උපමා රූපක භාවිතයේ දී ධර්මසේන හිමියන් දැක්වූ සුවිශේෂත්වය
 

සිය අභිමතාර්ථයන් සද්ධර්මරත්නාවලී කතා වස්තු තුළින් මුදුන් පමුණුවා ගැනීමට ධර්මසේන හිමියන් යොදා ගත් සුවිශේෂි උපක්‍රම කීපයකි. ඒ අතරින් උපමා රූපක මෙන් ම ආප්තෝපදේශ ආදිය භාවිතය මූලිකත්වයක් ගනී. ඒ හිමියන් විසින් භාවිතා කෙරුණු උපමා රූපකවල පවතින විශේෂතා කීපයකි. කිව යුත්ත පැහැදිලිව, නිරවුල්ව හා සිත් ගන්නා පරිදි ඉදිරිපත් කිරීමේ සාමර්ථය දක්වන්නේ උපමා රූපක භාවිතයෙනි. ඒ තුළින් තම ධර්මෝපදේශ කිසිදු ආයාසයකින් තොරව ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා ගනී. මේවා විශාල ක්ෂේත්‍රයක් පුරා විසිරී පවතින බැවින් ලබා ගත හැකි දැනුම් සම්භාරය විස්මය ජනකය. උපමා භාවිතයේදී උන් වහන්සේට අසු නොවූ අත නොපෙවූ අංශයක් නොමැති තරම්ය.

මේ ලෙස යොදාගත් උපමා රූපක අංශ කිහිපයක් යටතේ විග්‍රහ කළ හැකිය. ඒ අතුරින් බොහොමයක් දක්නට ඇත්තේ ගැමි ජීවිතය මුල් කර ගත් ඒවා බව පහත සඳහන් නිදසුන් සාක්ෂි දරයි.

"වේයන් කෑ පඬරැල් පතක් මෙන්"
"පුස්කා ගිය පැණි කැවුමක් සේ"
"මඩක තිබූ මැණික් මෙන්"
"රූපත් ව උපන්නාට සාටෝපයට සිර ගෙයක ලූවා සේ"
"හුරු තුඩ සිවැල් තැබුවා සේ"
"මග යෙමින් සිටී ම මග කොයි දැයි විචාරන්නා සේ"

ඉහත දැක්වූයේ නිර්දිෂ්ට කතා පුවත්වලින් උපුටා ගත් කීපයක් වුවත් සද්ධර්මරත්නාවලිය පුරාවට ම දහස් ගණන් මෙ වන් උපමා දක්නට ලැබේ.

උපමා යොදන විට දී උපා කිහිපයක් එක දිගට ම යෙදීම ද එක් සුවිශේෂත්වයකි. එ නම් උපමා මාලාවක් යෙදීම යි. එය "මාල උපමා" නමින් හඳුන්වමු.

"තව ද ජීවිතය විදුලියක් මෙන් චිරස්ථිතිය නොවන නියාව ද....දක්වන්නමෝ පුතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු"
කිසි යම් කතා පුවතක් සිහි ගන්වමින් උපමා යෙදීමද එක් රටාවකි.

"පිළින්දවච්ඡ සාමීන්ගේ සෘද්ධ්‍යභාවයෙනුත් ආරාමිකයන්....රන්මාලා වූවා සේ ම."
"පුක්කුසාති නම් කුලදරුවාණන්ගේ නිසා කුඹල්ගල වැඩ හුන්නා මෙන්"

එමෙන්ම ධර්මානුකූල කරුණු ඇතුළත් වූ උපමාවන් ද පවතී.

"ඌ තුමූ පුතණුවන් උද්ධුමානක පිළිකුළ ඒ අවස්ථාවෙන් සැතපූ කලට හරනා යෝගාචවරයන් මෙන්"
"සිටු දුවණියෝ ද සොරුන්ගේ දකුසල් නැමැති සතුරාත් සහාය කොට ගෙන සොරු ගලින් හෙළාලා තමන්ගේ කුසල් නැමැති මිත්‍රයාණන් සහය කොට ගෙන"

මෙවැනි විවිධාකාරයේ උපමා බහුල ලෙස යොදා ගෙන සිය ධර්මෝපදේශයන් සිත් කාවැද්දීමට ධර්මසේන හිමියෝ සමත් වූහ. එ මෙන්ම ධර්මසේන හිමි යොදා ගත් රූපකයන් ද බහුලව දැකිය හැකිය.

නිදසුන් ලෙස
නුවණ දැල, කෙලෙස්කුණට, කෙලෙස් ලෙසින්, නිවන් රස ආදී උද්ධෘත දැකිය කැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017