණසේන ගලප්පත්ති මතය වන්නේ කවි නාඩගම දකුණු ඉන්දීය නාඩගම්වල ආභාෂය ලබා ඇති බවය. (එය ඉන්දීය පරගැති භාවයට කන්දීමකි)


කවි නාඩගම්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කීපයක් වෙයි.


* කථාවස්තුව කෙටියෙන් ඉදිරිපත් කිරීම.
* ආදර්ශයක් හා අවවාදයක් වීම.
* යහපත් ගුණයක් දැක්වීම.
* දුර්ගුණයන්හි අනිටු විපාක පෙන්වාදීම, ආදිය කවි නාඩගම්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017