නාට්‍යයක් යනු කුමක්ද ? දෙවන කොටස
 

එහි තිස්හය, තිස්හත ගාථාවලින් රජතුමා නාටිකාංගනාවන් විසින් පිරිවරන ලද මහත් වූ සේනා සමඟ සිටිය බව සඳහන් වේ. එසේම එහි හතළිස් දෙක හතළිස් තුන ගාථා වලට අනුව නානාවිධ තූර්යවාදනයෙන් ගිගුම්ගත් බව සඳහන් වේ. එහි හතළිස් හයවන ගාථාවෙන් දුටුගැමුණු රජතුමා මහමෙවුනා උයනට ගමන්ගත් පෙරහැරේ වූ තූර්ය ශබ්දය ඇසූ මහා විහාර පිරිවෙන් වාසී සෝනුත්තර තෙරුන් නා රජුන් වෙත වූ සර්වඥධාතු ගෙන ඒම සඳහා නාග භවනට වැඩිය බව සඳහන් වේ. එම පරිච්ඡේදයෙහිම අසූදෙක අසූතුන ගාථාවලින් එම ධාතු නිධානෝත්සවයේදී විනා වාදනය හා තූර්ය ඝෝෂා පැවැත්වූ බව සඳහන් වේ. එසේම සාධු ගීතිකා (භක්ති ගී) ගායනා කළ බව සඳහන් වේ. එහි අසූහතර ගාථාවෙන් ඉතා උසස්වූ සංගීතරාවය සමඟ උසස් තූර්යයන් වාදනය කළ බව සඳහන් වේ.


මෙයින් පැහැදිලි වන්නේ දුටුගැමුණු රාජ්‍ය යුගයෙහි මේ රටේ ඉහළ මට්ටමක තූර්යවාදනය, සංගීතය, නැටුම්, නාට්‍ය යන මේ අංශ ක්‍රියාත්මක වූ බවය.


මහා වංශයෙහි තිස්දෙවන පරිච්ඡේදයෙහි 78 වන ගාථාවට අනුව නාටක ස්ත්‍රීන් ගැන කියැවේ. එහි තිස් හතරවන පරිච්ඡේදයෙහි හැටවන ගාථාවට අනුව රුවන්වැලි සෑ පූජාවේදී නානා විධ නැට්ටුවන් විසින් කරන ලද නැටුම් ගැන ද නානාප්‍රකාර තූර්යවාදන පූජා ගැන ද, එහිම 77 ගාථාවට අනුව නැට්ටුවන් ලවා නැටුම්, ගීත ගායන සහ වාදන කරවූ බව සඳහන්වේ.

ඉහත සඳහන් විස්තරයට අනුව දුටු ගැමුණු රාජ්‍ය යුගයෙහි මේ රටේ සංගීතය, නැටුම්, තූර්යවාදනය ඉතා ඉහළ මට්ටමක පැවති බව නිගමනය කිරීමට අපට සිදුවේ. මහා වංශයෙහි එන මේ විස්තර එසේම වී යයි කීමට මහා වංශය හැර වෙනත් සාධකයක් නැත. යම් කිසි දෙයක් පැවති බව ඔප්පු කිරීම සඳහා ඓතිහාසික සාධකම අත්‍යවශ්‍ය නොවේ. සමකාලීන සමාජ ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වය දෙස බලනවිට එම සමාජයේ, එම සමාජයටම ආවේණික වූ ජනතාව වින්දනාත්මක රසාස්වාදය ලබාදුන් නැටුම්, ගැයුම්, වැයුම් නොතිබිණැයි කිව නොහැකිය. යමෙක් එසේ එම නැටුම්, ගැයුම්, වැයුම් නොතිබිණැයි කිව නොහැකිය. යමෙක් එසේ එම නැටුම් ගැයුම් වැයුම් නොතිබුණේයයි කියන්නේ නම් එසේ නොතිබූ බවට සාධක ඉදිරිපත් කළ යුතු වන්නේය.

අනුරාධපුර යුගයේදී ලියන ලදැයි සැලකෙන සියබස්ලකරයෙහි,


පෙදෙන් බුදු සිරිතැ
බසින් වත් සිරිත් ඈ
පදයුතු බසින් කවිනළු
අනතුරු ලකුණු දක්වම්

පද යුතු බසින් කාව්‍ය නාටකය නිර්මාණය කෙරෙන බව සඳහන් කර ඇත. එය එම යුගයේ දී සියබස්ලකරෙහි සඳහන් කරනු ලැබුවේ සමකාලීන සමාජයෙහි කාව්‍ය නාටකාදිය පැවති බැවිනි. මහාචාර්ය පරණවිතාන මහතා අනුරාධපුර සමයෙහි සීගිරි පර්වතයෙහි ගිරග්ග සමජ්ජ වැනි උත්සව පැවති බව විශ්වාස කරති.


මහා වංශයෙහි 72 වන පරිච්ඡේදයෙහි 217, 218 ගාථාවලින් පොළොන්නරුව අග්‍ර රාජධානිය කරගත් මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී පොළොන්නරු නගර මධ්‍යයේදී කරවන ලද දළදා මහා පූජෝත්සවය පැවැත් වූ බව ඉදිරිපත් කරයි.

මහාවංශයේ 77 වන පරිච්ඡේදයේ 76 වන ගාථාවෙන් පොළොන්නරු මහා පරාක්‍රමබාහු රජතුමා රුහුණෙහි නාට්‍ය ශාලා පහක් ඉඳිකරවූ බව සඳහන් වේ. එයින් පැහැදිලි වන්නේ පොළොන්නරු රාජ්‍ය යුගයේදී ශ්‍රී ලංකාවේ උතුරු මැද මෙන්ම දකුණේත් නාට්‍ය ක්‍ෂේත්‍රය සංවර්ධනාත්මක තත්වයක් පැවති බවය.


එසේම පොළොන්නරු මහා පරාක්‍රමබාහු රජතුමා විසින් පොළොන්නරුවෙහි සරස්වතී මණ්ඩපය ඉඳිකර වූ බව ද මහා වංශයේ සඳහන් වේ. එම සරස්වතී මණ්ඩපය ඉඳිකරවනු ලැබුවේ සංගීත, නාට්‍ය, නැටුම් ක්‍ෂේත්‍රයේ කටයුතු සඳහාය. එසේම මහ පැරකුම්බා රජුගේ බිසවක වූ රූපවතී දේවිය කලාකාමි තැනැත්තියක් විය. පුරුදු පුහුණු වූ රාජ මහේෂිකාවක් විය.


පොළොන්නරුවෙන් පසුව ආරම්භ වූයේ දඹදෙනි යුගයයි. මේ යුගයේදී නාට්‍ය කලා ක්‍ෂේත්‍රයෙහි විශාල සංවර්ධනයක් පැවැති බවට දඹදෙනි කතිකාවත සාක්ෂි දරයි. දඹදෙනි කතිකාවත භික්‍ෂු විනය හා සම්බන්ධකර කරුණු දැක්වීමේදී කාව්‍ය නාටකාදිය ගර්භිත විද්‍යා වශයෙන් දක්වා ඇත. එම කතිකාවතෙහි භික්ෂූන් විසින් කාව්‍ය නාටකාදිය නොලගත යුතු බව ද, නොඉගැන්විය යුතු බව ද සඳහන් කරයි. මෙයින් පැහැදිලි වන්නේ දඹදෙනි යුගයේදී භික්ෂූන් වහන්සේලා පවා නාට්‍ය ක්ෂේත්‍රයෙහි ක්‍රියාකාරකම් දැක්වූ වගය.


මේ යුගයෙහි කාව්‍ය නාටකාදිය සංවර්ධනාත්මක තත්වයක පැවති බව කව්සිළුමිණි කාව්‍යයේ 18,181,163,282,454 යන ගී වලින් පැහැදිලි කරගත හැකිය. (රඟොත මතඟන) මත් අඟනන්ගේ රැඟුම්, වරඟනන්ගේ රැඟුම්, රඟ බිම්, රඟ දීම ආදී එම ගීවල සඳහන්වන යෙදුම්වලින් හා නාට්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.


සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සැළලිහිණි සන්දේශය, ගිරා සන්දේශය, කෝකිල සන්දේශය, මයුර සන්දේශය, සැවුල් සන්දේශය, පරවි සන්දේශය ආදී සන්දේශ ග්‍රන්ථවල ද නාටිකාංගනාවන් ගැන, නැටුම් ගැන සඳහන් වෙයි. කෝට්ටේ යුගයේ ගුත්තිල කාව්‍යයෙහි ද නළඟන රැඟුම් පිළිබඳ විස්තර වේ.

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුරළඳුන් දුන් රඟ සොබා

මෙයින් පැහැදිලි වන්නේ ගුත්තිල කාව්‍ය රචනා කළ වෑත්තෑවේ හිමියන් එම කාව්‍ය නැටුම්, ගායනය, වාදනය පිළිබඳව හසල දැනුමක් ඇතිව සිටි කෙනෙකු බවය. එසේම කෝටිටේ යුගයේ ලියවී ඇති සන්දේශ කාව්‍යවල එන රාජසබා වර්ණනා, දේවාල වර්ණනා ආදියෙහි විවිධ ආකාරයේ රැඟුම් රාජ සභාවලත් දේවාල වලත් පැවති බව පෙනේ.



මෙයට අමතර වශයෙන් සෙල්ලිපි ලෙන් ලිපි ආදියෙහි ද නැටුම් ගැන සඳහන් වේ කොරවක්ගල ශිලා ලිපියෙහි නළුවන් ගැන සඳහන් වේ. සැස්සේරුව ලෙන් ලිපියෙහි (නට වුඩ) වුඩ නම් නැටුම්කරුගේ නම සඳහන්වේ. කාලිංග වනෝද්‍යාන ගල් ආසන ලිපියෙහි ද නළුවන් ගැන සටහන්කර ඇත. එයින් පැහැදිලි වන්නේ කාලිංග වනෝද්‍යානයෙහි නැටුම් ගැයුම් වැයුම් වැනි සංස්කෘතික උත්සව පැවති බවය.

පොළොන්නරු යුගයෙහි විහාරයන්හි පූජා පැවැත්වීමේ දී එම පූජා සඳහා නැටුම් සංදර්ශන පැවැත්වූ නාටිකාංගනාවන් පිළිබඳව පාලමොට්ටායි දෙමළ ශිලා ලිපියෙහි සඳහන් වෙයි. මේ අනුව සලකා බලන විට ශ්‍රී ලංකාවේ ආදිතම යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා වූ කාල පරිච්ඡේදයේදී ලංකාවේ නැටුම්, ගැයුම්, වැයුම් රංගන ඉතා දියුණු තත්වයක පැවති බව පෙනේ. ඒවා කිසිවකුගෙන් කෝපි කරගත් ඒවා නොවේ. එම නාට්‍ය, නැටුම්, ගායන, වාදන ශිල්පයන් දේශීය වශයෙන් ස්වතන්ත්‍ර මේ දේශයේ වැඩීගිය ඒවා ලෙස හැඳින්විය හැකිය.



කෝටිටේ යුගයේ දී නාට්‍ය ගායනය සහ වාදනය ඉතාමත් ජනප්‍රිය භාවයට පත් කලා ක්‍ෂේත්‍ර බවට පත්වී තිබුණු වග සන්දේශවල එන රංගන වර්ණනාවෙන් ද, දේවාල වර්ණනාවලින් ද පැහැදිලි වෙයි. විශේෂයෙන් ගුත්තිල කාව්‍යයේ එන සුරඟන රැඟුම් රසඥයන් රසෝන්මාදයෙන් අමන්දානන්දයට පත්කරන රැඟුම් විලාශයක් ලෙස සම්මානනීයත්වයට පාත්‍ර වන්නේය. එසේ සංවර්ධනය වෙමින් ආ දේශීය නාට්‍ය සංගීත කලාව මේ රටේ බටහිර ග්‍රහණයට යටත් වීමෙන් පසු අසරණත්වයට පත්වූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017