සිද්ධි හා අවස්ථා නිරූපණයෙහි දී ධර්මසේන හිමියන් දැක් වූ කුසලතාව
 

සද්ධර්මරත්නාවලී ග්‍රන්ථකරණයේ මුඛ්‍ය තේමාවන්ට අනුකූලව සිද්ධි හා අවස්ථා නිරූපණය කර ඇති බව පැහැදිලි කරුණකි. බණකතා රීතිය ප්‍රකට වන ලෙසිනුත්, අසන්නන්ගේ සිත්හි හැඟීම් ජනිත කරවීමට සමත් ආකාරයටත් මේවා නිරූපිතය. පටාචාරා, ථූල්ලතිස්ස වැනි කතා පුවත්වල චිත්තරූප මැවෙන පරිදි ඉතා දක්ෂ ලෙස සිද්ධි අවස්ථා නිරූපණය කර ඇත.


නිර්දිෂ්ට කතා අතර ඇති පුතිගත්තතිස්ස හිමියන්ගේ කතා වස්තුවේ ද එවැනි අවස්ථා බහුලව දක්නට ලැබේ. තිස්සහිමියන්ගේ රෝගය ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වූ අයුරු, ප්‍රකාශ කිරීම, මඤචපරායනව අසරණව සිටීම, බුදුරදුන් පිහිට වීමට සිතීම හා පිහිට වීම, සෝදා නහවා පිරිසිදු කිරීම, පියෙකු සේ ධර්ම සරලව කියා දීම, ඉහ ඉද්දර ම වී සිට මහා කරුණාව පෑම ආදී අවස්ථා එසේ සාර්ථකව නිරූපිතය.

රෝගය ක්‍රමයෙන් උත්සන්නව මඤ්ව පරායනගත වූ අවස්ථාව,

"හබ සා විතර සීන් කස් ඇති ව ලා පසුව මුං සා ව පසුව මෑ ඇට සා ව පසුව ඇඹුල සාව, පසුව වෙල් සාව ලා පැසී ගොසින්....සිදුරු විසිදුරු විය.

බුදුරදුන් සැලකීමට ඉදිරිපත් වූ අයුරු,

"හුණුපැන් හුණු කරවන සැළිය කුසරජ කලක් වළන් සෝඩා.....මඳ අටුවෙක රළු ව නොවියළෙන්ට ලවා ලූ සේක"
"බුදුහු ඉස්දොර වැඩ සිට ......හළ දඬුකවක් මෙන් පොලොවට ම පැමිණෙයි" පෙර කළ අකුසලය ප්‍රකාශ කරන අවස්ථාව. "කසුප් බුදුසමයෙහි පක්ෂීන් බදා විකුට ජීවත් වන වැදි කුලයෙක ඉපැද......කකුල් ආදිය බිඳ තබාලා විකුණයි" කිසාගෝතමියගේ කතා වස්තුවේ දී ද ඉතා සාර්ථකව සිද්ධි නිරූපණය කෙරෙයි. ධනය නැති වූ විට ඉතා බලවත්ව එය පුද්ගලයෙකුට දැනෙන බව.

"සිටාණෝ ඒ දැන මුසුප්පු බලවත්ව ගොසින් කෑමුත් නැතිව හැඳට නැගිලා වැදහොත්තෝය." එමෙන්ම කිසාගෝතමියට විහිළු කළ ආකාරයත්, ඇය හා මිනිසුන් අතරත්, බුදුරදුන් සමඟත්, ගෙවල්වල මිනිසුන් සමඟත් ගනුදෙනු කළ ආකාරය ඉතා සජීවිව සංවාද ඇසුරු කරගෙන නිරූපණය කරයි. කුණ්ඩලකේසි කතා වස්තුව තුළින් ද මෙ වැනි ම සිද්ධි හා අවස්ථා නිරූපණ දැකිය හැකිය.

ඇය සිරකර තැබීම, සොරා දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇති වීම, ඔහු ලබා ගැනීමට දෙමාපියනට බලපෑම් කිරීම, සොරාට ලබා ගැනීම ආදී අවස්ථා ඉතා සජීවිව නිරූපණය කර ඇත.

"ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇති ව ඌම පතා....ඌම කැමති හෙයින් මරණින් ගැලවුණු තැනැත්තවුන්ට සරණපොවා දුන්හ."
                                                                         (කුණ්ඩලකේසිගේ වස්තුව)

සොරාගේ අවධානය, ආදරය දිනා ගැනීමට කුණ්ඩලකේසිය හැසිරෙන ආකාරයත් කදිමට නිරූපණය කෙරේ.

"සිටු දුවණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්හරණ ලා .....නාවති"
                                               (කුණ්ඩලකේසි වස්තුව)

සොරා ද තම සොර සිත යටින් නිරූපණය වීමට හැර මතු පිටින් ඔහුගේ උපක්‍රමශීලී රංගනය කෙරෙන ආකාරය නිරූපණය කිරීම අතිශය විචිත්‍රය. බාරයක් ඔප්පු කිරීමට සූදානම් වීම, ගල මතුපිටට පියවරෙන් පියවර රැගෙන යාම, මරණ බව දන්වා සිටීම ආදීය විචිත්‍ර චිත්ත රූප මැවෙනාකාරයෙන් ඉදිරිපත් කෙරෙහි.

අනතුරුව සොරු මරා දැමීමට පේවෙන අවස්ථාව ද ඉතා සිත් ගන්නා සුලු ය. සැරියත් හිමි හා වාද කොට හෙම්බත් වීම, එනිසා ම සැරියුත් හිමියන්ගේ එකම ප්‍රශ්නයකට වත් පිළිතුරු දීමට අපොහොසත් වීමාදිය කදිමට නිරූපිතය. කුම්භඝෝෂක කතා වස්තුවේ දී ද, කුම්භඝෝෂක නම් තම දරුවාට අභිවාතක රෝගයෙන් බේරීමට පලා යාමට කඳුළු පිරි දෙනෙතින් දෙමාපියන් සමුදීම.

කාන්තාවන්ගේ උපක්‍රශීලි බවට සිටුපුත් අසුවීම, පියවරෙන් පියවර එම උපක්‍රම ක්‍රියාත්මක වූ ආකාරය,සිය දියණිය මායමින් ඔහු හා විසීමට සැලැස්වීමාදිය රජු-සිටුපුත් හමුව ආදී මේ සියල්ල ඉතා සජීවි ආකාරයෙන් නිරූපිත ය. (මේ අවස්ථාවලට, නිදසුන් නියමිත කතාවස්තුවලින් උපුටා ගන්නා) මෙලෙස සද්ධර්මරත්නාවලිය පුරා ම පවතින සිද්ධි හා අවස්ථාවලින් බොහොමයක් ම ඉතා විචිත්‍රවත්ව අසන්නන්හි සිත් තුළ චිත්තරූප මැවෙන ආකාරයෙන් සජීවිකරණය කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017