ධර්මසේන හිමියෝ සිය කතා කලාව සඳහා තමනට ආවේණික ආකෘතියක් යොදා ගැනීමට උත්සාහ කළහ. මෙය පෙළ අටුවාවට අනුගත වූවක් නොවුණ අතර සිය බණකතා කීමේ කලාවට ආවේණික වූවකි. ඒ තුළින් කතාන්දරයක් කීමේ කලාව පෙන්නුම් කරයි. පාඨකයා නිරන්තරයෙන් ඇද බැඳ තමා ගත හැකි ආකෘතිය රටාවකටයි ධර්මසේන හිමියන් ප්‍රිය කළේ ඒ සඳහා සිද්ධි හා චරිත මනාව නිරූපනය කරමින් කතාවේ මුල-මැද-අග ගළපා ගනී.
මේ සඳහා වර්තමාන කතාව මෙන් ම අතීත කතාවක් ද භාවිත කර ඇත. සමහර කතාවල වර්තමාන කතාව පමණී. කතාවේ නිමිත්ත එහි මුලින් ම දැක්වීම සාමාන්‍ය රීතියක් මෙනි. එය සමහර විට හේතුවක් හෝ උපදේශයක් විය හැකිය.
"තව ද කවරේටත් නුවණම පිහිට වන නියාව හඟවන්නට කිසාගෝතමීන් ඈගේ වස්තුව දක්වමු"
"තව ද නිෂ්ප්‍රයෝජන කතාවෙන් ප්‍රයෝජන ලවයකුත් නැති නියාව හඟවන්නට කුණ්ඩලකේසිගේ වස්තුව දක්වමු"
එසේම දීමට ඇති උපදේශය, පාඩම හෝ ආදර්ශය අවසානයේ දී දක්වයි.
"එහෙයින් නුවණැත්තවුන් විසින් ලැදි සටන් ආදී වූ සෙසු......සටනට ම නියැළී හින්ද යුතු"
"එහෙයින් සත් පුරුෂයන් විසින් ශරීර පුෂ්ටිය නැතත්....ගුණ පුෂ්ටිය එවා ගත යුතු"
කතාවලට මාතෘකා යෙදීම ද පෙළ අටුවාවට අනුගත නොවී සකස් කර ගත්තකි. මාතෘකාවෙන් ම කතාවේ අන්තර්ගතය ද දැනෙන්නට හැරීම වැදගත් ය. එය නූගත් ගැමි ජනයාට අත්‍යවශ්‍ය ක්‍රමයක් බව පෙනේ. බොහෝ විට සිද්ධි හා චරිත නිරූපණයේ දී අත්‍යවශ්‍ය දේ පමණක් ගෙන ගොඩ නඟා ගනියි. එහි දී ගැඹුරු දහම් සරලව පෙන්වීමටත්, දුරවබෝධ ස්ථාන වෙනත් උපක්‍රම මගින් පහදා දීමටත් උත්සාහ ගනී.
පාඨක අවධානය ලබා ගනිමින් එකතැන නොලැග වේගයෙන් ගලා යාමට සලස්වයි. හැඟීම් ජනිත කරමින් හදවත සසල කරවීමට මේ කතා ආකෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.
ධම්මපදට්ඨකථාවේ පදානුගත පරිවර්තනයක් නොවුණු නිසා ම එහි ආකෘතිමය ලක්ෂණ සද්ධර්මරත්නාවලී කතා වස්තුවලින් බැහැරව ඇත. සංවාද බහුලත්වය ද ආකෘතිමය ලක්ෂණයක් ලෙස කිව හැකි ය. චරිත අතර සංවාද සජීවිව ඉදිරිපත් කිරීම ශෝත්‍රැ ජනයාගේ රුචිකත්වය වර්ධනය කිරීමට අනිවාර්ය හේතුවක් වනු ඇත.
ඇතැම් ගාම්භීර ධර්ම කරුණු වටහා දීම උදෙසා පාලි ගාථාදිය භාවිතා කිරීමට ද කතුවරයා පෙළඹී ඇති බැව් පෙනේ.
මේ ආකාරයට පෝදුජන අරමුණු සාකච්ඡා වන ආකාරයටත්, ධර්මසේන හිමියන්ගේ බණකතා රීතිය මුදුන්පත් වන ආකාරයටත් කතා ආකෘතිය සැකසී ඇත.