රූපණ අභ්‍යාස සහ රංග ක්‍රීඩා
 

රූපණය සඳහා ආධුනික නළු නිළියන් පුහුණුව ලැබීම අවශ්‍යය. ඒ සඳහා විධිමත් අභ්‍යාස මාලාවක් හැදෑරිය යුතුය. ඊට උචිත වන ක්‍රියා සැලැස්මක් පහත දැක්වේ.


රංග අභ්‍යාස වැඩමුළුවකින් රංගන කුසලතාව වර්ධනය කරගත හැකිවන අතර එවැනි පාඨමාලාවක් සති අන්ත මාස 6ක හෝ වසරක හෝ පුහුණුවක් ලැබිය යුතුය. වසර දෙකක පමණ දීර්ඝ කාලයක් ඉතා ක්‍රමානුකූලව පුහුණු වන්නේ නම් ඉතාමත් විශිෂ්ට මට්ටමක නළු කමක් පුහුණු විය හැකිය. ක්‍රමානුකූල පාඨමාලාවකට අවශ්‍ය රංගාභ්‍යාස වැඩමුළුවක විෂයයන් මෙහි අන්තර්ගත කෙරෙන අවධානයට යොමුකරන පෞද්ගලික හෝ කණ්ඩායමක් වශයෙන් හෝ පුරුදු විය හැකි අභ්‍යාස රංග ක්‍රීඩා ඉරියව්, කීපයක් සඳහන් කරනු ලැබේ.


සැහැල්ලුව, රඟපෑමට අවශ්‍ය මූලික සිද්ධාන්තයකි. සැහැල්ලු බව සඳහන් කිරීමේ දී කායික හා මානසික සැහැල්ලුව අවශ්‍ය දෙයකි. මෙය උපදේශකයෙකු හා අතිරේක උපදේශකයෙකු යටතේ ලබන උපදෙස් මත විධාන ලැබ පුහුණු වන්නේ නම් අනර්ඝය.


පළමුව සැහැල්ලු ඇඳුමක් ඇනලා ගන්න. සිවිලිම දෙස බලා බිම උඩු අතට දිගාවන්න. හිස පිටිපස, පිට, තට්ටම්, කලවා, විළුඹ, වැලමිට, දෙඅත්ල බිම ස්පර්ශ වන අන්දමින් දිගාවන්න.


3. ඒ සෑම කොටසක් ම චලනය කර අනතුරුව සැහැල්ලු කරගන්න


2.1. මුහුණේ මාංශ පේශී ඉහළට පහළට චලනය කරන්න. දෙපසට චලනය කරන්න. වටේට කරකවන්න. සැහැල්ලු කරන්න.
3. හිස්කබල එකවර තද කරන්න. යළි එය සැහැල්ලු කරන්න.
4. ගෙල තද කරන්න. යළි ලිහිල් කරන්න. ඉහළට පහළට වටේට චලනය කරන්න. යළි සැහැල්ලු කරන්න.
5. බාහුවේ කුහරගෝල සංධිය පෙදෙස තද කරන්න. යළි ලිහිල් කරන්න. වටේට චලනය කර සැහැල්ලු කරන්න.
6. බාහුවේ වැළමිටේ උඩ කොටස තදකර අනතුරුව ලිහිල් කරන්න. චලනය කරන්න. පේශී ක්‍රියාකරවා අනතුරුව    ලිහිල් කරන්න.
7. වැලමිට තද කරන්න. යළි ලිහිල් කරන්න. චලනය කරන්න.
8. මැණික් කටුව තද කරන්න. යළි ලිහිල් කරන්න. තද කරන්න.
9. අත්ලේ ඇඟිලි තදකර විදහාලන්න. යළි බෝලයක් අල්ලන්නා සේ කරන්න. යළි විහිදා සැහැල්ලු කරන්න.
10. ඇඟිලි අඩක් දෙපැත්තට කරකවමින් චලනය කර සැහැල්ලු කරන්න.
11. පසුව ඉහළට නෙරපා යළි ලිහිල් කර හරින්න.
12. ආමාශය සහිත උදරය ඉහළට නෙරපා යළි ලිහිල් කර හරින්න. යළි පහතට හෙළා දෙපසට චලනය කර හරින්න.
13. තුනටිය ඉහළට නෙරපා යළි පහතට දමන්න. බිම ස්පර්ශ වන අන්දමට ලිහිල් කරන්න. දෙපසට චලනය කර ලිහිල් කරන්න.
14. තට්ටම උස්සා යළි බිමට තෙරපන්න. දෙපසට චලනය කර ලිහිල් කරන්න.
15. උකුල හා දණහිස් අතර කලවා පේශීන් තෙරපා යලි ලිහිල් කරන්න. ඉහළට තෙරපා යළි බිමට දමන්න. චලනය කර ලිහිල් කරන්න.
16. දණහිස් සන්ධිය තදකර ඉහළට හා පහළට තෙරපා ලිහිල් කරන්න.
17. දණහිස හා වළලුකර අතර කෙණ්ඩාව පේශිය තදකර ලිහිල් කරන්න.
18. වළලු කර තදකර ලිහිල් කර හරින්න.
19. යටිපතුළ හා පා ඇඟිලි තදකර තෙරපා දිගහැර යළි ලිහිල් කරන්න.
20. අවසාන වශයෙන් සිරුරේ මධ්‍ය කොටස සිවිලිම දෙසට උස්සා යළි බිමට තෙරපා හරින්න. යළි චලනය කර ලිහිල් කරන්න.  පිටඋරපතු සහ හිස පහළට ඔසවා යළි බිමට ලිහිල් කර සැහැල්ලු වන්න හරින්න.
21. යළි මුළු සිරුරම සැහැල්ලු කර ඉහළට පාවී යන ලෙස විඳ ගන්න. යළි බිමට පාවී යන ලෙස විඳ ගන්න.
22. යළි ඉහත කළ ක්‍රියාවෙන් සියල්ලම වේගයෙන් ක්‍රියාවට නංවන්න. සියළු කොටස් හා අවයව ක්‍රියාකළ  ආකාරය සිහියට නංවමින් සැහැල්ලු බවට පත් කරන්න. මුහුණ, හිස, ගෙල, උරහිස්, බාහුව, වැලමිට, වැලමිට පහත කොටස, මැණික් කටුව, අත්, ඇඟිලි, පපුව, ඉහළ කොටස හා පහත කොටස ආමාශය හා උදරය, උකුළ, ඉඟටිය, තට්ටම, කළවා, කෙණ්ඩ, දණහිස්, දණහිස පහත කොටස, වළලුකර, පය ඇඟිලි, මුළු සිරුරම ආදී වශයෙන් ඉහළට අදිමින් යළි පහතට තෙරපමින් චලනය කරමින් මුදා හරින අතර සැහැල්ලු කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017