සද්ධර්මරත්නාවලයේ එන සාරධර්ම හා උපදෙස් පුද්ගල සංවර්ධනය කෙරෙහි බලපාන අයුරු
 

පුද්ගල සංවර්ධනය භෞතික හා අධ්‍යාත්මික වශයෙන් දෙයාකාරය. දැනුම, ආකල්ප හෝ කුසලතාවලින් පමණක් වර්තමාන පුද්ගල සංවර්ධනයක් සිදු කළ නොහැකිය. පෞරුෂ සංවර්ධය ද වැදගත් ය. පෞරුෂ ගති ලක්ෂණවල පරිහානිය අද්‍යතන සමාජ පරිහානියේ ද මු ලෙස සැලකිය හැකිය. සංවර්ධනය වූ පෞරුෂයක් කරා යොමු වීමට අවශ්‍ය කෙරෙන සාරධර්ම හා උපදෙස් දහසකුත් එකක් සද්ධර්මරත්නාවලී කතා වස්තු තුළ ගැබ්ව ඇත. ඒවායින් කීපයක් නිර්දිෂ්ට කතා පුවත් ඇසුරින් උධෘත කොට බැලිය හැකිය.

යමෙකු අසරණභාවයට පත්වීමට ලෙඩ දුක් ඈ විවිධ කරුණු බලපානු ලබන අතර සමාජ තනිකම ද එයට එකතු වන බව පුතිගත්තතිස්ස හිමියන්ගේ සිදු වීමෙන් පෙන්නුම් කෙරෙයි. පිළිසරණට පැමිණෙන්නේ සිය ආගමික ශාස්තෘවරයාණන් පමණී. එය නායකත්වය සතුව තිබිය යුතු ප්‍රමුඛ ගුණාංගයක් පෙන්නුම් කිරීමකි. එම සාරධර්ම සියලු නායකයන් තුළ ම පැවතිය යුතු බව කදිමට කියා පායි. පිය-පුතු සබඳතාවට සමාන සබඳතාවක් ගුරු-සිසු තු: ද පැවැතීම වැදගත් සාරධර්මයකි.

"ගද කිළියෙන් නික්ම වෙහෙර ඇවිදිනා සේක්...හැද එක් දිශාවක් අල්වාගත් සේක"

අනෙක් කතා පුවත්වලින් ද ජීවිතයට විවිධ අත්දැකීම් එකතු කර ගත හැකිය. කිසාගෝතමී කතා පුවත ද එ වැන්නකි. ප්‍රබල උපදේශය, අධිෂ්ඨානය හෝ උත්සාහය පවතී නම් අඟුරු වුව ද රත්තරන් බවට පත් කර ගත හැකිය.

"එනිසා මුසුප්පු නොව අඟුරු වූයෙන් සම්පත් ම වේද.....තොපිත් මා කී උපදෙස් කරව'යි කිවූය."

ඒත් නුවණැති පුද්ගලයෙක් අසරණ වූ කිසාගෝතමියට උදව් කිරීමට ඉදිරිපත් වෙයි.

"කුලුදුල් දරුවන් ම හෙයින් දෝ මුන් මළ දරුවන්....තැනක් දනිමි'යි කිවූය."

එවන් ගති ලක්ෂණ පුද්ගල සංවර්ධනයට මග පාදන බව පෙනේ. කරදරයක් වූ විට උපක්‍රමශීලිව උදව් කිරීම හා ඒ හා බැඳුණු පසුබිම අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. කිසාගෝතමියට බුදුරදුන් උපක්‍රමශීලිව උදව් කොට මරණය ගැන ලබා දුන් අවබෝධය කදිම නිදසුනකි. කඩා බිඳුණු පෞරුෂය ක්‍රමයෙන් ඉහළට නංවා දීමට පුළුවන. කිසාගෝතමිය පසුව ධර්මය අවබෝධ කර ගනී. තමා ගැන දැනගැනීමට තමාගේ ම දැනුම අවශ්‍ය වනවා මෙන්ම විවිධ විභව්‍යතා තම චිත්ත සන්තානය තුළ ම පැල පදියම්ව ඇති බවත්, ඒවා තමා විසින්ම මතු කොට ගත යුතු බවත් මින් පෙන්වා දේ. ශරීර ප්‍රමාණය කෙසේ වුවත් ඥාන ප්‍රමානය අතිශය වැදගත්ය.

එහෙයින් ගත් පුරුෂයන් විසින් ශරීර පුෂ්ටිය නැතත් චිත්ත පුෂ්ටිය ඇති ව අකුසලින් දුරුව කුසල් හි පිහිටා ගුණ පුෂ්ටිය එවාගත යුතුය.

දියුණුව පතන පුද්ගලයෙක් කිසි විටෙකත් නිෂ්ප්‍රයෝජන කතාවෙක නිරත නොවෙයි. එහි ආදීනව දක්වමින් කුණ්ඩලකේසී කතා වස්තුව ගෙන එයි. ජීවිතය ගෙන යාමට නම් සිය යෞවන වයස අවබෝධයක් ගත යුතුය. එසේ නොවුණහොත් මුහුණ දෙන ව්‍යවසන අපමණය. යෞවන මදයෙන් මත් වූ කුණ්ඩලකේසිය ගත් වැරදි පියවර නිසා සිදුවන අනිසි ප්‍රතිවිපාක වර්තමාන සමාජයට ද මොනවට ගැළපේ. එම වයසත් සමඟ ඇති මුරණ්ඩුකම්, චිත්තවේගයන් පාලනය කරගත නොහැකි වීම මේ කතා වස්තුවෙන් නිරූපිතය. විවාහය යන්න එක් වරම ගත යුතු තීරණයක් නොව සිතා මතා ගැළපේ නම් පමණක් කරගත යුත්තකි. ඒ කිසිදු ගැළපීමකින් තොරව කර ගනු ලබන විවාහයේ අනිටු ප්‍රතිවිපාක කුණ්ඩලකේසියගෙන් උගත යුතුය.

"මුසුප්පුව වැදහොත් නියාව මෑණියෝ දැක කුමකටදැයි විචාරා.....පාවාදිය හැක්කැයි කිවූය."

පුද්ගලයෙකුගේ දුර්වල ගති ලක්ෂණ කුමකින් වත් වසං කළ නොහැකි බව සොරාගේ සොර සිතුම් පැතුම් යළි යළිත් මතුව ඒමෙන් පැහැදිලිය. තම බිරිඳගේ ජීවිතයට වඩා ඇගේ ආභරණවලට ලොල් බැඳීමෙන් ඒ බැව් තහවුරු කෙරෙයි. එ මෙන්ම යටපත්ව පවතින ගුණ නුවණ අවශ්‍ය වූ විටෙක මතු කර ගත යුතුය. ඒ බැව් කුණ්ඩලකේසිය මරණයෙන් බේරීමට යෙදූ උපායන් මතුව එයි.

ආත්ම විමුක්තිය සලසා ගැනීමේ දී වුව ද සුදුසු මාර්ගයක් තෝරා ගැනීමට හැකියාවක් පැවතිය යුතු බව කුණ්ඩලකේසිය වාද දහසක් ඉගෙනීමට යොමු වීමෙන් පෙන්නුම් කෙරෙයි. යමක් වනපොත් කළ පමණකින් ජීවිතයට ප්‍රායෝගිකව මුහුණ දීමට නොහැකිය. කුණ්ඩලකේසිය ද වනපොත් කළ වාද දහස අවසන් වූ පසුව සැරියුත් හිමියන්ගේ එක් ප්‍රශ්නයකට පිළිතුරු දීමට අපොහොසත් වෙයි. ඉන් ජීවිතයට ප්‍රායෝගිකත්වය බෙහෙවින් අවශ්‍ය බව පෙන්වා දෙයි.

කුම්භඝෝෂක කතා පුවත වුව ද දූරදර්ශිව ක්‍රියා කිරීමේ අගය පහදා දෙන්නකි. කුම්භඝෝෂක ධනවතෙකු බව කටහඬෙන් රජතුමා අවබෝධ කර ගනී. නායකයෙකු සතු විය යුත්තේ ද මෙසේ ඉව ඔස්සේ තමනට අවශ්‍ය දේ දැන ගැනීමය. එම විමංසාශීලිත්වය කවර පාලකයෙකුට වුව ද අත්‍යවශ්‍යය. ඔහුගේත් රජකුල කාන්තාවන්ගේත් උපක්‍රමශීලි බව නිසා ම සිටුපුතු කවුදැයි දැන ගනී.

රාජකීයත්වයට නෑකම් කීමට පවා පුද්ගලයෙකු තුළ පවතින නිහතමානී බව හේතු වෙයි. කුම්භඝෝෂක ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්තෙකි.
"සතළිස් කෙළක් විතර වස්තු ඇතිවත් ඉපිල්ලවාසී කමෙන් වේවයි අභිමානයෙන් වේවයි තැන කිසිවක් නැති දුක්පත් එකක්හු මෙන් රෙදි කඩක් හැඳගෙන බැළවීථියෙහි බැළයන්ට බැළමේ කොට ලා හිදති."

මේ අනුව ලැබෙන උපදෙස් මුදලට වඩා ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි යොමු වූ ඒවා බව පෙනෙයි.

පාඨක අවධානය ලබා ගනිමින් එකතැන නොලැග වේගයෙන් ගලා යාමට සලස්වයි. හැඟීම් ජනිත කරමින් හදවත සසල කරවීමට මේ කතා ආකෘතිය බෙහෙවින් ප්‍රහෝජනවත් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017