කෝලම් නාටකය
 

බලි තොවිල්වලට පසුව එහි ආභාෂය ලබමින් කෝළම් නාටකය ආරම්භ වූ බවට පිළිගැනීමක් ඇත. ඒ මතය දරන්නේ ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය. ඔහු ඒ බව ඔහුගේ සිංහල ගැමි නාටකයෙහි සඳහන් කර ඇත. බලි තොවිල්වල රැඟුමෙහි සහ කෝලම් නාටකයෙහි එන රැඟුම අතර බොහෝවිට සමතාවක් දක්නට ලැබේ. මෙම සමතාවය නිසාම බලි තොවිල් විකාශනාත්මක අවස්ථාවක් හැටියට කෝළම් නාටකය හැඳින්වීම උචිත නොවන්නේ නොවේ.


මෙම කෝළම් බලි යාගවල දක්නට ලැබේ. බලි යාගයන්හි දක්නට ලැබෙන කෝළම් අතර මුල් තැනක් ගන්නා කෝළම් රාශියක් වෙයි. එම කෝළම් අතර ගිරිදේවි කෝළම, නාග කන්‍යා කෝළම යනු එම කෝළම්ය.



කෝළම හුදෙක් විනෝදාස්වාදය සඳහාම වූවක් නොවේ. එම කෝළම් බලි තොවිල්වලදී ආතුරයාට ශාන්තිය උදාකර ගැනීම සඳහා යොදා ගත්තේය. කෝළම් නාටකය ගර්භ පූජාවක් ලෙස ද හඳුන්වනු ලැබේ. කෝළම් උපතට හේතු වූයේ බිසවකගේ දොළදුකක් බව ජනප්‍රවාදයේ එන්නකි. පැරණි කෝළම් අතර බඩදරු කෝළම නමින් කෝළමක් තිබුණු බැවින් කෝළම ගර්භ පූජා කෝළමක් වශයෙන් හැඳින්වීමේ මතය ගොඩනැඟෙන්නට ඇතැයි ලේඛන මාලා (විද්‍යාලංකාර)12 සඟරාවලින් සපයන සිරිසේන විතානගේ විචාරකයා සඳහන් කරයි.

බලි තොවිල්වල කෝළම අන්තර්ගත වූයේ ශාන්තිකර්මයක් ලෙස මෙන්ම බලි තොවිල් නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂක ජනතාවට කිසියම් වින්දනාත්මක රසාස්වාදයක් ලබාදීමය. අද බොහෝ දුරට කෝළම් භාවිතා කරනු ලබන්නේ විනෝදාස්වාදය සඳහාය. පොලිස් කෝළම, සුරා කෝළම, කාලගෝල කෝළම, යස ලෙංචිනා කෝළම, ගම කෝළම ආදිය දෙස සිත් යොමුකරන විට පැහැදිලි වන්නේ එම කෝළම විනෝදාස්වාදය සඳහා සම්පාදනය කරන ලද ඒවා බවය. මෙවැනි හාස්‍යජනක, හාස්‍යෝත්පාදක කෝළම් වර්තමාන සමාජයේ අත්දැකීම් ආශ්‍රය කරගෙන සම්පාදනය කිරීම ඉතාම පහසු කාර්යයක් වේ.

කෝළම් රඟමඬල


රඟමඬල යනු රංග ශාලාවය. කෝළමක් රඟ දැක්වීම සඳහා රංග ශාලාවක් අවශ්‍ය විය. එම රංග ශාලාව ඈත අතීත යුගයේ ගොඩනඟන ලද්දේ තාවකාලික පොල්අතු සෙවිලි කළ මඬුවක් වශයෙනි. මෙම මඬුවෙහි ඉදිරිපස කරලිය හෙවත් වේදිකාව තැනේ. මෙම කෝළම් මඬුව "තානායම්පොළ" යනුවෙන් සඳහන් කරන බව ඩී.බී. හපුආරච්චි සිය සිංහල නාට්‍ය ඉතිහාසය යන ග්‍රන්ථයෙහි සඳහන් කරයි.




මෙම කෝළම් මඬුව හා සම්බන්ධකර කවාකාර බිම් පෙදෙසක් පස් පුරවා තරමක් උස් වන සේ සකස් කරයි. අනතුරුව මඬුවත් ඒ බිමත් අතර කණු තුනක් සිටුවයි. එයින් පසුව ලී පහ බඳියි. පසුව ලී පටි අතර කොළ අතු තැන්පත් කරයි. එම කොළ අතු හඳුන්වා ඇත්තේ වෙස් අස්න නමිනි. එය සාමාන්‍යයෙන් අඩි හයක් පමණ උස වන්නේය. නළුවා තානායම්පොළට එන්නේ එම වෙස් අත්තට මුවාවී සිටය. පොතේ ගුරා (තොරතුරු කියන්නා) කවාකාර භූමියේ පැත්තක වෙස් අත්තට මුහුණලා සිටී. ඔහු අසල සිටින්නේ වාදකයෝය. මෙම කෝළම් මඬුවට ආලෝකය සපයන ලද්දේ පන්දම් සහ පහන්වලිනි. කවාකාර රඟමඬල වටා සිටි ප්‍රේක්ෂකයෝ කෝළම නැරඹූහ. කෝළම් නාටක රංගනය ක්‍රමානුකූල පදනමක් මත ගොඩනැඟී ඇත. මෙම රඟමඬල තුළින් එකම රංගනයක විවිධ ජවනිකා ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබේ.
 

(c) Shilpa Sayura Foundation 2006-2017