සිංහල ගැමියන්ගේ ආගමික ඇදහීම
 

බුදු සමය ලංකාවට සැපැත්වීමෙන් පසුව සිංහල ගැමියන් අදහන ආගම බුද්ධාගම බවට පත්විය. ආගම යනු පැමිණීමය. බුද්ධ යනු අවබෝධයයි. බුද්ධාගම යනු අවබෝධය තුළින් ජීවිතයේ නව මඟකට පා තැබීමයි. ගැමි ජනතාව බෞද්ධ ආගමේ ඉගැන්වූ ජීවිතයේ සාරධර්ම ආරක්ෂා කරගැනීමට ඉවහල් වූ ප්‍රාථමික සදාචාර ධර්ම අනුගමනය කරමින් ස්වකීය ජීවිතය පංචශීල ප්‍රතිපත්ති මත හැඩගස්වා ගත් අතර බුද්ධාගමෙන් පිටත බාහිර වන්දනා මානාදියෙහි යෙදුණේය.


විශේෂයෙන් දෙවියන් ඇදහීම, දෙවියන් උදෙසා විශේෂ පූජෝපහාර පෙරහැර පැවැත්වීම, ග්‍රහ, යක්ෂ, ප්‍රේත, භූතයන්ගෙන් වන අපල උපද්‍රව දුරුකර ගැනීම සඳහා විවිධ ශාන්තිකර්ම කිරීම ආදිය බෞද්ධාගමිකයන් හා සම්බන්ධ වූ බාහිර ඇදහිලි හා විශ්වාස හැටියට සඳහන් කළ හැකිය. මෙම ඇදහිලි හා විශ්වාස බෞද්ධ ආගමේ ප්‍රතිපත්තිවලට හා ඉගැන්වීම්වලට අනුගත නොවූවත් ඒවා ගැමි සම්ප්‍රදායෙහි ආදි කාලයේ සිට ගැමි ජීවිතය හා බැඳී පවතින ඒවා ලෙස සඳහන් කළ හැකිය.

ශාන්තිකර්ම යාග හෝමාදිය මිනිස් ජීවිතය හා සම්බන්ධ පවතින්නේ මිනිසාගේ ආරම්භ ජීවිතයත් සමඟ යැයි කිව හැකිය. මෙම පූජා කර්ම බෞද්ධ ආගමික පරිසරයෙහි දක්නට ලැබෙන්නේ විරල වශයෙනි. එය පවතින්නේ ද ගැමි සමාජයෙහිය. එයට හේතුව මෙම බාහිර පූජා කර්ම යාග හෝමාදිය අනුගමනය කිරීමෙන් ජීවිතය සඵල කරගැනීමට නොහැකි බව බුදු සමයෙහි ඉගැන්වීමය.



බියෙන් තැතිගත් මිනිස්සු, පර්වත, වන, ආරාම, වෘක්ෂ, චෛත්‍යයන් සරණ යන බවත්, ඒවා සරණ යාමෙන් මිනිසාට පිහිටක් අත් නොවන බවත්, යමෙක් බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යන්නේ නම් එමඟින් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට හැකි බවත් බෞද්ධ ඉගැන්වීමය. මේ නිසා බුද්ධාගම දෙවියන් සරණයාම වළක්වා ඇති ආගමක් හැටියට සැලකිය හැක. බුද්ධාගම ජාති ජරා මරණාදි දුක්ඛයන්ගෙන් එතෙර වීමට, එය නැති කිරීමට උගන්වන ආගමක් වන අතර බෞද්ධ දර්ශනයෙන් මිනිස් ජීවිතයෙහි සාරපක්‍ෂය සකස්කර ගැනීමට ද උපදෙස් දී ඇත.



විශේෂයෙන්ම සිඟාලෝවාද, ව්‍යග්සපජ්ජ, මහා මංගල ආදී සූත්‍ර වලින් පමණක් නොව සමස්ථ සූත්‍රපිටකය ගත්විට මිනිසාගේ මෙලොව ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් බොහෝ සෙයින් ලබා දී ඇත. මේ නිසා ශාන්තිකර්මවාදී බාහිර ඇදහිලි ක්‍රම අනුගමනය නොකළත් මිනිස් ජීවිතය හා සම්බන්ධව මුහුණදීමට සිදුවන ගැටළුවලට අපමණ වශයෙන් පිහිට ලබාගැනීමට බෞද්ධ ඉගැන්වීම් වලින් අවස්ථාව සලසා දී ඇත. ඒවා මොනවාද කෙබඳු ආකාර ද යන්න වටහා ගැනීමට සූත්‍ර පිටකයේ සඳහන් ඉගැන්වීම් උගත යුතු වන්නේය.

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017