අරුම පුදුම රටේ-පණමට පොල් හැටේ
 

'අල්ලපු අත්තත් නෑ-පය ගහපු අත්තත් නෑ'
තිබෙන දේත් ලැබෙන්න තිබූ දේත් නැති කරගෙන දෙපැත්තකින් අලාබ ලැබීමයි.

'අලගු තියන්නත් බැහැ'
අලගුව යනු පොල්, දෙල් ආදිය විකුණු විට සියයට එකක්‌ බැගින් වැඩිපුර දෙන දීමනාවකි. ඒ අනුව 'කිට්‌ටු කරන්නවත් බෑ' යන අදහස මෙම ප්‍රස්‌තාව පිරුළෙහි ඇත.

'අලට වැඩිලු කොස්‌-ඊටත් වැඩිලු හිසරදේ'
ලෝකයේ යහපත් දෙයට වඩා අයහපත් දෙය වැඩි බව මෙයින් ප්‍රකාශිතය.

'අන්ධයෝ ඇතාගෙ හැඬරුව කීවා වගේ'
යමක ඇති සැටි නොදැන කතා කිරීමකි.

'අරුම පුදුම රටේ-පණමට පොල් හැටේ'
ඉතා පුදුම එළවන අසාමාන්‍ය සිදුවීමක්‌ ගැන කියවේ.

'අම්මා පෙව් රන්කිරි මතක්‌ වෙන්න ඇති'
බලවත් අමාරුවකට මුහුණ පා අතීතය සිහිවෙන්න ඇති යන අර්ථය දේ.

'අම්බලමේ කයිරුව උඩ ඉන්න කාගෙවත් අවසර මොටද?'
අම්බලමේ කයිරු උසස්‌ අසුනක්‌ නොවේ. එබඳු තැනක සිටීමට කාගෙන්වත් අවසරයක්‌ අවශ්‍ය නැත.

'අමුතු ගමක්‌ ගන්ට ගොස්‌ තිබුණු ගමත් නැතිවුණා'
වැඩි දෙයක්‌ හෝ නම්බුවක්‌ ලබන්නට ගොස්‌ තිබුණු නම්බුවත් නැතිකර ගැනීම ගැන කියවේ.

'අමුවට ඉස්‌සරවෙලා කාවලු පූදිනවාලු'
අමු යනු ධාන්‍ය විශේෂයෙකි. එය වැපිරූ විට කාවලු නම් වල් පැළෑටි ද වැවේ. බලාපොරොත්තු වු දෙය පසු වී බලාපොරොත්තු නොවූ දෙය ඉක්‌මන් වන බව කියවේ.

'අමාරුවට මතෙඅප්පුත් වෙදරාළලු'
හදිසි වුවමනාවකදී අඩුපාඩු ඇති කෙනෙකුගෙන් හෝ වැඩය කරවා ගතයුතු බව මෙයින් කියවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017