නාට්‍යයක් යනු කුමක්ද?
 

නාට්‍ය යනු සිදුවූ හෝ අනාගතයේ සිදුවිය හැකි දෙයක් කර පෙන්වීමය. එය එසේ කර පෙන්වන්නේ රංගනයෙනි. ලෝකයේ ක්‍රියාත්මක වූ මෙන්ම ක්‍රියාත්මක වන හැම දෙයක් ම කර පෙන්විය හැකිය. එය එසේ කර පෙන්විය හැකි වන්නේ රංගනය උපයෝගි කරගැනීමෙනි.


කුවේණිය කපු කටිමින් සිටීම ඒ ආකාරයෙන්ම පෙන්විය හැකිය. විහාර මහා දේවිය ඔරුවක තබා මූදේ පාකර හැරීම රංගනයෙන් පෙන්විය හැකිය. කාවන්තිස්ස කුමාරයා විහාර මහා දේවිය කැඳවාගෙන මඟුල් මහා විහාරයේ විවාහ පත්වීම රංගනයෙන් ප්‍රේක්ෂක ජනතාවට පෙන්විය හැකිය. මේ ආකාරයෙන් ලොකයේ හැම සිදුවීමක්ම රංගනයෙන් ප්‍රේ්කිෂක ජනතාවට පෙන්විය හැකි වන්නේය. ලෝකය රඟමඬලක් වීම නිසා සහ ලෝකයේ සිටින මහ මඟ හිඟාකන හිඟන්නාගේ සිට පාලකයින් දක්වා හැම කෙනෙක්ම ලෝකය නමැති රඟමඬලෙහි කවර වූ හෝ භූමිකාවක රඟදෙන නළු නිළියන් වීම නිසාය.

ආංගික සාත්වික අභිනයන්ගෙන් සමන්විත වූ පුදගලයෙකුට යම් සිදුවීමක කිසියම් අවස්ථාවක් රංගනයෙන් නිරූපණය කර පෙන්වීමට හැකිවේ ද? එම අවස්ථාව අපි නාට්‍ය වශයෙන් හඳුන්වමු. මෙම රංඟන ස්වභාවය අද අපි නෘත්‍යය, නර්තනය, නැටුම්, නාට්‍ය යන නම්වලින් හඳුන්වමු. මෙහි නැටුම හා නාට්‍ය රඟ දැක්වීමක් වුවත් නැටුම එකකි. නාට්‍ය තවත් එකකි. නැටුම යනු කුළු නැටුම්, කලගෙඩි නැටුම්, ගොයම් කැපීම, තේදළු නෙලීම, උඩරට වෙස් නැටුම, පහතරට වෙස් නැටුම, බලි තොවිල් ආදියෙහි එන නැටුම්ය.

නාට්‍ය යනු යම්කිසි සිද්ධියක් තේමා කරගෙන අවස්ථාව නිරූපණය සහ චරිත නිරූපණය වශයෙන් රඟ දැක්වීමය. වෙස්සන්තර, දහම් සොඬ, සේරිවානිජ, චණ්ණුපථ, උම්මග්ග ආදී ජාතක කථා ඇසුරෙන් නිෂ්පාදනය කෙරෙන නාට්‍යය. සුභ සහ යස, සිරිසඟබෝ ආදි රාජ චරිත ඇසුරු කර නිෂ්පාදනය කරන නාට්‍ය සහ සමාජයේ පවතින පන්ති අරගලය විශ්ලේෂණය කෙරෙන නාට්‍ය යන මේ ආදී වශයෙන් වේදිකා ගඑකෙරෙන (ශෛලිගත මෙන්ම තාත්වික වශයෙන්) යමක් වේ ද එය අපි නාට්‍ය වශයෙන් හඳුන්වමු.

මෙසේ මෙම නාට්‍ය ඉදිරිපත් කිරීමෙහි කිසියම් අරමුණක්, පරමාර්ථයක් තිබිය යුතුය. මිනිස් සමාජයේ ආරම්භය කවර කලෙක සිදුවී ද, ඒ කාලයේ සිටම මිනිසාට විවිධ ගැටළු වලට මුහුණදීමට සිදුවිය. විවිධ ප්‍රශ්න ඇතිවිය. ඒ තුළින් මිනිසාට ද ජීවිතය පිළිබඳ විවිධ ප්‍රශ්න ඇතිවිය. ඒ තුළින් මිනිසා ද ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් ලැබීය. එයින් වැඩි වශයෙන් ඔහුට අත්මිදීමට ලැබුණේ සෝකය, දුක හා සංවේගය ඔහු පසුපස ලුහුබඳිද්දී ඔහුට තම සිත් සතන් පොබයන රසාස්වාද වින්දනයක් ද අවශ්‍ය විය. ඒ නිසා ජීවිතයේ යම් යම් අවස්ථාවන් පිළිබඳව ලැබූ අත්දැකීම් පදනම් කරගෙන එය රංගනයෙන් සෙසු අයට ඉදිරිපත් කර, එමඟින් තමන්ට රසවින්දනයක් ලබාගැනීමට සහ තම සඟයන්ට රසවින්දනයක් ලබාදීමට ඔහුට අවශ්‍ය විය. මේ නිසා රසාස්වාදය ලබාගැනීම සහ ලබාදීම අරමුණු හා පරමාර්ථය කරගෙන මෙම නාට්‍ය අංගය බිහිවී ඇත. එය සෞන්දර්යට මිනිස් සිත යොමු කරවන රසවින්දනාත්මක කලා අංගයක් විය.

ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ සහ නැටුම් ක්‍ෂේත්‍රයේ සමාරම්භය කවදා සිදුවී දැයි නිගමනය කිරීම අපහසුය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය බලිතරු, රාවණා යුගයටත් ඈතට ගමන් කරන බැවින් එම අප්‍රත්‍යක්‍ෂ ඉතිහාසය තුළ මේ රටේ නැටුමේ හා නාට්‍ය පිළිබඳ කවර තත්වයක් තිබිණිදැයි යන්න නිගමනය කිරීම බෙහෙවින්ම අසීරු කාර්යයකි. එහෙත් මහා වංශයේ හත්වන පරිච්ඡේදයෙහි තිස්වැනි ගාථාවෙහි තූර්යනාද සහිත ගී හඬක් පිළිබඳව සඳහන්වේ. සිය මව්බිමට ද්‍රෝහියෙක් වූ ඉන්දියාවේ විජය නමැති දුෂ්ටයා හිස අඩක් මුඩුකොට ඉන්දියාවෙන් පන්නා හැරියේ ලංකාවට ගොඩ බැස්සේය. එසේ ගොඩබට ඔහු ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තාවක වූ කුවේණිය මුලාකොට ඇය සමඟ එදින රෑ එක්ව විසීය.

එම දිනයේ දී සිරිසවත්තු පුරයෙහි ජ්‍යෙෂ්ඨ පාලකයාගේ විවාහ මංගල්‍ය සිදුවිය. එම විවාහ මංගල්‍යයේදී තූර්ය වාදනය විය. ගීත ගායනය විය. එය විවාහ උත්සවයක් සම්බන්ධ වූ සංගීත සන්දර්ශනයකි. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ කුවේණියගේ කාලයේදීත් සෞන්දර්යාත්මක වින්දන රසයක් ලබා ගැනීමේ කලා මාධ්‍යයක් රටේ පැවති බවය. එය සිංහලේ අනාදිමත් කාලයක සිට පැවත එන ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස සැලකිය හැකිය.


මහා වංශයේ දසවන පරිච්ඡේදයේ අසූහත්වන ගාථාවෙහි මෙසේ සඳහන් වේ.


නැකැත් දිනවලදී පණ්ඩුකාභය රජතුමා චිත්‍රරාජ යක්ෂයා සමඟ සම ආසනයෙහි හිඳගෙන නැටුම් කෙළි නරඹමින් රස වින්දනයෙහි යෙදුණේය.


(මෙහි එන චිත්‍රරාජ (චිත්‍ර රාජ යක්ෂ) තෙමේ රජතුමාගේ රාජසභාවෙහි රජතුමාට සමීපතම වූ යක්‍ෂ ගෝත්‍රික අමාත්‍ය වරයෙක් වන්නට ඇත.)

මෙයින් පැහැදිලි වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය (අනුරාධපුර) යුගයේ දී මේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති නැකැත් ක්‍රීඩා උත්සවය පැවති බවය. එසේ නම් එවැනි නැකැත් කළ උත්සව වලදී සමකාලීන ජන සමාජයේ ජනප්‍රිය භාවයට පත් වූ විවිධ නැටුම්, නාට්‍ය ආදිය ජනතා රසාස්වාදය සඳහා රඟදැක්වූ බව නිගමනය කළ හැකිය.


මහා වංශයෙහි තිස් එක්වන පරිච්ඡේදයට අනුව රුවන්වැලි මහා සෑයෙහි ධාතු නිධානෝත්සවය විවිධ සංගීත නැටුම් හා තූර්යවාද සහිත වූ මහා සංස්කෘතික උළෙලක් මෙන් පැවැත්වූ වග සඳහන් වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017