සද්ධර්මරත්නාවලියෙහි සාර්ථකත්වය
 

සද්ධර්මරත්නාවලියෙහි සාර්ථකත්වය කෙරෙහි එහි භාෂා විලාසයේ බලපෑම

ධර්මසේන හිමියන් විසින් තම ග්‍රන්ථය කෙරෙහි සම්භාවිත භාෂාවේ රටාව කාරණා කීපයක් නිසා වැදගත් වේ. සද්ධර්මරත්නාවලියේ කිසි යම් සාර්ථක බවක් පවතී නම් එයින් වැඩි කොටසක් භාෂාවේ බලපෑම මත සිදු වූවක් ලෙස සැලකිය හැකිය. බණකතා රීතියට ම උචිත බස් වහර, කියවන්නාගේ සිතෙහි හැඟීම් ජනිත කරවීමට බෙහෙවින් උපකාරි වේ. නූගත් ගැමි ජනයාට මෙන් ම උගත් විදග්ධ පණ්ඩිතප්‍රිය, ප්‍රාඥයන්ට ද එක සේ රස විඳිය හැකි ලෙස භාෂාව හසුරුවා ගැනීමට කතුවරයා සමත් වෙයි. පුද්ගල සිතුම් පැතුම්, ගතිගුණෙහි අපේක්ෂාවන්ට සාකල්‍යයෙන් ම ගැළපෙන සේ බස හැසිරවීම පුදුම සහගත ය. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් 'සිංහල සාහිත්‍යයේ නැඟීම' නම් ස්වකීය විචාර ග්‍රන්ථයේ දී තබන සද්ධර්මරත්නාවලී භාෂා විලාසය පිළිබඳ සටහන මෙයට කඳිම නිදසුනකි.

"ධර්මසේන ස්ථවිරයෝ ගැමියන්ගේ වාග් ව්‍යවහාරයට අනුගත කොට සකස් කිරීමෙන් ධර්ම දේශකයන්ගේ භාෂා අපූර්ව විලාශයට හැරවූහ. ග්‍රන්ථකාරයන් තමන්ගේ සිතීම් - පැතීම්වලටත් ගතිගුණවලටත් අනුරූප කොට සකස් කරන ලද ස්වතන්ත්‍ර භාෂා රීති දෙකක් දක්නා ලැබෙන්නේ අමාවතුරෙහි හා සද්ධර්මරත්නාවලියෙහි ද වේ"
(මාර්ටින් වික්‍රමසිංහ - සිංහල සාහිත්‍යයේ නැඟීම)

ගැමි ව්‍යවහාරය ජන විඥානයෙන් ම අවබෝධ කොට ගත් ධර්මසේන හිමියෝ ගැමියනට තේරෙන භාෂා රටාවක් බණකතා රීතියට සරිලන සේ යොදා ගත්හ. පොදුජන ව්‍යවහාරය නමින් ද හැඳින්විය හැකි මෙම භාෂා විලාසය ග්‍රන්ථය පුරා ම හමු වෙයි. නිදසුන් කීපයක් පහත දැක්වේ.

පුතිගත්තතිස්ස තෙරුන්වහන්සේගේ වස්තුවෙහි දී, තිස්ස හිමියන්ට මුහුණ දීමට සිදු වූ රෝගි අවස්ථාව චිත්තරූප මැවෙන සේ වර්ණනා කළේ මෙසේ ය.

"හඹ සා විතර සීන් කප් ඇතිව ලා පසුව මුං සාව...සිදුරු විසිදුරුවිය."

මීට අමතරව ගැමි වදන් කතා වස්තු පුරාම දක්නට ලැබේ.

නිදසුන් ලෙස : මෝවිට, හොරුව, උළා, කුලුදුල්, ගල් පාවුල, කෙළගෙන, සීගෙන, සී වැල්, මොළකම් ආදී වචන දැක්විය හැකිය.

ගැමි බස මෙන්ම පණ්ඩිතප්‍රිය විදග්ධ භාෂාව ද ධර්මසේන හිමියන්ගේ භාෂා ශෛලිය තුළ දක්නට ලැබේ. නිර්දිෂ්ට කතා වස්තුවල එන පහත සඳහන් ඒ බැව් සනාථ කරයි.

"නුවණැති සත්පුරුෂ බොහෝ දෙනාගෙන් හා නිසම්මකාරි රජුන්ගෙන් ගුණ ඇසීමට ද.......කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුව දක්වමු"

"සම්පත් නැතත් චතුර්විධ වූ සම්‍යත්ප්‍රධාන වීර්යය ඇතිව සිහි නුවණින් යෙදී කරන දෙයකුත්....පස්වාදහස මුළුල්ලෙහි බොහෝ දෙන හට බොහෝ ප්‍රයෝජන සාධන්නේ විය."

කවි සමානුගත උපමා රූපකාදියෙන් පිරිපුන් භාෂා රටාවක් ද තැනෙක භාවිත විය.

"එසේ වී නම් මාහැඟි පිළිත් හැඳගෙන....උසින් තරව සිත් ගන්නට සිතන හෙයින් එලෙස ම කළහ."

"හබ සා විතර සීන් කස්ඇතිව ලා පසුව මුං සාව....සිදුරු විසිදුරු විය."
"හුරුතුඩ සී වැල් තැබුවා සේ රජ ගෙයකත් වැඩී ගත් හෙයින්.....

ධර්මසේන හිමියන්ගේ භාෂා විලාසයෙහි තවත් එක් වැදගත් අංශයක් වන්නේ, යොදා ගත් භාෂාව එම සිද්ධි අවස්ථා හා චරිත සමඟ අවියෝජනීය සබඳතාවකින් යුක්ත වීම ය. කුණ්ඩලකේශි කතා වස්තුවේ දී සොරා සමඟ කුණ්ඩලකේශි කරන සංවාදය එයට කදිම නිදසුනකි.

"සොඳුර මෙතැන් පටන් තොප හා යත් මුත් සෙස්සන්.....පිදේනිය තොපම අල්වා ගනුව"යි කිවූය.

සොරාගේ සිත තුළ පැවති සියලු කපටිකම් වසාගෙන ඉතා සොඳුරු බසකින් කතා කිරීමත්, ඒ තුළ පවතින රැවටිලිකාරි ගතියත් මේ භාෂා විලාසය තුළ මනාව ගැබ්ව පවතී. කිසාගෝතමිය මළ පුතුන්ට බෙහෙත් සොයා යන ගමනේ දී සිදුවන සංවාද තුළින් ද ඇයගේ අසරණ චරිතය ගැන හෙළි වේ. කාගෙන් හෝ පිළිසරණක් පැතීම ඇගේ අපේක්ෂාව වී ය.

"ස්වාමිනී මුඹ වහන්සේ මපුතුන්ට බෙහෙත් දන්නා සේක් දැයි විචාළෝය"
"හතළිස් කෙළක් පමණ වස්තු උන්ගේ එබඳු අකුශල කර්ම ශේෂයකින් අගුරුව පියා සිටියේය....අගුරුවූයෙන් සම්පත්ම වේද?"

කුම්භඝෝෂක සිටාණන්ගේ වස්තුවෙහි දී, උපක්‍රමශීලි කාන්තාව ඇදෙහි ලණු කැඩුණු අයුරු දක්වමින් බොරු ගොතා කී අවස්ථාව ද මෙයට කදිම උදාහරණයකි.

"ස්වාමිනි, මෙතැනට එන කුඩා බාලයන් නවතාලන්ට අපට බැරිය... ...පිටතට යන කල දොර බැඳලා යෙමි'යි කිවූය.

ධර්මසේන හිමි භාෂා ශෛලියේ තවත් එක් වැදගත් ලක්ෂණයක් නම් කෙටි වාක්‍ය යොදා ගැනීමයි. වින්දනාත්මක මෙන් ම නිරායාසයෙන් ගලාගෙන යන ගතිය රැක ගැනීමට මේ ශෛලිය ඉතා වැදගත් ය.

"බොහෝ දෙනා ගියකල කසලත් කෙරෙහි....ඒ ගලටත් එක් දිසාවෙකින් මිනිස්සු නැගෙති."

එමෙන්ම දීර්ඝ වාක්‍යයද යොදා ගනු දක්නා හැකිය.

"එකල ශරීරය අති දුර්වල හෙයින් නමින් කිසා ගෝතමි....ගතමනාදෙය වේදැයි"

අර්ථාලංකාරය නොනසා ශබ්දාලංකාරයට තැන දුන් ශ්‍රැති ගෝචර භාෂා රටාවන් ද යොදා ගත් අවස්ථා දක්නට ලැබේ. ඒ සඳහා අනුප්‍රාස ලක්ෂණ යොදා ගැනිණ.

"එහෙයින් සත් පුරුෂයන් විසින් ශරීර පුෂ්ටිය...ගුණ පුෂ්ටිය එවා ගත යුතු.

සංවාදශීලි නාට්‍යෝචිත බස ද යොදා ගැනීමට අමතක නොකළහ. කිසාගෝතමිය හා නුවණැති පුද්ගලයාත් බුදුරදුනුත් අතර සංවාදය, කුණ්ඩලකේශි හා සොරා අතර සංවාදය, සැරියුත් හිමියන් හා කුණ්ඩලකේසිය අතර සංවාදය, කුම්භඝෝෂක හා ගැහැණිය අතර සංවාදය, රජු සමඟ කෙරෙන සංවාදය මේ සඳහා කඳිම නිදසුන්ය.

පාලි, සංස්කෘත, සිංහල වදන්, දෙමළ, ගැමි මෙන් ම යල්පැනගිය යෙදුම් සහිත මිශ්‍ර භාෂා ව්‍යවහාරයන් ද යොදා ගත් අවස්ථා දක්නට ලැබේ. එය ද භාෂා ශෛලියේ විශේෂතාවකි.

ව්‍යාකරණ රීතිවලදී ද විවිධ වෙනස්කම් සිදු කොට ඇති බව පෙනෙයි. ඒවා මූලික අංශ 3ක් යටතේ විචාරකයෝ ඉදිරිපත් කරති. ඒ මෙසේය.

1. සිංහලයෙහි සම්මත ව්‍යාකරණ රීතිවලට කීකරුව බස යෙදීම ග්‍රන්ථයෙහි බොහෝ සෙයින් දක්නට ලැබෙන්නෙකි. එසේ වුව ද සමහර තැනෙන ඒ රීතිවලට වෙනස්ව යන තැන් පැවතීම.

2. වාක්‍ය යෝජනයෙහි උපකාරක පද හෙවත් හවුල් පද යෙදීම.
3. එ තෙක් ග්‍රන්ථ ව්‍යවහාරයෙහි නොවූ නැතහොත් හිඟ වූ අමුතු පද එක් වීම.

(c) Shilpa Sayura Foundation 2006-2017