මනුෂ්‍යත්වය පිළිබඳ ධර්මසේන හිමියන්ගේ දෘෂ්ටිය, ගතානුගතිකත්වය ඉක්මවා ගිය උපේක්ෂා සහගත සානුකම්පිත එකකි. මිනිසා පමණක් නොව සකල සත්ත්ව සංහතිය කෙරෙහි ම උන්වහන්සේගේ සානුකම්පිකත්වය පැතිරී යයි. පුද්ගල චරිත නිරන්තර හැල හැප්පීම්වලට ලක් වෙයි. එය රාග, ද්වේශ, මෝහාදියේ තෙරපීම් ය. කැළඹීම් ය.
පුද්ගලයා එයින් පරිපීඩිතව සිය සසර ගමන ගෙවා දමයි. මේ පිරිපීඩිත චරිත ධර්මසේන හිමියන් උපේක්ෂාවෙන් යුතුව අවබෝධ කොට ගනිති. ඒවා සංසාර ගති ලෙස සිතා සානුකම්පික වෙති. කතාවේ අත්දැකීම් තමාගේ ම අත්දැකීම් බවට පත් කර ගැනීමෙන් මෙහි යථාර්ථ ස්වරූපය තව තවත් ඔප් නැංවේ. නිර්දිෂ්ට කතා පුවත්වල එන චරිත හා සිද්ධි අධ්‍යාපනයෙන් මේ බැව් තව දුරටත් තහවුරු වෙයි.
පුතිගත්තතිස්ස හිමියන්ට වැළඳෙන රෝගය, පුදුමයට කරුණක් නොවන අතර එය ලෝක ස්වභාවය බව පෙන්වා දීමට කතාව ආරම්භයේ දී ම ජීවිතයක කතා ස්වභාවය විස්තර කරයි. "තව ද ජීවිතය විදුලියක් මෙන් චිරස්ථීත නොවන නියාව ද....දියෙහි ඇදී ඉරක් මෙන් මැකෙන නියාව ද" ජීවිතයකට එන විවිධ බාධක, අභියෝග අතර ලෙඩ රෝග ද එක් අංශයකි. රෝගාබාධයන්ටත් වඩා ඛේදජනක තත්ත්වය නම් පිය-පුතු සෙනෙහසින් සිටිය යුතු ශීෂ්‍යයන් ද සිය ගුරුවරයා අතහැර දමා යාම යි. සාමාන්‍ය සමාජයේ දී දක්නට ලැබෙන මෙය පැවිදි සමාජයට වුව ද පොදු සත්‍යයක් බව පෙන්වා දෙයි. "ශිෂ්‍ය වහන්දෑත් බැලිය නොහී අත්හළ සේක" මඤචපරායන වූ අවස්ථාවේ දී තම ශාස්තෘවරයාගේ නායකත්වය සතු ප්‍රබල ගුණාංගයක් ලෙස අගය කෙරේ. මිය යන මොහොතක කවර දෙයක් වුව යමෙකුට සුව උපදවන්නකි.
තම නිරොගිතාවට වාසනා ගුණ නැතත් බුදුරදුන්ගේ දර්ශනය හා උපකාරයෙන් පමණක් වුව සිත සනසා ගනී. "ආරෝග්‍යතාවට පින් නැතත් ශක්‍ර බ්‍රහ්මාදින්ගෙන් අත් පා මෙහෙ බුදුන්ගෙන් අත් පා මෙහෙ ලබන්නට පින් ඇති හෙයින් බුදුන් නාවන නෑවීම ලැබ වැඩහොත් සේක" තිස්ස හිමියන් පෙර කළ අකුසලය දිගින් දිගට ම කියා ගෙන විත්, පාඨකයාගේ සිත්හි ද්වේශයක්, පිළිකුලක් ඇති නොවන ලෙස එ තුමන්ගේ කුසල විශේෂයක් ද සඳහන් කරනු ලබයි. "අනේ බොහෝ ප්‍රාණ වධ කළෙමි. මසවුලෙන් යුක්ත කොට.....පසඟ පිහිටුවා" කිසාගෝතමීන්දෑගේ වස්තුවේ ද මිනිස් සිත විනිවිඳ දැකිය හැකි අවස්ථා බහුලව දක්නට ලැබේ.
තමන් දැඩි ආශාවකින් සිටි යමක් අහිමි වූ විට පුද්ගලයන් මානසිකව පසුබාන අයුරු සිටාණන්ගේ වස්තුවේ අඟුරු වූ ස්ද්ධියෙන් පැහැදිලි කෙරෙයි. "සිටාණෝ ඒ දැක මුසුප්පු බලවත්ම ගොසින් වෙස් කෑමුත් නැතිව හැඳට නැඟිලා වැද හොත්තේය" යහළුවෙකු ලෙස සගයාගේ දියුණුවට දෙන උපදෙස් ප්‍රබල මෙන්ම ධෛර්යය දනවන්නක් බව පෙනී යන්නේ අඟුරු අඟුරු වූ ධනය යළි රන් රිදී කර ගැනීමට මඟ පාදා දීම තුළිනි. පුද්ගලයෙකු මැනිය යුත්තේ ඔහුගේ ශරීර ප්‍රමාණයෙන් හෝ දුප්පත් පොහොසත් බවෙන් නොව ගුණ නුවණින් බව පෙන්වා දෙන්නේ මෙසේය. "එකල ශරීර අති දුර්වල හෙයින් නමින් කිසාගෝතමී නම් වුවත් සිතින් දුර්වල නොවන ඉතා දුප්පත් කුමාරිකා කෙනෙක්....." මවකගේ දරු සෙනෙහස උත්සන්න වූ විට දැඩි සේ හැඟීම් බරව යථාර්ථවාදි නුවණ යටපත් වන අයුරු ද මේ කතාවෙන් පෙන්වා දේ.
මළ දරුවා කර පින්නා ගෙන කිසාගෝතමිය පිස්සියක මෙන් ඒ මේ අත ගමන් කිරීම කදිම නිදසුනකි. කුළුඳුල් දරුවා නිසා මේ වාතාවරණය තවත් දෙගුණ තෙගුණ වෙයි. එවන් මව්වරුනට එක්වරම මරණය හෝ ජීවන යථාර්ථය අවබෝධ කර දීමට යමෙකුට නුපුළුවන. ඒ සඳහා සුදුසු පරිසරය සකස් කර ගත යුතුය. එම පිරිසරය මැනවින් උපක්‍රමශීලිව බුදුරජාණන් වහන්සේ සකසා ගන්නා අයුරු මේ කතා පුවත් පෙන්වා දෙයි. යථාර්ථවාදී ජීවන පැවැත්මක පුත්‍ර ස්නේහය. පමණක් නොව සියල්ල මුලාවක් බව අවබෝධ කර ගන්නවා පමණක් නොව එය ම සිය ආත්ම විමුක්තියට ද උපකාරි වෙයි.
කායික හා මානසික වර්ධනීය අවස්ථාවක් ලෙස යෞවන සමය හඳුන්වා දිය හැකිය. සිය අභිමතාර්ථයන් ම සාධනයෙහි ලා ඕනෑ ම පියවරක් ගැනීමට යෞවනයෝ උත්සාහ ගනිති. ආහාර වර්ජනය, නිද්‍රාසහගත විමාදිය ඊට නිදසුන්ය. මේ සමාජ යථාර්ථය විනිවිද දුටු කතා වස්තුවක් ලෙස කුණ්ඩලකේසියගේ වස්තුව දැක්විය හැකිය. යමෙකු අතිශය ප්‍රිය කරන රූපය තමන්ගේ ම විනාශයට වුව හේතු විය හැකිය. "රූපත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලූවා සේ ලූහ." තම ජන්ම ගති කිසි දිනෙකත් වෙනස් කර ගැනීමට මැළි වන සොරෙකුට සිත යාමෙන් මේ බැව් තව දුරටත් පැහැදිලි ය. දෙමව්පියන්ගේ අපේක්ෂාව සිය දූ දරුවන්ගේ අර්ථයම බවත්, ඒ සඳහා අතිශය දුෂ්කර කැප කිරීම් ද කිරීමට සූදානම් බවත් මෙයින් පෙන්වා දේ. "සිටාණෝත් තමන්ගේ දුවණියන් අර්ථිව ඌ ම කැමති හෙයින් මරණින් කැප ගැලවුණු තැනැත්තවුන්ට සරණපාවා දුන්හ" සිය ස්වාමිපුරුෂයා හෝ පෙම්වතාගේ සිත් ගැනීමට විවිධ උත්සාහයන්හි නිරත වීමට බොහෝ කාන්තාවෝ උත්සාහ ගනිති.
එ වැනි කාන්තාවකගේ චිත්ත සන්තානය විනිවිද දෙකීමට ධර්මසේන හිමියන් කෙතරම් සමත් වූයේ දැයි පහත උද්ධෘතයේ පැහැදිලි වේ.
"සිටු දුවණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට....නාවති"
නපුරු සිතිවිලි වලට ලක් වූ පුද්ගලයා සිය අපේක්ෂාවන් ඉටුකර ගැනීමට බිරිඳ වුව ද බිලි දීමට සූදානම් බව උපක්‍රශීලිව කුණ්ඩලකේසි මරා දැමීමට කළ උත්සාහයෙන් මනාව පැහැදිලි වේ. සියලු උත්සාහයන් අසාර්ථකව ගිය කල කොතරම් දයාබර සිතක් වුව දැඩි විය හැකිය. එවිට ගන්නා තීරණය කෙබඳු එකක් දැයි සොරා පව්වෙන් පෙරලීමට කල්පනා කිරීමෙන් පෙන්වා දෙයි. "සිටු දුවණියෝත් සිතන්නෝ මුගේ කටයුත්තක් ඉතා නපුරු නිසාය. නුවණ නම්.....ප්‍රයෝජන නිසා වුව" කාන්තා නුවණින් හා ජන්මයෙන් හිමි මායම්කාරිත්වයෙන් ප්‍රයෝජනය ගත් කුණ්ඩලකේසි කාය බලයට වඩා ඥාන බලයේ දැඩි බව කියා පාමින් මරණයෙන් මිදෙන්නීය.
"උගේ කායබල තරමට තමන්ගේ ඥානයෙහි වූ මායා බලය.....තෙමේ ම බිලි විය." කාන්තාවකට තම ස්වාමිපුරුෂයාගේ පමණක් නොව සමාජයෙන් ද ගැලවීමක් නොමැත. ඒ බැව් සොරුන්ගේ මරණයෙන් පසුව කුණ්ඩලකේසියට ඇති වන ප්‍රශ්න තුළින් පැහැදිලි වේ. "ඉදින් මම ගෙට ගියෙමි නම් තොපගේ ගෙහිමියෝ....ගෙට යාමෙන් ප්‍රයෝජන නැතැයි සිතාලා" කාය බලයට වඩා ඥාණ බලයත්, තම ශක්තිය තමන් ම හඳුනා ගැනීමත් පැහැදිලි වන්නේ ඇය වාද දහස ඉගෙනීමට යොමුවීම තුළිනි. දෙමාපියන් කුමක් වුවත් තම දරුවනට සෙනෙහසින් යුක්ත බව කුම්භඝෝෂක කතා වස්තුවෙන් කියවේ.
"පුතණුවන් මුහුණ බලා කඳුලු පිරුණු ඇස් ඇතිව...." යමෙකුගේ නිහතමානි ගුණය ඔහු රාජකීයත්වයට පත් කිරීමට පවා හේතු වන බව කුම්භඝෝෂක චරිතයෙන් හෙළිවේ. ඔහු රැකියා තෝරා ගැනීම, තම ධනය එක් වර ම නොගැනීම, රජුට පවා සත්‍ය නොපවසා සිටීමාදියෙන් මේ බැව් පැහැදිලි වේ. කුම්භඝෝෂයන්ගේ කටහඬෙන් රජතුමා ඔහු කවුදැයි හඳුනාගනී. මෙම අනුමානය ඕනෑම පාලකයෙකුට තිබිය යුතුය. එය පරිපාලනයට අත්‍යවශ්‍ය දෙයකි.
කාන්තාවක ඉතා උපක්‍රමශීලිව තවත් අයෙකු වසඟයට ගැනීමට භෞතික හා මානසික පරිසරය සකසා ගන්නා අයුරු ද මේ කතා පුවත පුරා ම විහිදේ. ස්ත්‍රී-පුරුෂ සංයෝගය පරිණාමවාදී සංසාරික දෙයක් ලෙස පෙන්වා දෙයි. "වන්නාට යහපත, කරන්නේ කිම් ද? ඒ දරුවන්ගේත් තොපගේත් කවර වරදෙක් ද? සංසාර දෝෂයක් වුව" මේ ආකාරයට මිනිස් චිත්ත සන්තානයන් හා ඒවායේ ගැබ් වූ චෛතසිකයන් විනිවිද දැකීමට තරම් දක්ෂයෙකු ධර්මසේන හිමියන් හැර වෙනත් පුරාතන ගද්‍ය රචකයෙකු නැති තරම්ය.