ධර්මසේන හිමියන් භාවිත කළ උපහාසාත්මක ශෛලිය
 

පුද්ගල චරිත කෙරෙහි උපහාසය දැනවීමට අවශ්‍ය වූ විට එය නොබියව සිදු කිරීමට ධර්මසේන හිමියෝ සමත් වූ හ. දුර්වල චරිත ලක්ෂණ දුටු විගස ම උපහාසය මතුව එයි. එහෙත් කිසිදු චරිතයක් පිළිබඳව උපන් ද්වේශයකින් නොව දුර්ගුණ යහගුණ බවට පත්කර ගැනීමේ පවිත්‍ර අදහසිනුයි එසේ සිදුකර ඇත්තේ. එම චරිත අපහාසයට, ගර්භාවට ලක් කිරීමට හෝ අසරණ කිරීමට කිසි විටෙකත් අපේක්ෂා කර නැත. උපහාසයට වුව ද කිසිවෙකුගේ වත් සිත් නොරිදෙන ලෙස ඉතා මධ්‍යස්ථව අහිංසක ගැමියෙකු පරිද්දෙන් රචනාවට ඇතුළත් කර ඇත. කිසි විටෙකත් පුද්ගලයා හාස්‍යයට ලක්වීමට ඉඩ නොතබයි. චරිත සකසා ගැනීමේ පවිත්‍ර අරමුණින් ම උපේක්ෂා සහගත උපහාසය යොදා ගැනුණි. දයාවෙන් යුතු අනායාසයෙන් මුවඟට නැඟුණු, නිර්මාණලාපයන් ග්‍රන්ථය පුරා ම විසිරී පවතී.

නිර්දේශිත කතා වස්තුවක් නොවූව ද මේ සඳහා කඳිම නිදසුනක් වන්නේ ථුල්ලතිස්ස හිමියන්ගේ කතා වස්තුවය. එහි ඇති.

"නියං සමයේ අඬන අහසක් මෙන්"
"හිසත් බඩත් මහත් හෙයින් ථුල්ලතිස්ස නම් විය"

"සසර බැඳි බාධා රඳවන්නට හිඳවාලු කණුවක් සේ" යනාදී යෙදුම් සියුම් උපහාසාත්මක ඒවා ය.

නිර්දේශිත කතා පුවත්වල ද එ වැනි සියුම් උපහාසයන් ගැබ් වූ තැන් දක්නට ලැබේ.

"ස්වාමිනි, මුඹ වහන්සේ මපුතුන්ට බෙහෙත් දන්නා සේක් දැයි විචාළේය....කෙසේ වූ තැනෙකින් ගෙනෙම්දැයි විචාළෝය."
"ශ්‍රී යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලූවා සේ ලූ හ."
"සිටු දුවණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්හරණලා සැරසීගෙන.....ඉස සෝදවති"

"සොඳුර එතුවක් මරන්ට ගෙන යන ගමනේ....උන්ට පිදේනියක් දෙන්ට හැකි හෙයින් මුසුප්පුයෙමි'යි කිවූය.

මෙම උධෘතවලින් හැගී යන්නේ සොරා පිළිබඳව ලොල් වූ කාන්තාව ඔහු කෙරෙහි කෙතරම් රාගයක් දක්වන්නේද යන්න හා කුණ්ඩලකේසිය ගැන ඔහු දක්වන සටකපට බවයි. මෙම අවස්ථාව නිරූපණය කරන අන්දම කියවන්නා තුළ උපහාසාත්මක සිතුවිලි උපද්දවීමට සමත් වෙයි. ඒ, කරුණ කුමක්දැයි කල්තියා පාඨකයා දන්නා නිසා ය. මෙන්ම කුමාරිකාවගේ අවසන් උපක්‍රමය ද සොරා නොදන්නා නිසා උපහාසාත්මක සිතුවිලි පහළ වෙයි.

"යහපත සොඳුර වඳුව'යි කියා කවර තරමෙක වඳනා වැදීමක් බවත් නොදැන....කඩ කඩ ව ගලින් හී මිය තෙමේ ම බිලි විය"

සැරියුත් හිමියන් හා කුණ්ඩලකේසිය අතර වූ ප්‍රශ්න විචාරීම ද කදිම නිදසුනකි. ඇයගේ ප්‍රශ්න දහස ම අසා අවසන් වූ විට උපහාසයෙන් අසන්නේ ප්‍රශ්න අවසාන ද යන්නයි. එසේ නම් එක් ප්‍රශ්නයක් පමණක් අසන්න දැයි විචාරීම උපහාසය දනවන්නකි.

"පරිබ්‍රාජිකාවෝ මහතෙරුන් වහන්සේට ප්‍රශ්නයක් විචාරම්හ'යි කිවූය......එක සුගක් විචාරම්හ'යි විචාළ සේක"

කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුවෙහි ද මෙවැනි අවස්ථා දක්නට ලැබේ.

"ස්වාමිනි, මෙතැනට එන කුඩා බාලයන් නවතාලන්නට....යන කල දොර බැඳලා යෙමියි කිවූය"
"වන්නට යහපත, කරන්නේ කිම් ද?....දවස් යවන්නට බැරිය"

මේවා තුළින් කුම්භඝෝෂකයන් නොදැනුවත්ව ම කාන්තාවන්ගේ උගුලේ අසුවීම නිසා පාඨකයා තුළ සියුම් උපහාසයක් ජනිත වීම වැළැක්විය හැක්කක් නොවෙයි. මෙලෙස කතා වස්තු පුරා ම උපහාසයට මිශ්‍ර ශෛලියක් යොදා ගැනීමට ධර්මසේන හිමියෝ මැළි නොවූහ. එහෙත් ඒ උපහාසය සුමටය. කාව්‍යාත්මකය.

(c) Shilpa Sayura Foundation 2006-2017