තොවිලය හා නාට්‍යය
 

"බල" ක්‍රමය බලියාගය හෙවත් බලි තොවිල් බවට පත්වීම "බලි" ක්‍රමයෙහි තවත් ඉදිරි වර්ධන පියවරක් විය. බලි තොවිලයක සැලසුම හෙවත් එක ව්‍යූහය සකස් වී ඇති ආකාරය දෙස බලන විට එයින් නාට්‍යයක සැලසුම හෙවත් ආකාරය පැහැදිලි කරන්නේය. මෙම බලි තොවිලයේ දී යක් ඇඳුරෝ නළුවෝ වෙති. මෙම යක් ඇඳුරන් කොළ අතු වෙස් මුහුණු පැළඳගෙන විවිධ ජවනිකා ප්‍රදර්ශනය කරති. එම යක් ඇඳුරන් විවිධ යක්ෂයින්ගේ වෙස් ගෙන තොවිලයේදී රංගනයේ යෙදෙති. ඔවුහු මෙහිදී නිරූපණය කරන්නේ යක්ෂයින්ගේ චර්යාවන්ය. යකැඳුරන් අභිනය මාර්ගයෙන් මෙහිදී විවිධ යක්‍ෂයින් හැසිරෙන ආකාරයේ රංගනයන් දක්වති.




ඒ ඒ යක්‍ෂයන්ගේ ස්වරූපය පැහැදිලි කරන්නේ වෙස්මුහුණු මගිනි. එමගින් ඊරි යකා, මහසෝනා, හූනියම් යකා, සන්නි යකා ආදී යක්‍ෂයින්ගේ හැසිරීම අභිනය මාර්ගයෙන් ඉදිරිපත් කරති. යකුන්ගේ මෙම චර්යා අභිනය ද පදනම් කරගත් නැටුම් විලාශයෙන් යක් ඇඳුරන් ඉදිරිපත් කිරීම බලි තොවිලය හා සම්බන්ධ සෞන්දර්යාත්මක ප්‍රවේශයකට යොමු කරවයි. ආතුරයා හෙවත් රෝගියා සුවපත් කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන මෙම බලි තොවිලය මගින් බලා සිටින ප්‍රේක්ෂක ජනතාව රසාස්වාදයෙන් කිසියම් අමන්දානන්ද වින්දනයකට යොමුකරවයි. රට යකුම, සන්නි යකුම. දහඅට සන්නි යකුම, මහසොහොන් සමයම මේ ආදී තොවිල් ක්‍රම ක්‍රියාත්මක කෙරෙන්නේ නාට්‍යයක ස්වරූපයෙනි.


මෙම බලි තොවිල් එකම කාරණයක් අරමුණු කරගෙන සිදු කෙරෙන එකම ආකාරයේ තොවිල් නොවේ. ඒ ඒ එක එකට වෙනස් වූ අරමුණු මුල් කරගෙන පවත්වනු ලබන ශාන්තිකර්ම වන්නේය. හූනියම් තොවිලය පවත්වනු ලබන්නේ අණිවින කොඩිවින හදි හූනියම් සහ සතුරන් විසින් කරන ලද යම් යම් අණවින බල රහිත කිරීමටය. හූනියම් කැපීමේ තොවිලයේදී පුහුල් ගෙඩියට දොස් බස්වා කොඩිවින කැපීම සිදුවේ. මෙහිදී හත් අඩි කැපීම, වීදිය කැපීම ආදි කැපීම් කීපයක් වේ. මෙම විනකැපීම් කිරීමේදී ඒවා විචිත්‍ර රංගන මගින් යකැඳුරන් ඉදිරිපත් කරති. එම විචිත්‍ර නැටුමේ ප්‍රේක්ෂක සිත් පිනවීමෙහි ද සමත්වන අතර ආතුරයන්ගේ මනසෙහි කිසියම් සන්හිඳතාවයක් ඇතිකිරීමෙහි සමත්වෙයි. මෙම ශාන්තිකර්මය මගින් මනසෙහි කිසියම් වෙනස් කමක් ඇතිවේ. එමඟින් රෝගියා සුවපත් වේ.

රට යකුම නම් ලද ශාන්තිකර්මය කරනු ලබන්නේ දරුවන් නොලද වඳ අඟනන් සඳහායි. රට යකුම නැටීමෙන් පසුව එවැනි අඟනන්ට දරුඵල ලැබේයයි යන විශ්වාසය තුළින් මෙම රට යකුම නැටීමේ ශාන්තිකර්මය සිදුකෙරේ. කවර ආකාරයකින් හෝ දරුවන් නොලැබ සිටි කාන්තාවක විසින් රට යකුම නැටීමෙන් පසුව දරිඵල ලැබගත් අවස්ථාවේ මෙම රටයකුම් ශාන්තිකර්මයේ බලයෙන් දරුඵල හටගත් බව විශ්වාස කෙරේ.


 

සන්නි යකුම තවත් ශාන්තිකර්මයකි. මෙම ශාන්තිකර්මය පවත්වනු ලබන්නේ උණසන්නිපාතය වැනි දරුණු රෝග හටගත් අවස්ථාවේ දී එම රෝගීන් සුවපත් කරනු සඳහාය. මෙම යාතු කර්මය හෙවත් සන්නි යකුම නැටීමෙන් පසුව එවැනි රෝගීන් සුවපත් වී ඇත. එය එසේ වූයේ මෙම ශාන්තිකර්මයේ බලයෙන් සිතේ ඇති වූ මානසික ප්‍රබෝධයක ප්‍රතිඵලයක් වශයෙන් යයි සැලකිය හැකිය. බලි තොවිල් ක්‍රමයෙහි ඉතාමත්ම ප්‍රසිද්ධ ශාන්තිකර්මය වන්නේ මෙම සන්නි යකුම පදනම් කරගත් දහඅට සන්නි ශාන්තිකර්මයයි.

මහසොහොන් සමයම ශාන්තිකර්මය ද තවත් ප්‍රකට ශාන්තිකර්මයකි. බොහෝවිට සන්නියක් ශාන්තිකර්මය මෙන්ම මෙම මහසොහොන් සමයම ශාන්තිකර්මය ද උපද්‍රව දුරුකර ගැනීම සඳහා අදත් බොහෝ ගම්බද ප්‍රදේශවල ක්‍රියාත්මක කරයි. විශේෂයෙන්ම මෙම ශාන්තිකර්මය හෙවත් මහසොහොන් සමයම නටනු ලබන්නේ සිහිවිකල් වූ පුද්ගලයන්ගේ සිහිවිකල් භාවය සුවකරනු සඳහාය. මහසෝමා පුද්ගලයෙකුට ගැසූ පසුව සුවය ලැබෙන්නේ එබඳු රෝගියෙක් එම ශාන්තිකර්මය කෙරෙහි තබන විශ්වාසය තුළින් සිතේ ඇතිවන මානසික විපර්යාසයෙනි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017