දේශීය නාට්‍ය කලාව යනු අපේ දේශයේ එනම් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවය. දේශීය නාට්‍ය කලාවේ සංස්කෘතික පසුබිම පිළිබඳව විමසීමක දී සිංහලේ ආදි කාලීන නාට්‍ය කලාවක් වී ද, යන්න පිළිබඳව සහ එම නාට්‍ය කලාව කිනම් සංස්කෘතික පසුබිමක විකාශනය වෙමින් ඉදිරියට ප්‍රගමනය වී ද යන්න පිළිබඳව විමසිය යුතුය.
සිංහලේ ආදි යුගය ගැන කල්පනා කරන විට දෙදහස් හයසිය වසරකට ආසන්න ප්‍රත්‍යක්‍ෂ අතීතයක් කරා ගමන් කිරීමට අපට සිදුවෙයි. දඹදිව සිද්ධාර්ථ ගෞතම උත්පත්ති කාලය දක්වාම එය ගමන් කරයි. එම කාලයේ පවා ඉන්දියාවත් ලංකාවත් අතර වෙළඳ සම්බන්ධතා පැවැති බව සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත්වීමෙන් පසුව තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් හමුවී කිරිපිඬු පිළිගැන්වූ අවස්ථාවෙන් පැහැදිලි වෙයි. ඔවුන් දෙදෙනා අශ්ව වෙළෙන්ඳන් වීම එයට හේතුය.
සිංහලේ ඉතිහාසය එයිනුත් බොහෝ ඈතට ගමන් කරයි. සමන්, විභීෂණ, රාවණා, පුලතිසි, බලිතරු ආදී යුග දක්වා අපේ සිංහලේ ඉතිහාසය ගමන් කරයි. මෙතරම් ඈත ඉතිහාසයක් හිමි සිංහලේ ජනතාව සතු වූ කිසියම් නාට්‍ය සංකල්පයක් නොතිබිණැයි නොකිය හැකිය.
බුදුන් වහන්සේ ඉන්දියාවේ වැඩසිටි සමයේදීම බෞද්ධ ආගම පිළිබඳව කිසියම් දැනීමක් ඇතිව සිටි පුද්ගලයන් ලංකාවේ නොසිටියේ යයි කිව නොහැකිය. එයට හේතුව බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩමවීමය. එහෙත් ලංකාවේ බුදු සමය තහවුරු වන්නට පටන් ගත්තේ දේවානම්පියතිස්ස යුගයේ දී මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් පසුවය.
මෙසේ මුල් යුගයේදී ආගමික සම්ප්‍රදායයන් බිහිවීමට පෙර මිනිසා විසින් ග්‍රහතාරකාදීන් සහ පබ්බත, වන, ආරාම, චෛත්‍යාදීන් සරණ ගියහ. පුදපූජා පැවැත්වූහ. මෙසේ පවත්වනු ලැබූ යාග හෝමාදිය ලංකාවේ ආදිතම යුගයේ නර්තන සම්ප්‍රදායයන් හැටියට පවතින්නට ඇතැයි නිගමනය කළ හැක.
එහෙත් සමකාලීන ඇදහිලි හා විශ්වාසයන් අනුව ගිය කවර හෝ නිර්මාණ සම්ප්‍රදායයක් සිංහලේ නොතිබෙන්නට ඇතැයි ද කිව නොහැකිය. එයට මූලික හේතුව වශයෙන් දැක්විය හැක්කේ නොදියුණු යැයි සම්මත අප්‍රිකානු ගෝත්‍රික ජනයා අතර පවා ඔවුන්ට ආවේණික සංස්කෘතියට අනුරූප වූ නර්තන අංග ඔවුන්ගේ සංස්කෘතියෙහි දක්නට ලැබෙන බැවිණි. ඒ අනුව බෞද්ධ සංස්කෘතික උරුමය ලැබෙන්න පෙර ආදිකාලීන සිංහලේ විසූ ජනතාවට ආවේණික වූ සංස්කෘතියක් යටතේ සිංහල ජනයාට ආවේණික වූ නර්තන සම්ප්‍රදායයන් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
ලංකාවේ නාට්‍ය කලාව ආරම්භය ආදිකාලීන යුගයේ පැවති ඇදහිලි විශ්වාස පදනම් කරගෙන ඇති වූ ඒවා හැටියට සැලකිය හැක. ඒ බුදු සමයේ ආභාෂය ලැබීමට පෙරය. බුදු සමයේ ආභාෂය පූර්ණ වශයෙන් ලංකාවට ලැබීමට පෙර ආජීවක, ජටිල ආදී ආගමික ඇදහිලි ක්‍රම මෙන්ම වෙනත් දේව ඇදහිලි ආදිය පැවති බැවින් සමකාලීනව පැවති එම ඇදහිලි ක්‍රම අනුගතව ගිය ප්‍රාථමික නර්තන සම්ප්‍රදාය බුදුසමයේ ආභාෂය ලැබීමෙන් පසුව පෙරට වඩා වෙනත් මාර්ගයකට පරිවර්තනය වූ බව පෙනේ. විශේෂයෙන්ම දේවානම්පියතිස්ස යුගයේ දී ලංකාවට සම්ප්‍රාප්ත වූ මහා මහේන්ද්‍ර සංස්කෘතිය තුළින් මේ රටේ ආගම් සම්ප්‍රදාය බෞද්ධ ආගමික සම්ප්‍රදාය මත පදනම් වූ බව පෙනේ. ඒ අනුව සිංහලේ නව ආගමික සම්ප්‍රදාය බෞද්ධාගම විය. ඒ අනුව පසුකාලයේ දී මෙහි වූ සිංහල සම්ප්‍රදායයන්ට බෞද්ධාගමික මුහුණුවර ද ඇතුළත් වන්නට විය.