තොවිල් වල එන විවිධ නැටුම්
 

ඒ ඒ ශාන්තිකර්ම කිරීමේදී ඒ ඒ බලි තොවිල්වල විවිධ රංගන ක්‍රම ඇතුළත් වෙයි. එම නැටුම් ප්‍රේක්ෂක සිත් ප්‍රබෝධයට පත්කර වින්දනාත්මක රසයක් ලබාදෙයි. රෝගියාගේ රෝගය සුව වන්නේ මෙම වින්දනාත්මක රසය ඔහු විසින් මනසින් විඳගනු ලබන බැවිනි. ප්‍රේක්ෂක සිත රසභාවයන්ගෙන් වෙලාගෙන ප්‍රබෝධාත්මක තත්වයට පත්කරන නැටුම් ලෙස ගරා නැටුම, නාග කන්‍ය නැටුම, ගිරිදේවි නැටුම, කුළු නැටුම, සිංහ නැටුම, ගිරියකිණි නැටුම ආදී නැටුම් හඳුන්වා දිය හැකිය. මෙම නැටුම්වලදී ආංගික සාත්වික ආදී සතර අභිනයම උපයෝගි කරගනී. එම සතර අභිනයම උපයෝගි කරගැනීම නිසා එම තොවිල්වලට නාට්‍යමය ස්වරූපයක් ඇතිවේ. ප්‍රේක්ෂක මනස වින්දනයෙන් ප්‍රබෝධයට පත්කරයි.


මේ නිසා බලි තොවිල්වල බොහෝ විට නාට්‍යමය අවස්ථා පසුකාලීන නාට්‍ය සංවර්ධනයේ දී නාට්‍ය සංවර්ධනය කෙරෙහි බලපෑම් ඇතිකළ බව පෙනේ. විශේෂයෙන්ම දහඅට සන්නියේ ආ නැටුම් ක්‍රම, පාද තාල ආදිය එයට උපයෝගි වී ඇත.


තොවිල්වල එන මෙම නැටුම් ක්‍රම කලා රසය පෝෂණය කරයි. කලා රසයෙන් ප්‍රේක්ෂක ජන විඥානය වර්ධනය කරයි. එසේ කොටගෙන මිනිස් සන්තානයෙහි ඇතිවන විවිධ චිත්ත පීඩා රෝග උවදුරු ආදිය සංසිදවා ශාන්තිය උදාකරදෙන තත්වයට මෙම තොවිල්වල එන නැටුම් ක්‍රම විලාසය සැලසුම් වී ඇත. සකස් කර ඇත. තොවිලය දෙස බලා සිටීමෙන් නාට්‍යමය වින්දනයක් ලබාගැනීමට ආතුරයාට හෙවත් රෝගියාට අවස්ථාව සැලසේ. එම අවස්ථාවෙන් ලැබෙන මානසික ප්‍රබෝධය මත ආතුරයාගේ මානසිකත්වය පෙරළියකට පත්වෙයි. එම පෙරළිය තුළින් ඔහුට සුවය අත්පත් වේ.


තොවිලයේ නැටුම ආතුරයා කෙරෙහි බලපෑම

ඉහත සඳහන් කරන ලද කවර ආකාරයේ තොවිලයක් හෝ නටනු ලබන්නේ බෙහෙවින්ම රෝගි තත්වයට පත්වූ පුද්ගලයෙකු අරමුණු කරගෙනය. මෙහිදී රෝගී තත්වය දුරුවී නිරෝගි තත්වයට පත්වන්නේ කෙසේද? යක් ඇඳුරා පළමුව ආතුරයා බියකරවන ස්වරූපයෙනි. වෙස්මුහුණු ඇතිව හෝ නැතිව යකැඳුරාය යක්‍ෂාවේශය පෙන්වා දිය හැකිය.

මෙහිදී යක් ඇඳුරා වෙස්මුහුණු ඇතිව හෝ නැතිව කවි ගී ගායනා කරමින් ඝෝෂා කරමින් යක්‍ෂයෙකුගේ වේෂය පෙන්නුම් කරමින් මහා නොදැමුණු පුද්ගලයෙකුගේ ස්වරූපයෙන් රෝගියා ඉදිරියේ හැසිරෙයි. නටයි. යකෙකුගේ විලාශයෙන් ශාන්තිකර්ම ගී ගායනා කරයි. මේ අතර එම තාලයට අනුව බෙර පද වාදනය වෙයි. මෙම ස්වරූපය දෙස බලා සිටින රෝගියා තමන් ඉදිරියේ සිටින සිටින යකා කෙරෙහි ආතුරයාගේ මනස භයානක රසයෙන් වෙලීයයි. මෙම භයානක රසය එක් ගීයකින් පවා රෝගියා තුළ ජනිත කරවීමේ ශක්තිය මාතර සමදරා ගුරුන්නාන්සේගේ මෙම තොවිල් කවියෙන් මනාව පැහැදිලි වේ.

තල්ල දිගයි ගිරිලෙන මෙන් කටේ යකා
ගොල්ල ගැටයි අසූරියනයි උසින් යකා
බෙල්ල විකයි හොල්මන් කර බලයි යකා
බිල්ල දෙන්ට මෙරඟට වර සොහොන් යකා


ආරම්භයේ දී යක් ඇඳුරා විසින් බිය ජනක තත්වයකට පත්කරවනු ලබන ආතුරයා එයින් පසුව රෝගියාගේ මානසික තත්වයෙහි වෙනසක් ඇතිකරනු සඳහා වෙනත් සුපසන් රංගන ක්‍රමයක් අනුගමනය කරයි. එම රංගන ක්‍රමය දෙස බලා සිටින ආතුරයාගේ මානසික තත්වය සුපසන් තත්වයට ක්‍රමයෙන් පත්වෙයි.




විශේෂයෙන්ම ආතුරයාගේ මානසික තත්වය සුපසන් තත්වයට පත්කර ඔහුගේ රෝගය සුවකිරීම මෙම බලි තොවිල් වල ඇති සුවිශේෂ වැදගත්කම වෙයි. ආතුරයාගේ රෝග නිවාරණය සඳහා උපයෝගි කරගන්නා මෙම ශාන්තිකර්ම නාට්‍ය ක්‍රමය ප්‍රේක්ෂක ජනතාවගේ විනෝදාස්වාදයට හේතුවෙයි. එය ප්‍රේක්ෂක ජනතාවගේ විනෝදාස්වාදයට හේතුවන්නේ එම ශාන්තිකර්මයට අන්තර්ගත නැටුම්වල හාස්‍යෝත්පාදක නාට්‍යමය අංග ඇතුළත් වීමය. මෙකී විනෝදස්වාදය ලබාදෙන රංග ක්‍රම අතර අඹ විදමන, රාම මැරීම, වඩිග පටුන, ඌරු යක්කම ආදී රංගන ක්‍රම දැක්විය හැකිය.


මෙම ශාන්තිකර්මවල නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබේ. ශාන්තිකර්මවල එන නැටුම් ආශ්‍රිත විවිධ ජවනිකා ඇත. එම ජවනිකාවල ඇතැම් විට උසස් නාට්‍ය ගුණ සම්ප්‍රයුක්ත අවස්ථා දක්නට ලැබේ. දරපනී යක්කම, නායයක්කම, ඌරායක්කම ආදිය එවැනි නාට්‍ය ගුණ සම්පන්න අවස්ථා වශයෙන් දැක්විය හැකිය.


සිංහල නාට්‍ය කලාව ඉදිරියට ගමන් කිරීමේදී පසුකාලීනව නාට්‍යයේ සංවර්ධනයක් ඇතිකිරීමෙහිලා, කුවේණි කතාව, විජයරාජ කතාව, සිංහවල්ලි කතාව, දඬුමොණර කතාව මේ ආදී කතාවන්හි නාට්‍යමය අවස්ථා ප්‍රතිබිම්බිත වන අවස්ථා ඇත. එම කලාවේ වැඩිදියුණුවීම් පසුකාලීන දේශීය නාට්‍ය කලාවේ සංවර්ධන මාර්ගයට පිවිසෙන අවස්ථා ලෙස සැලකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017