සද්ධර්මරත්නාවලියෙන් නිරූපිත ජන විඤ්ඤාණය
 

සද්ධර්මරත්නාවලියෙහි කවර කතා පුවතක් උධෘත කළ ද, ඒ සෑම කතා පුවතක ම ගැබ්ව ඇත්තේ ධර්මසේන හිමියන් අත් දුටු, අද්විඳි ජන විඤ්ඤාණය යි. ඒ තුළින් සමාජය එහි වසන මිනිසුන්, මිනිසුන්ගේ සිතුම්පැතුම් වේෂ්ටාවන්, ජීවිකා වෘත්තීන්, සමාජ සිරිත් විරිත් හා ඇදහිලි විශ්වාස අඩුවක් නැතිව නිරූපණය කෙරෙයි. ගැඹුරු දහම් කරුණු ඉතා සරලව ඉදිරිපත් කිරීමටත්, කතා රසය මතු කිරීමටත් කතා හිමියන්ගේ ගැමි විඤ්ඤාණය මැනවින් ඉවහල් කර ගනී.

සමකාලීන සමාජ පරිසරය තුළ ද ධනපති නිර්ධන පංති පරතරය පැවැති බව පහත නිදසුනින් පැහැදිලි වෙයි.

"බඩු මිල ඇත්තවුන් බොහෝ වස්තු හැර ගන්නා සේ"

එම සමාජය තුළ ම ආසන ශාලා පැවැති බවත්, ඒවායින් මිල ගෙවා ආහාර ලබාගත් බවත්, වැළඳූ බතට දෙන මිලක් පරිද්දෙන්" යන්නෙන් කියවෙයි.

රැකියා ලෙස ගොවිතැන, ධීවර කර්මාන්තය, වෙළඳාම, වඩුවැඩ, ආදී රැසක් කියැවේ.

පහත උධෘත නිදසුන් කළ හැකිය.

"බොල් විනා විකත් නැති කලවිටක් පරිද්දෙන්"
"දැලකට අසු වූ කුඩ මැස්සකු මෙන්"
"බඩු සහිත කොට සොරකු අල්වාගත් පරිද්දෙන්"
"එක ගම දෙවෙළඳාමක් සේ"

විවිධ වෘත්තීන්ට අමතරව යුද-සටන් පිළිබඳව ද යාතු කර්ම, භූත විශ්වාස, ජන විශ්වාස හා සිරිත් විරිත් ආදිය පිළිබඳව ද කියවේ.

"සතුරු පිරිස් නොදැකත් සටන් බෙරහඬ ඇසූ පමණින් ම බිඳී පලා ගියත් වුන් නියාමය"

"යකදුරන්ට ළං වූ පිශාචයෙකු මෙන්"
"එක වරෙක වදන පැටවුන් මුත් දෙවන වාරයේ නොවද එක මුරයෙන්ම වඳ වේද?"
"මේසනාද පමණකින් දරු සම්පත් ලදින් කෙකින්නක් බලවත්ව සතුටුවන්නා සේ"
"කොතෙක් බත් කෑවත් පැන් පුවොත් මිස පිපාසා නොසන්දිදෙන්නාසේ"
"බතින් සාද විදියවුනට බුලත් දෙවා සාද නිමවන්නා සේ"
"මඟුලින් හෙළා ලූ කප උගුළු වන්නට බැරියා සේ..."
"අවස්ථා පිළියම් දක්නා වෙදවරුන් නිදන් දන්නා සේ"

ගොවිකම හා දහම එක්කොට ගලපා ලූ අවස්ථා ඉතා බහුලව දක්නට ලැබේ.

"පළමු කොට කුඹුරු ගෙවදිය යුතුය. ඉක්බිති බිම නැඟිය යුතුය. නියර කෙටිය යුතුය. තුන් සීසාන්ට යුතුය. කැට තළා පෝරු ගෑ යුතුය. ඉස්නන් තෙමිය යුතුය. ගොයම් රෝගයට කෙම් කළ යුතුය. ගොයම් පැසී ගිය කලට දා මැඩ වී අටු කොටුවල ලිය යුතුය. පෙරළා හිපිනැලි සෑව යුතුය. වල් පොළ කෙටිය යුතුය. දවා හෙළි කට යුතුය. වපුළ යුතුය. මාස් සමසක් මෙලෙසම කටයුතුය."

"සසර කෙළවර නොපෙනෙන්නා සේ මේ කර්මාන්තයෙහිත් කෙළවරක් නොපෙනෙයි"

ධර්මසේන ස්ථවිරයන් නගරයෙහි නොව පිටිසර ඉපිද පිටිසරයන් අතර ම ඇති දැඩි වූ පිටිසරයෙකු විය යුතුය."
(මාර්ටින් වික්‍රමසිංහ - විචාර ලිපි)

"පිටිසරයන් අගය කළ ඔවුන්ට ඇලුම් කළ ඔවුන්ගේ ව්‍යවහාරයන් පෝෂණය ලත් කවීත්වය ඇත්තෙකු වූහ'යි සිතමි"
(මාර්ටින් වික්‍රමසිංහ - විචාර ලිපි)

ධර්මසේන හිමියන් පොතින් පතින් ලත් දැනුමට වඩා දිවි පෙවෙතින් ලත් දැනුම හා උගැන්ම පිළිබඳ හැඟවේ, කතාවස්තුවල නම් වුවත් පරිවර්තනය කර සකසා ගත්තේ තම පරම මිතුරන් වූ ගැමියනට තේරෙන විලාසයකිනි.

"ගෙරි මරා කන එකකුගේ පුතකුගේ වස්තුව"
"කුකුළු බිජුවට කන කුමාරිකාවගේ වස්තුව"
" බුදුන් තමන් වහන්සේගේ නෑයන්ගේ කලහය - සන්හිද වූ වස්තුව"

ඉහතින් දැක් වූ ඉතා ස්වල්ප කරුණුවලට අමතරවසද්ධර්මරත්නාවලිය පුරා ම ධර්මසේන හිමියන්ගේ ජන විඤ්ඤාණගත දැනුම මොනවට ඔප්පු වේ.

(මෙම කොටසෙහි නිර්දිෂ්ට කතා වස්තුවලින් උධෘත ගෙන නොමැති අතර ඒවා සොයා ගැනීමට උත්සුක වන්න)

(c) Shilpa Sayura Foundation 2006-2017